Sinhala story Blog

දෙසැම්බර් 1, 2010

අපි ජීවත්වන්නෝ -106 නරකම හමුදාපතියා එයා නෙවෙයි

Filed under: Uncategorized — sinhalashortstories @ 12:28 ප.ව.

ගොරොඛෝවේයා වීදියේ අංක 2 දරණ නිවෙස මෑ ඇට සුප් එකක පාටෙන් වූ ලා කොළ පැහැති විය. එහි තීන්ත හා බදාම පොතු ගැලවී යයි. එහි ජනේලවල තිර දමා නොමැත. යකඩ ගරාදි ගසා ද නොමැත. නිහඬ ජනේල නිහඬ වීදිය දෙස බලා සිටිති. එය පෙට්‍රොග්‍රෑඩයේ රහස් පොලිස් මූලස්ථානයයි.

ජනතාව සඳහන් කරන්නට මැළි වූ වදන් තිබුණි. පාළුවට ගිය සොහොනක්, හොල්මන් සිටිනවා යැයි කියන නිවසක්, ස්පාඤ්ඤ අධිකාරිය, සහ ගොරොඛෝවේයා 2 යනාදී වදන් උච්චාරණයට මිථ්‍යා දෘෂ්ටික වූ බියක් ඔවුන් තුල විය. පෙට්‍රොග්‍රෑඩය රෑ කිහිපයක් ගෙවා දැමීය. ඒ රාත්‍රියන්හි අන්ධකාරයේ පා සටහන් බොහොමයක් නගරයේ වැදුණි. ගෙවල් බොහොමයක සීනු නාද විය. බොහෝ පුද්ගලයෝ අතුරුදහන් වූයේ නැවත කවදා හෝ දකින්නට නොහැකි ලෙස ය. නිහඬ බිහිසුණු බවක් නගරය පුරා පැතිර ගොස් එයින් පිරී ඉතිරී ගියේය. හඬ පහත් කළ වදන් රහස් කෙඳුරුම් බවට පත්විය. මේ පැතිර යාම පටන් ගත් හදවතක් තිබුණු අතර එතැනින් භීතිය නගරය පතුරුවා ගොස් එය නැවත පටන් ගත් හදවතටම රිංගන ලදි. ඒ හදවත වූයේ ගොරොඛෝවේයා 2 ය.

ඒ බිල්ඩිම අනිත් ගොඩනැඟිලි අතරින් වෙනසක් නුදුටුවකි. පාරෙන් එහා පැත්තේ, එවැනිම වූ ජනේල පිටුපස, පවුල් විසින් මෙනේරි උයති. ග්‍රැමෆෝනයට සවන් දෙති. වීදි කොනේ කාන්තාවක් කේක් විකුණන්නීය. කාන්තාවගේ කම්මුල් රෝස පැහැති ය. ඇයගේ ඇස් නිල්වන් ය. කේක් වල මුදුන රන් පැහැති ය. උණු තෙල් සුවඳින් යුතු ය. වීදි ලාම්පුවේ අලවන ලද පෝස්ටරයක දුම්කොළ මණ්ඩලය විසින් නිකුත් කරන ලද නව සිගරැට්ටුවක දැන්වීමකි. කීරා ඒ බිල්ඩිම වෙත පා නඟද්දී එය පසුකරගෙන එහි කොළ පැහැති බිත්ති දෙස නොබලා ගමන් කරනා අය දැක්කා ය. ඔවුන් පා තැබුවේ ඉක්මණින් නොයන බව පෙන්වන ඉක්මණකිනි. ආතතිය සඟවන්නට සාමාන්‍ය බවක් ආරූඪ කරගත් මුහුණු වලිනි. ඔවුන් පා තැබුවේ තම පැවැත්ම, තම දෑස් හා තම සිතුවිලි ගැන බියෙන් මෙනි. ඒ කොළ බිත්ති ඇතුලත වූයේ කිසිවකු දැන ගැනීමට නොකැමති දෑ විය.

දොර විවෘත ය. කීරා ඇතුල් වූවාය. ඇයගේ දෑත් පොකැට්ටු වලය. කිසිත් වෙනසක් නැති ලෙසට කියා පාන්නට, උවමනාවෙන්ම කඩා හැලුණු දෙවුරනි. ඇතුලත වූයේ පළල් පඩිපෙළකි. කොරිඩෝරයන් ගණනාවකි. කාර්යාල බොහොමයකි. සෑම සෝවියට් කාර්යාලයක සේ ම මහත් පිරිසක් එහි ගැවසුණි. සමහරු ඉක්මණින් එහා මෙහා යති. අනිත් අය තමන්ගෙ වාරය එනතුරු බලා සිටිති. කාපට් රහිත බිම බොහෝ පා වැදුණි. එහෙත් වැඩි කතාබහක් සිද්ධ නොවුණි. ඔවුන්ගේ මුහුණුවල කඳුළු නොවීය. දොරවල් වැඩි ප්‍රමාණයක් වැසී තිබුණි. මුහුණු ද වූයේ ඒ දොරවල් සේ ම ය.

කාර්යාල කාමරයක මේසයක් මත වාඩි වී සිටින ස්ටීවන් ටිමොෂෙන්කෝව කීරා සොයා ගත්තීය. ඔහු ඇය දෙස බලා විරිත්තුවේය.

“මම හිතපු විදියටමයි,” ඔහු කීය. “එයාලට ඔහු ගැන මුකුත් විස්තරයක් නැහැ. තාත්තා ගැන විතරයි. ඉතින්, ඒ අතීතය. මාස දෙකකට කළින් ඔහුව අල්ලා ගත්තා නම් -එහෙනම් ඉතින් වෙඩි තියනවා කිසි ප්‍රශ්නයක් අහන්නෙ නැතිව- ඒත් දැන්, ඉතින්, අපි බලමුකො.”

“ඔහු මොනව ද කරල තියෙන්නෙ?”

“ඔහු? කිසිවක් නැහැ. ඔහුගේ තාත්තා තමයි. මාස දෙකකට කළින් මහාචාර්ය ගෝර්ස්කි කුමන්ත්‍රණය අහලා තියෙනවා ද? නාකි මෝඩයා ඒකට සම්බන්ධ නැහැ -කොහොම ද සම්බන්ධ වෙන්නෙ, අන්ධ නිසා?- ඒත්, එයා ගෝර්ස්කිව එයාගෙ නිවසේ හංගලා. ඒකට එයා ගෙව්වා.”

“කවුද ලියොගෙ තාත්තා?”

“නාකි අද්මිරාල් කොවැලෙන්ස්කි.”

“අර …” කීරා හුස්මක් අරගෙන නැවතුණාය.

“ඔව්. යුද්ධයේ දී අන්ධ වෙච්ච එක්කෙනා. වෙඩි කෑ එක්කෙනා.”

“ඔහ්!”

“ඉතින්, මම නම් එහෙම කරන්නෑ -ඒ වෙලාවේ. ඒත් මම විතරක් නෙමෙයිනෙ ඒ වෙලාවේ ඊට වගකිව යුතු වූ අය. මෙහෙම සුදු අත්වැසුම් දාගෙන අරගලයක් කරන්න බැහැ.”

“ඒත්, ඉතින් ලියෝ මුකුත් කරලා නැත්නම්, එහෙනම් ඇයි?..”

“ඒ වේලාවෙ ඔවුන් කුමන්ත්රිණය ගැන දැන සිටි ඕනෑම කෙනෙකුට වෙඩි තියනවා. දැන්, ඒක එච්චර වැදගත් නැහැ. අතීතයට එකතුවෙලා. ඔහු වාසනාවන්තයි ඒ නිසා. … ‍පුංචි මෝඩියක් වගේ බලාගෙන ඉන්න එපා. ඔබ මෙතැන වැඩ කළා නම් දන්නවා, කාලය, දින හා පැය ගණන්වල වෙනස කොයිතරම් වැදගත් ද කියලා. එහෙම තමයි අපි වැඩ කරන්නෙ. මොන මෝඩයා ද හිතන්නෙ අරගලයක් සුවඳ විලවුන් වගේ සුවඳ කරනවා කියල.”

“එහෙනම් -ඔබට පුළුවන් ද එයාව …”

“මම දන්නෙ නැහැ. මම උත්සාහ කරන්නම්. අපි විමර්ශනය කරනවා. ‍අනික, ඊ ළඟට හොරෙන් රටින් පැනලා යන්න හැදුව එක. ඒත් ඒක -මම හිතන්නෙ මට පුළුවන්… අපි පොඩි ළමයි එක්ක සටන් වදින්නෙ නැහැ. විශේෂයෙන්ම මෝඩ ළමයි එක්ක. බුර බුරා දැල්වෙන ගිනි කන්දක් උඩ ආදරය කරන්න වේලාව හොයාගත්තු මෝඩ දරුවෝ.”

කීරා ඔහුගේ රවුම් ඇස් දිහා බැලුවාය. ඒවායෙහි කිසිත් ආවේගයක සටහනක් නොවීය. නමුත් ඔහුගේ විසල් මුව විරිත්තිල්ලකින් විවර ය. ඔහුට වූයේ කෙටි නැහැයකි. එහි අගිස්ස ඉහළට එසවී තිබිණ. පැතලි වූ සාහසික නාස්පුඬු ඔහුට තිබිණ.

“ඔබ බොහොම කරුණාවන්තයි,” කීරා කීවාය.

“කවුද කරුණාවන්ත?” ඔහු සිනාසුනේ ය. “රතු බාල්ට් හමුදාවේ ස්ටීවන් ටිමොෂෙන්කෝ? 1917 ඔක්තෝබර් දින ඔබට මතක ද? අහලා තියෙනවා ද බාල්ටික් හමුදාවේ කතන්දර? පූසියක් වගේ ගැහෙන්න එපා. ස්ටීවන් ටිමොෂෙන්කෝ බොල්ෂෙවික් වූයේ මේ අළුතින් ඉන්න ගැටවරයන්ගෙ කන් දෙක පිටිපස්සෙ කිරි වේලෙන්නත් ඉස්සර.”

“මට ඔහුව දකින්න පුළුවන් ද?”

“බැහැ. කිසිම අවස්ථාවක් නැහැ. ඒ කට්ටියට අමුත්තො හමුවන්න අවසර නැහැ.”

“ඒත් එතකොට…”

“ඒත් එතකොට ඔබ ගෙදර යන්න. ගිහින් ගෙදර ඉන්න. පසුතැවිලි වෙන්න එපා. මට ඔබට කියන්න අවශ්‍ය වුනේ ඔය ටික තමයි.”

“මට ඉන්නවා යාළුවෙක්. එයාට තියෙනවා සබඳතා. මම හිතන්නෙ, එයාට පුළුවන් …”

“ඔබ කටපියා ගෙන ඉන්න. කිසිම සබඳතා මේකට ගාවගන්න එපා. ගිහින් නිහඬව ඉන්න දවස් දෙක තුනක්.”

“එච්චර කාලයක්!”

“ඉතින්, ඒක එච්චර කාලයක් නෙවෙයි සදා ඔහුව නොදකිනවාට වඩා. කණගාටු වෙන්න එපා. ඔබ වෙනුවෙන් අපි ඔහුව අගුල් දාලා තියන්නම්. වෙන ගෑණු පළාතක නැතිව.”

ඔහු මේසය මතින් බැස්සේ ය. විරිත්තුවේ ය. අනතුරුව ඔහුගේ තොල් තදින් එකිනෙක හා කෙළින් ඉරක් ලෙස පියවිණ. ඔහු කීරා ඉදිරියේ කුළුනක් සේ සිටගති. ඇයගේ දෑස් දිහා එබී බැලුවේය. ඔහුගේ දෑස්වල සතුටක් නොතිබුණි. “ඔබට ඔහු ආපහු ලැබුණම, ඔබේ නියපොතු වලින් අල්ලා ගෙන තියාගන්න. නියපොතු නැත්නම් වවා ගන්න. ඔහු ලේසි පහසු මෙල්ලයක් නෙමෙයි. රටින් පනින්න උත්සාහ කරන්න එපා. ඔබ ඉන්නෙ මේ සෝවියට් රුසියාවේ. ඔබ ඒක පිළිකුල් කරාවි. ඔබ ඒක අප්‍රසන්න වේවි. නමුත් ඔබ ඉන්න ඕනා සෝවියට් රුසියාවේ. මම හිතන්නෙ ඔබට තියනවා නියපොතු. ඔහුව බලාගන්න. ඔහුගෙ පියා ඔහුට ගොඩක් සෙනෙහස දැක්වූවා.”

කීරා සිය අත පෑවාය. ඇයගේ අත ස්ටීවන් ටිමොෂෙන්කෝගේ හිරු රශ්මියෙන් රන්වන් පැහැවුනු මිටෙහි නොපෙනී ගියාය.

දොර අසල දී ඇය හැරී බලා මෘදු හඬින් “ඇයි ඔබ මෙහෙම කරන්නෙ?” යැයි ඇසුවාය.

ඔහු ඇය දිහා නොබැලීය. ඔහුගේ දෑස් යොමුව තිබුනේ ජනේලයෙන් එපිට වෙත ය. ඔහු පිළිතුරු දුන්නේය: “මම බාල්ටික් හමුදාවේ යුද්ධයේ නිරත වුනා. අද්මිරාල් කොවැලෙන්ස්කි ඒ යුද්ධයේ දී සේවය කරද්දි තමා අන්ධ වුනේ. අපිට හිටපු නරකම හමුදාපතියා එයා නෙවෙයි…. මෙතැනින් පලයන්!”
*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: