Sinhala story Blog

ජනවාරි 17, 2011

අපි ජීවත්වන්නෝ -128 බුර්ජුවාසි සාදයක් ඔබව බියගන්වයි ද අන්ද්‍රෙ?

Filed under: Uncategorized — sinhalashortstories @ 8:43 ප.ව.

“පුංචි සාදයක්, කීරා ඩාලිං,” වාවා මිලොව්ස්කායා දුරකතනයෙන් පැවසුවාය. “සෙනසුරාදා රෑට .. අපි කියමු දහයට කියලා? ..ඒ වගේම ඔයා ලියෝ කොවැලෙන්ස්කිව එක්ක ගෙන එනවානෙ? එයාව දකින්න ආසාවෙන් මම ඉන්නෙ. පහළොවක් දහයක් විතර කට්ටියක්. ලිඩියා … එයාට කොල්ලෙක් වත් එක්ක ගෙන එන්න ඔයාට පුළුවන් ද? මේකයි වැඩේ. මගේ ලැයිස්තුවෙ ඉන්නෙ යම් කොල්ලො ප්‍රමාණයකුයි කෙල්ලො ප්‍රමාණයකුයි. හැමෝටම කවුරු හරි ඉන්නවා. ඉතින් මේ දවස්වල කොල්ලෙක් හොයා ගන්න අමාරුයිනෙ. ඉතින්, ඔයා දන්නවා ඇතිනෙ කවුරු හරි, කාව හරි, ඕන කෙනෙක් …”

“ඕන කෙනෙක්? එයා කොමියුනිස්ට්කාරයෙක් වුනාට කමක් නැද්ද?”

“කොමියුනිස්ට්කාරයෙක්? හරිම ත්‍රාසජනකයි! එයා කඩවසම් ද? .. එක්ක ගෙන එන්න. අපි නටනවා. කන්න‍ බොන්නත් තියනවා. ඔව්, කෑම. අනික ඔව් කීරා, මම එන හැම අමුත්තාටම දර කොටයක් අරන් එන්න කියලා තියෙන්නෙ. එක කොටයක්. විසිත්ත කාමරය රත් කරන්න. ඒක විශාල නිසා අපිට අමාරුයි… කමක් නෑනේ? ඔයා හරි හොඳයි. එහෙනම් සෙනසුරාදා රෑට හමුවෙමු.”

1923 වසරේ දී පෙට්‍රොග්‍රෑඩයේ සාද ඉතා දුලබ විය. එය කීරාගේ පළමු සාදයයි. ඇය අන්ද්‍රෙට ආරාධනා කරන්නට සිතුවාය. තම තත්වය වසන් කිරීම ඇයට විඩාවකි. මෙතෙක් එය හෙළි නොවීම ඇයට පුදුමයකි. ලියෝ අන්ද්‍රෙ ගැන සියල්ල දන්නේ ය. අන්ද්‍රෙ ලියෝ ගැන කිසිත් නොදන්නේ ය. ඇය ලියෝට තම හිතවත්කම ගැන කියා තිබුණි. ඔහු ඊට අකැමත්තක් නොදැක්වීය. ඇය අන්ද්‍රෙ ගැන කතා කරද්දී ලියෝ අවඥා සහගත හිනාවක් පෑවේය. ඉඳහිට ‘කොමියුනිස්ට් ආදරවන්තයා’ ගැන විමසුවේය. අන්ද්‍රෙ කීරාගේ හිතවත් අය නොදත්තේ ය. ඇය ගැන තොරතුරු ඔහුට ලැබුණේ නැත. ඔහු කිසිවිටෙක ප්‍රශ්න නොවිමසීය. තම පොරොන්දුව ඉටු කරමින් ඇයගේ නිවසට කිසිවිටෙක නැවත ආවේ නැත. ඔවුන් හමුවූයේ විද්‍යායතනයේ දී ය. මිනිසා ගැන කතාබහ කළහ. අනාගතය ගැන කතා කළහ. අනාගත නායකයෝ ගැන කතා කළහ. බැලේ නර්තනය ගැන කතා කළහ. ට්‍රෑම් රථ හා දෙවියන් විශ්වාස නොකිරීම ගැන කතා කළහ. එහෙත් නිහඬ එකඟතාවයකින් මෙන් සෝවියට් රුසියාව ගැන කතා නොකළහ. එය ඔවුන් දෙදෙනා දෙපැත්තකට කරන ලද අගාධයක් මෙනි. එහෙත් ඔවුන්ගේ දෑත් හා ඔවුන්ගේ ජීවය අගාධයෙන් මතුපිට දී එකතු වන්නට තරම් ශක්තියෙන් යුතු විය.

