Sinhala story Blog

ඔක්තෝබර් 27, 2010

අපි ජීවත්වන්නෝ -90 මා අත අවි නැත

Filed under: Uncategorized — sinhalashortstories @ 10:21 පෙ.ව.

ඔවුන්ගේ අගල් අසලින් අඩි කිහිපයකට නුදුරුව ඔහු නතර විය. තමන්ගේ ළය වෙත උරුක්කු වූ තුවක්කු ඔහුට නොපෙනේ. එහෙත් ඒවා තිබෙනා බව ඔහු දනියි. අවිය රැඳි කොපුව ඉනපටියෙන් ගලවා බිමට විසි කරන්නට ඔහු යුහුසුළු වූයේය. “සහෝදරවරුනි!” ඔහු කෑ ගැසුවේ ය. “ මා අත අවි නැත. මම මෙහි පැමිණියේ වෙඩි තියන්නට නොවේ. ඔබට වචන කිහිපයක් කියන්නට මට අවශ්‍යයයි. එය අහන්නට ඔබ අකමැති නම් -මට වෙඩි තියන්න.”

හමුදා නිලධාරියෙක් තුවක්කුවක් එසැවීය; තවෙකෙක් ඔහුගේ අත නැවතීය. අවට සිටි තම සොල්දාදුවන්ගේ බැල්ම ඔහුට නොරිසිය; ඔවුන් බයිනේත්තු අල්ලා ගෙන සිටිති; එහෙත් ඒවා එල්ල වී ඇත්තේ අමුත්තා වෙතට නොවේ; ඔහුට කතා කරන්නට ඉඩදීම වඩා ආරක්ෂිත ය.

“සහෝදරවරුනි! ඇයි ඔබලා අපි සමඟ සටන් වදින්නේ? ඔබ අපිව මරන්නේ අපට ඔබලාව ජීවත් කරවීමට උවමනා නිසා ද? අපට ඔබලාට පාන් ලබා ගන්නටත්, ඉඩකඩම් වගා කරගන්නටත් දෙන්න උවමනා නිසා ද? ඔබ ඉන්නා ඌරු වලෙන් මිදී ඔබලාට, උපන් අයිතියෙන් ලැබිය යුතු, මිනිසුන් විය හැකි රාජ්‍යයක් විවෘත කරදෙන්නට අපට උවමනා නිසා ද? ඔබලාට එය අමතක වී ද? සහෝදරවරුනි! ඔබලාගේ තුවක්කුවලට එරෙහිව අප සටන් වදින්නේ ඔබලාගේ ජීවිතය වෙනුවෙනි! අපේ රතු කොඩිය, අපේ සහ ඔබලාගේ,… නඟිද්දී….”

වෙඩි පහරක් වැදිණ. කෙටි වූ, තියුණු වූ හඬක් පයිප්පයක් බිඳී යනවා සේ මිටියාවතේ ඇසිණ. හමුදා නිලධාරියෙක්ගේ නිල් වූ තොල් අග අසලින්, පුංචි නිල් දැල්ලක් තුවක්කුවකින් පෙනුණි. අන්ද්‍රෙ ටැගනොව් කැරකී ගියේය. ඔහුගේ දෑත් අහසට ලා කරකැවුණි. පළුදු වූ පස්මත ඔහු ඇද වැටුණි.

ඉක්බිතිව තවත් වෙඩි හඬ පටන් ගැනිණ. ගිනිදැල් සූ සූ ගා සුදු අගල් අතරින් පැතිරිණ. එහෙත් ඒවා ආවේ අනිත් පැත්තෙන් ‍නොවේ. හමුදා නිලධාරියෙක්ගේ සිරුර අගලින් පිටට විසි කෙරිණ. සොල්දාදුවෙක් අත් වනමින් කෑ ගසා රතු සොල්දාදුවන් අමතන්නට විය. “සහෝදරවරුනි!” ඔල්වරසන් නාදය තදින් පැතිර ගියේය. මිටියා‍වතේ පාද වැදෙනා නාදය පැතිර ගියේය. රතු කොඩි ලෙල දුනි. අත් සමූහයක් අන්ද්‍රෙ ඔසවන ලදි. කළු පොළවේ ඔහුගේ මුහුණ සුදු ය. ඔහුගේ ළය උණුසුම් හා ඇලෙන සුළු ය.

එවිට රතු හා සුදු සොල්දාදුවෝ අතිනතට දෙන සුදු අගල් වලට පැන ගෝනි ගොඩක් මත හිටගෙන රතු හමුදාවේ පවෙල් සියෙරොව් කෑ ගැසීය:

“සහෝදරවරුනි! පංති විඥානයේ පිබිදීමට ඔබට ආශීර්වාද කරන්නට මට අවසර දෙන්න! කොමියුනිස්ට් ඉතිහාසයට තවත් පියවරක් තබා පා ගමන් අරඹන්නට අවසර දෙන්න! ධනපති‍යාගේ සූරා කෑම භංග වේවා! මංකොල්ලකන්නාව මංකොල්ලාකන්න, සහෝදරවරුනි! යමෙක් වෙහෙස නොවෙයි ද, ඔහුට කන්න නොමැත! ලෝකයේ කම්කරුවෙනි එක්වෙයව්! කාල් මාක්ස් සහෝදරයා කී ලෙසින්, අපි, මේ පංතියේ..”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: