Sinhala story Blog

මාර්තු 19, 2011

අපි ජීවත්වන්නෝ -160 ඔයා සුරදූතිකාවක්, ඇලෙෂ්කා

Filed under: Uncategorized — sinhalashortstories @ 9:09 ප.ව.

මරීෂා රබ්ෆැක් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක් වූවාය.

සාමාන්‍ය විශ්ව විද්‍යාලයට වඩා අඩු පාඨමාලවන් තිබි රබ්ෆැක් පීඨයන් කම්කරු සිසු සිසුවියන් සඳහා විශේෂිත වූවකි. කම්කරු විද්‍යා පාඨමාලා වඩා තැනක් ගත් අතර ඊට ඇතුල් වන්නට හැකි වූයේ දැඩි කම්කරු පංතියට සඳහා වූ විශේෂිත වරම් වලිනි.
මරීෂා කීරාට දැඩි අකමැත්තක් දැක්වූවාය. එහෙත් ඇය ලියෝ හා වරින් වර කතා බස් කළාය. ඇය තම දොර විවෘත කළේ බිත්තියේ අලවන ලද පෝස්ටරයන් දොර හැරි සුළං පහරින් සෙලවෙන පරිදි ය. ඇය උස් හඬින් කෑ ගැසුවේ රාජකීය අණක් පවරන ලෙසය: “කොවැලෙන්ස්කි පුරවැසියෙනි, මට මේ කමකට නැති ප්‍රංශ ඉතිහාසය ඉගෙන ගන්න උදව් කරන්න පුළුවන් ද? මාටින් ලූතර් පුළුස්සා දැම්මෙ මොන ශත වර්ෂයේ දී ද? ඒක කළේ ජර්මනියේ ද? ඔහුව පුළුස්සා දැමුවා ද?”

සමහර අවස්ථා වල දී ඇය දොර පියන් හැර දමා කිසිවෙකුත් අමතන්නේ නැතිව කෑ ගෑවාය: “මම යනවා කො‍ම්සොමොල් සමාජයේ රැස්වීමකට. රිලෙන්කෝ සහෝදරයා ආවොතින් එයාට කියන්න මාව හොයාගන්න රැස්වීම් ශාලාවේ දී පුළුවන් කියල. ඒත් අර තක්කඩියා, මිෂ්කා ග්වොස්ඩෙව් ආවොත් කියන්න මම ඇමෙරිකාවට ගියා කියල. දන්නවානේ ඒ කවුද කියලා -පුංචි එකා අර නහයේ ඉන්නෙක් තියෙන්නෙ.”

ඇය කාමරය ඇතුලට ආවාය. ඇගේ අතේ කෝප්පයකි: “ආර්ගුනෝවා පුරවැසියෙනි, මට තෙල් ටිකක් ගන්න පුළුවන් ද? සේරම ඉවර වෙලා බව මම දැනගෙන හිටියෙ නැහැ … ලයිනෝරු තෙල් ඇරෙන්න වෙන මුකුත් නැහැ? කොහොම ද ඒ ගඳ ගහන තෙල් කන්නෙ? කමක් නැහැ මට කෝප්ප භාගයක් දෙන්න.”

උදෑසන හතට කාමරය හරහා නිවසෙන් පිටත් වී යන ලියෝට පොත් ගොඩක් මැද හිස තබා නිදා උන් මරීෂාව පෙනුනි. ඔහුගේ සපත්තු හඬ ඇසී මරීෂා තිගැස්සී අවදි වූවාය.
“හරි කරදරයක්!” ඇය ඈනුම් හැරියාය. “අද හවසට මාක්ස් හමුවේ දී මට කියවන්න ඕන මේ ලිපිය -අපේ අඩු දැනුම ඇති සහෝදරයන් වෙනුවෙන්. ඉතිහාස සාධකයක් ලෙසින් විදුලිබලයේ සමාජ වැදගත්කම ගැන. කොවැලෙන්ස්කි පුරවැසියෙනි, කවුද මේ එඩිසන් කියන්නෙ?”

රෑ බෝ වී ඇය නිවසට එන හැටි ඔවුනට ඇසුණි. ඇය දොර මහ හඬින් වසා තම පොත් පුටුව මතට විසි කරයි. පොත් බිම හැලෙනවා ඔවුනට ඇසුණි. ඇයගේ කටහඬ හා රිලෙන්කෝ සහෝදරයාගේ ගැටවර ගැඹුරු කටහඬ මිශ්‍ර වී ඔවුනට
ඇසෙයි. “ඇලෙෂ්කා, මිතුරිය, සුරදූතිකාවක් වෙලා අර ප්‍රයිමසය පත්තු කරන්න. මට හොඳටම බඩගිනියි.”

ඇලෙෂ්කාගේ කකුල් කාමරය හරහා ඇතිලේලෙමින් ඇදෙයි. ප්‍රයිමසය බුර බුරා දැවෙන හඬ ඇසේ.

“ඔයා සුරදූතිකාවක්, ඇලෙෂ්කා. හැම විටෙකම කියන්නෙ ඔයා සුරදූතිකාවක් කියල. බර අදින අස්සයෙක් වගේ මට මහන්සියි. රබ්ෆැක් උදේ වරුවෙ. කොම්සොමොල් සමාජය දවල් වරුවෙ. එකහමාරට කම්හලක ළමයි සඳහා දිවා සුරැකුම් පහසුකම් කමිටුව, මාක්ස් හමුව දෙකට, කියවන්නට ලියවන්නට බැරිකම ගැන උද්ඝෝෂණයක් තුනට -ඉතින් මගේ කකුල් දහඩිය දාන එක පුදුමයක් ද! -විදුලිබලය ගැන දේශනයක් හතරට, බිත්ති පුවත්පත ගැන කතුවර මණ්ඩලයේ හමුවක් හතට. ඒකෙ කර්තෘවරයා වෙන්නෙ මමයි. කාන්තා නිවාස කම්කරුවෝ ගැන හමුවක් හතාමාරට ද කොහෙද … හංගේරියාවේ අපේ සහෝදරයන් ගැන සමුළුවක් ..ඔයාට කියන්න බෑ ඔයාගෙ යෙහෙළිය පංති අරගලය ගැන දන්නෙ නැහැ සමාජ සේවය කරන්නෙ නැහැ කියල ඇලෙෂ්කා, ඔයාට එහෙම කියන්න බැහැ.”

ඇලෙෂ්කා පියානෝව ළඟින් වාඩි වී ‘ජෝන් ග්‍රෙ” වාදනය කළාය.

වරක් මැදියම් රැයේ කීරාට ඇහැරුනේ කවුදෝ නාන කාමරයට දිව යනවා දැනීය. බාගෙට වස්ත්‍ර හැඳි බ්ලොන්ඩ් හිස කෙස් ඇති තරුණ කොල්ලෙකුගේ ඡායාවක් ඇය දැක්කාය. මරීෂාගේ කාමරයේ එළියක් නොතිබුණි.
*

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.