Sinhala story Blog

පෙබරවාරි 6, 2011

අපි ජීවත්වන්නෝ -139 ප්‍රහර්ෂයෙන් පිරි සිනහව

Filed under: Uncategorized — sinhalashortstories @ 4:42 ප.ව.

තණ පිට්ටනියක ඔවුන් තනිවූහ. බිම වාඩි වූ ඔවුන් වටා තාප්පයක් මෙන් උස තණකොළ ඔවුන්ගේ ඔළු වලටත් ඉහළින් උසට තිබිණ. උණුසුම් නිල් අහසක් තියුණු හරිත තුඩු වලට පහත් විය. අහස් කුස උඳුපියැල්ලේ සුවඳ බලනා සේ ය. රැහැයියෙක් නද දුන්නේ විදුලි බලයෙන් දුවන එන්ජිමක් මෙනි. ඇය තණ පිල්ලේ හිඳ ගෙන ය. ලියෝ එහි වැතිර ගෙන ය. ඔහුගේ හිස ඇයගේ ඔඩොක්කුවේ ය. ඔහු දිගු තණකොලයක අගිස්ස සැපුවේ ය. ඔහු තණකොලය අල්ලා ගෙන සිටියේ දුම් බොන්නෙක් සතු ප්‍රවීණතාවය රැගත් විදේශීය සිගරැට් දැන්වීමක ලීලාවෙනි. වරින් වර ඇය නැඹුරු වී ඔහු සිපගත්තා ය.

ගඟ අසල වූ ගහක විසල් මුලක් මත ඇය හිඳගෙන සිටියාය. ඔවුනට පහළින් තරු පෙන් තැන තැන පැතිර තිබි මීවන වනයක පිරි කුරු තල් ගස් මෙන් දිස්විය. බර්ච් ගහක සුදු බඳ සැඬකිරණයේ දිළිසුණි. දිය ඇල්ලක් මෙන් එහි කොළ පහළට එල්ලුණි. කොළ බින්දු අහසේ පාවෙනා සේ ය. රීදි පැහැයට, සුදු පැහැයට හා කොළ පැහැයට වෙව්ලමින් හැරී කොළ ඉඳහිටක වතුරට වැටී ගසා ගෙන ගියේය. ගල් මතින්, මුල් මතින්, මීවන අතරින් කීරා පැන දිව්වේ ජව සම්පන්න ලෙසට ය, කඩිසර ව ය. සිව්පාවෙක් සේ සතුටින් ය. ලියෝ ඇය දිහා බලා සිටියේය. ඇයගේ ‍විලාසය තියුණු ය. කෝණාකාර ය. කාන්තාවගේ සුමුදු, ව්‍යක්ත විලාසයක ලාලිත්‍යයෙන් තොර වූ, එහෙත් ඊට ප්‍රතිවිරුද්ධ වූ ලාලිත්‍යයකිනි. කැඩුණ, ගැස්සුන, නිශ්චිත, ජ්‍යාමිතීය වූ අනාගත නැටුම් විලාසයක විලාසිතාවකිනි. දිරාගිය ගස් බඳක හිඳගෙන පහතින් ගලනා වතුර නරඹන ඇය දිහා ලියෝ බලා සිටියේය. බාහු දෙකට සරල කෝණව ඇය අත් වැටුණි. ඇයගේ වැලමිටි ඇයගේ සිරුරට සරල කෝණව තිබුණි. ඇයගේ සිරුර ඇයගේ කකුල් වලට සරල කෝණව තිබුණි. නොදැමි, කැඩුණු පුංචි සිරුරකි. ආතතියෙන් පිරි, ජීවත්වන, විදුලි සැරයක හැඩයකින් යුතු ය. එවිට ඔහු උඩ පැන නැඟිට්ටේ ය. ඇය පසුපස දිව ගියේය. ඇය බදා අල්ලා ගති. සරල කෝණ කඩා දමා කෙළින් ඉරකට හරවා තමා වෙතට ඇයව තද කරගත්තේ ය. ගඟ මතින් වැටුණු දිරා ගිය ගස් බඳ අනතුරුදායක ලෙසින් කෙඳිරිගෑය. ඇය හඬ නඟා සිනාවූවාය. ඇයට ආවේනික වූ අමුතු සිනාවෙන් සිනාවූවාය. ඇයගේ සිනාව කෙළි දෙළින් වූවකට වඩා සතුටින් පිරී තිබුණි. ඒ හිනාවේ අභියෝගයක් විය. ජයග්‍රාහී බවක් විය. ප්‍රහර්ෂයෙන් පිරි විය. ඇයගේ තොල් තෙත් විය. දිලිසුණි.
*

Advertisements

ප්‍රතිචාර 2 »

  1. nice

    ප්‍රතිචාර විසින් sachi — පෙබරවාරි 6, 2011 @ 11:01 ප.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: