මරීෂා නිවසට පැමිණියේ කීරා තනිවම සිටිය දී ය. ඇයගේ බුක්කා ගත් තොල් ඉදිමී ඇත. ඇයගේ දෑස් රතු වී කඳුලින් පිරී ඇත. “ආර්ගුනෝවා පුරවැසියෙනි, දරුවන් හදා නොගන්නට ඔබ මොකක් ද අනුගමන කරන ප්‍රතිපත්තිය?” ඇය අසතුටින් ඇසුවා ය.
තැතිගත් කීරා ඇය දෙස බැලුවාය.
“මම කරදරේ වැටිලා ඉවරයි.” මරීෂා හඬා වැටුනා ය. අර ඇලෙෂ්කා රිලෙන්කෝ කරදරකාර තක්කඩියා. මම බුර්ජුවාසි කිව්වා මම ඉඩ නොදුන්නොත් … එයා පරිස්සම් වෙනවා කිව්ව. දැන් මම මොකද කරන්නෙ? ඉතින් මම මොකද කරන්නෙ?”
කුමක් කරන්නේ ද කියා නොදන්නා බව කීරා කීවාය.
*
පුරා සති තුනක් කීරා රහසෙන් අළුත් ගවුමක් නිම කරන්නට වෙහෙසුනා ය. ඒක ඇයගේ පරණ ගවුමකි. ඒත් ඇය ඉතා සෙමෙන්, වේදනාවෙන්, නුහුරු ලෙසින් එහි ඇතුලත පිටතට හරවන්නට සමත් වුවාය. ඇතුලත වූ නිල් වූල් රෙද්ද මට සිලිටු ය. නැවුම් ගතියෙන් යුතු ය. එය ලියෝ වෙනුවෙන් ඇය ගෙනහැර පානා පුදුමයක් වනු ඇත. ඒ නිසා ඇය ගවුමේ මැහුම් වැඩ කළේ රාත්‍රියේ ඔහු නිදන්නට ගිය පසු ය. බිම ඉටිපන්දමක් දල්වා ගෙන, ඒ අසල බිම හිඳගෙන, අල්මාරියේ දොරින් දැල්ලට මුවා වී ඇය වැඩ කළේය. ඇය කිසිදා මහන්නට ඉගෙන නොතිබුණි. ඇයගේ ඇඟිලි බලාපොරොත්තු රහිත ලෙසින් එහා මෙහා සෙමෙන් ඇදුණි. ඉඳිකටුව ඇනී ඇඟිල්ලෙන් ලේ ගැලූ විට ඇය යටගවුමේ පිහිදා දැම්මාය. ඇයගේ ඇස් වලට ඉඳිකටු අනිනවා සේ ඇහි පියන් යටින් ඇයට දැනුනි. ඇස් ඇර සිටින්නට බැරි තරම් යැයි බරක් දැනුනු විට ඇය ඇස් පියා ගත්තා ය. පියාගත් ඇස් යළි විවෘත කරන්නට, ඉටිපන්දමෙන් පැතිරුණ දැල්ලට නැවත ඇස් අරින්නට මහත් උත්සාහයක් ඇයට අවශ්‍ය විය. ඉටිපන්දමේ කහ දැල්ලෙන් එහා අඳුරේ ලියෝ තද නින්දේ හුස්ම ඉහළ පහළ දාන හැටි ඇයට ඇසුණි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න