හිරු රැස්වලින් පැහැය වෙනස් වූ ඔහුගේ මුහුණේ දැඩි බව මධ්‍යතන යුගයේ සාන්තුවරයෙකු ගේ මෙනි. කෘසේඩ යුගයෙන් ලැබි කෲර බවකින් යුතුය. භක්තිය හා දරිද්‍රතාවයේ අව්‍යාජයෙන් යුතු වූවකි. ආදරය ගැන ඔහු හා ඇයට කතාබහ කළ නොහැකිය. ඔහු ඉදිරියේ ආදරය ගැන කතා කළ නොහැකි ය. ඒ ආදරය ප්‍රතික්ෂේප කරත යැයි සිතූ නිසා නොව ඊට කිසිත් ආකාරයක ආවේගයක් නොදැක්වේ යැයි බියකිනි.

හැමදා වසන් කරගෙන ඉන්නට ද ඇයට උවමනාවක් නොවීය. පිරිමින් දෙදෙනා හමුවිය යුතුය. ඒ හමුවට ඇය යාන්තමින් බිය වූවාය. දෙදෙනාගෙන් එක් අයෙක් මරණ දණ්ඩනයට පත් කරන ලද පියෙකුගේ පුතකු බව ඇයට මතක් වුණි. අනිකා -රහස් පොලීසියේ සාමාජිකයෙකි. වාවාගේ සාදය සුදුසු තැනකි. දෙදෙනාට එතැන දී හමුවිය හැකිය. ඇයට දෙදෙනාගෙ හැසිරීමට අවධානය යොමු කළ හැකිය. අනතුරුව ඇයට අන්ද්‍රෙ තම නිවහනට කැඳවත හැකිය. ඒ සාදයේ දී ඇය ගැන සත්‍යය තත්වය අන්ද්‍රෙට දැන ගන්නට ලැබුනොත්, ඉතින්, එහෙනම් එය වඩාත් හොඳ වේවි යැයි ඇය සිතුවාය.

විද්‍යායතනයේ පුස්තකාලයේ දී ඇයට ඔහු මුණ ගැසුණි. “බුර්ජුවාසි සාදයක් ඔබව බියගන්වයි ද අන්ද්‍රෙ?” ඇය ඇසුවාය.

“ඔයා මාව ආරක්ෂා කරන්න එතැන සිටියි නම් බිය ගන්නවන්නෙ නැහැ -ඒක ආරාධනයක් නම්.”

“මම එතැන ඉන්නවා. ඒක ආරාධනයක්. සෙනසුරාදා රෑ. ලිඩියයි මායි යනවා. පිරිමි දෙන්නෙක් එක්ක. ඔයා ඉන් එක්කෙනෙක්.”

“හොඳයි – ලිඩියා මට බය නැත්නම්.”

“අනිත් එක්කෙනා -එයා ලියෝ කොවැලෙන්ස්කි.”

“ඔහ්.”

“මම එදා එයාගෙ ලිපිනය දැන සිටියෙ නැහැ අන්ද්‍රෙ.”

“මම ඒක ඇහැව්වෙ නැහැ කීරා. අනික ඒකෙන් වැඩක් නැහැ.”

“අපිව එක්කගෙන යන්න නමයාමාරට එන්න, මොයිකාවේ ගෙදරට.”

“මට ඔයාගෙ නිවහන මතකයි.”

“මගෙ …ඔව්. ඔව් නේන්නම්.”
*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: