Sinhala story Blog

නොවැම්බර් 10, 2010

අපි ජීවත්වන්නෝ -98 තොල් ආලේපන සහ සිල්ක් කකුල් ආවරණ

Filed under: Uncategorized — sinhalashortstories @ 10:41 පෙ.ව.

“මම ලැහැස්තියි.”

“කාටවත් කියන්න බැහැ. සමුගන්න කාටවත් දුරකතන ඇමතුම් දෙන්න බැහැ.”

“මට අවශ්‍ය නැහැ.”

“එහෙමනම්, එන්න.”

ඔහු සිය කැප් තොප්පිය රැගෙන ඉක්මණින්, නිහඬව වීදිය වෙත ගමන් කළේය. ඇය දිහා නොබැලීය. ඇය එනවාදැයි විමසුවේ නැත. ඔහු හිමයානයක් කැඳවා ගත්තේය. රියැදුරාට ලිපිනයක් කීම පමණක් ඔහු මුවින් පිට වූ එකම වදන් විය. හිමයානයේ රෝද වෙනුවට වූ තියුණු පීලි හිම කපාගෙන ඉදිරියට ඇදුණි. අවට වූ තියුණු සුළඟ ඔවුන්ගේ මුහුණු කපන්නට මෙන් හඹා ගියේය.

හිම ඉහිරි ගඩොල් පාරේ ඈතකට පෙරළී ගොස් තිබුණු, කඩා වැටුණු ගෙයක් පසුකර, ඔවුන් වීදි කොණකින් හැරුණහ. ගෙයි පිටුපස වූ විදුලි ලාම්පුවකින් වැටි එළිය එහි හිස් කාමර පුරා දිවීය. යකඩ ඇඳක සැකිල්ලක් ඒ එළියේ ඉහළ තැනකින් පෙනුණි. පත්තර කොල්ලෙක් බැරෑඬි කටහඬකින් හිස් වීදියකට ගොරවයි: “ප්‍රාව්ඩා! … ක්‍රාස්නායා ගැසේටා!”

“අර එහා… වාහන තියෙනවා.. සෙවන ගස් ඇති මාවත් තියෙනවා … ලයිට් තියෙනවා…” ලියෝ රහසින් කීවේය.

වයසක මනුස්සයෙක් උළුවස්සක් අසල හිටගෙන සිටියි. නූල් දිරා ගිය ඔහු‍ගේ තොප්පි වාටියේ හිම එකතු වෙයි. ඔහුගේ ඔළුව ඔහුගේ පපුවට නින්දෙන් කිරා වැටෙමින් පවතියි. ඔහු නින්දට පත් වී ඇත්තේ ගෙදර හැදූ බිස්කට් බන්දේසියක් අතේ තිබිය දී ය.

“තොල් ආලේපන සහ සිල්ක් කකුල් ආවරණ…” කීරා රහසින් කීවාය.

අඳුරු සමූපාකාර ජනේලයක් යට වූ කුණු බැරලයක් අසල දඩාවතේ යන බල්ලෙක් ඉව අල්ලයි.

“.. ෂැම්පේන් .. රේඩියෝ … ජෑස් සංගීත කණ්ඩායම්…” ලියෝ මිමුණුවේ ය.

“.. හරියට කැඩුණු වීදුරුවේ සිංදුව වගෙයි…” කීරා මිමිණුවා ය.

“සැකරින්, පුරවැසියෙනි!” අත්වලට පිඹිමින් මිනිහෙක් කෙඳිරි ගෑවේය.

සොල්දාදුවෙක් සූර්යකාන්ත ඇට සපමින් පුංචි ඇපල් ගෙඩියේ සිංදුව ගැයුවේ ය.
ඔවුන් පිටුපසින් නොකැඩී යන ලෙසකින් ගෙයින් ගෙයට, රතු, තැඹිලි, සුදු, අත්, මිටි, රෝද, ලීවර, තඩි, ගුවන් යානා යුතු වූ පෝස්ටර දිව්වේ ය.

ඔවුන් පිටුපසින් නගරයේ සද්ද මැකී ගියේය. කම්හලක උස් වූ කළු චිමිනි අහස් කුසට දික් විය. පාර හරහා, වහලක සිට තවත් වහලක් කරා බාධකයක් සේ කඹයක පත බැනරයක් සුළඟ හා පොරබදමින්, දඟර ගසමින් ඇඹරෙමින්, වීදියට හා සුළඟට කෑ ගසමින් ලෙලදිණ.

ධනපති… අපේ සාමූහික … පංති සටන… අරගල… නිදහස…. අනාගතය…

එතැන දී ඔවුන්ගේ දෑස් හමුවිණ. ඒ බැල්ම අතට අත දී ගැන්මක් වැනි විය. ලියෝ සිනාවක් පෑවේය. “මට ඔයාගෙන් මේක කරන්න යැයි ඉල්ලන්න බැහැ. ඒත් මම හිතුවා ඔයා එයි කියල.”

පදිකවේදිකාවක් නොමැති වීදියක වැටක් අසල ඔව්හු නැවතුණහ. ලියෝ රියැදුරාට මුදල් ගෙවීය. ඔවුන් දෙදෙනා හෙමිහිට ගමන් කරන්නට පටන් ගත්හ. හිමයානය වීදි කොණේ හැරී නොපෙනී යනතෙක් ලියෝ ප්‍රවේසමින් අවධානය යොමු කළේය. අනතුරුව ඔහු “අපිට සැතපුම් දෙකක් මුහුද දක්වා ගමන් කරන්න තියෙනවා. ඔබට සීතල ද?” යැයි ඇසුවේය.

“නැහැ.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: