Sinhala story Blog

ඔක්තෝබර් 23, 2010

අපි ජීවත්වන්නෝ -87 ප්‍රියාවිය, අපි වැදගත් මිනිස්සු

Filed under: Uncategorized — sinhalashortstories @ 9:35 පෙ.ව.

1915 වසරේ දී, යන්ත්‍රය ඉදිරිපස අන්ද්‍රෙ සිටගෙන ය. ඔහුගේ දෑස් එහි ලෝහ වලට වඩා සීතල විය. ඔහුගේ දෑත් එහි උත්තෝලන වලට වඩා දරදඬු ය. ඔහුගේ ස්නායු ඒ දෑස් වලටත් දෑත් වලටත් වඩා සීතලෙන් හා තීව්‍ර විය. උදුන් හි ඇති ගිනිදැල් එළිය නිතිපතා වැදීම නිසා ඔහුගේ හම රන්වන් පාට වී ඇත. මාංශ පේශීන් ශක්තිමත් වූ බාහු සේ ම බාහු පිටුපසින් වූ අධිෂ්ඨානය ද ඔහු සැකසූ යකඩ සේ තෙම්පරාදු වී තිබිණ. පියා විසින් පැළ කරන ලද කුඩා සුදු පත්‍රිකා නැවත පුතාගේ අත්වල පිපෙන්නට වුණි. එහෙත් ඔහු ඒවා උණුසුම් කතාවන් පැවතෙන වේදිකා අබියස සෙනඟ වෙතට විසි නොකළේය. ඔහු ඒවා බෙදාහැරියේ රහසිනි. සැඟවුනු අත්වලට ය. ඒවා සමඟ ගිය වදන් ද කියැවුනේ රහසිනි. ඔහුගේ නම වූ ලැයිස්තුව අයත් පක්ෂය ගැන රහසින් හෝ කතාබහට බොහෝ දෙනෙක් බිය වූහ. පුටිලොව්ස්කි කර්මාන්තශාලාව පුරා ඔහු ලෙනින් නැමති පුරුෂයෙකුගේ වදන් බෙදා හැරියේ නොදැකි, ගුප්ත වූ ශිරා මාර්ගයන් වලිනි.

අන්ද්‍රෙ ටැගනොව්ගේ වයස දහනවයකි. ඔහු ඇවිද්දේ ඉක්මණින් ය, කතාකළේ හෙමිහිට ය, කිසිවිටෙක නැටුම් සාද සඳහා නොගියේය. ඔහු නියෝග බාර ගත්තේ ය, නියෝග නිකුත් කළේය, ඔහුට මිත්‍රයෝ නොසිටියහ. හම්කබා ඇඳි සුපිරින්ටැන්ඩන්වරුන් දිහා ද, ෆෙල්ට් බූට් සපත්තු හැඳි හිඟන්නෝ දිහා ද ඔහු නොහැකිළෙන දෑසින් අනුකම්පා විරහිත බැල්ම හෙලීය.

පවෙල් සියෙරොව් සිල්ලර කඩයක ලිපිකරුවෙක් සේ රැකියාව ලද්දේ ය. ඉරිදා දිනය ඔහු ගෙව්වේ වීදි කොණක වූ මත්පැන්හලක ඝෝෂා නැඟූ මිතුරන්ට සත්කාරයෙනි. ආසනයකට දිගා වී ඔහු සේවාව මඳක් පරක්කු වූයේ නම් වේටර්වරයාට සරුප වදන් කීය. ඔහු ඉල්ලන ඕනෑම කෙනෙකුට මුදල් ණයට දුන්නේ ය. කිසිම කෙනෙක් “පවුලූෂා” (කුඩා) වෙතට ද ණය මුදල් දීම ප්‍රතික්ෂේප නොකළහ. කෙල්ලක නැටුම් සාදයකට කැඳවාගෙන යද්දී ඔහු නම් දැරුවෝ විසින් නිමකළ ගවහම් පාවහන් පැළැඳ සිය ලේන්සුවට සුවඳ විලවුන් හලා ගත්තේ ය. කෙල්ලගේ බඳවටා අත යවා “අපි සාමාන්‍ය අය නොවේ, ප්‍රියාවිය, අප වැදගත් මිනිස්සු” යැයි කියන්නට ඔහු කැමත්ත දැක්විය.

1916 වසරේ දී පවෙල් සියෙරොව්ට සිල්ලර කඩයේ රස්සාව අහිමි විය. හේතුව කෙල්ලක් වෙනුවෙන් වූ සටනකි. ඒ යුද්ධයේ තුන්වැනි වසර ය. භාණ්ඩ මිල අධික ය. රැකියා හිඟ ය. පුටිලොව්ස්කි කම්හලේ ගේට්ටු අතරින් පවෙල් සියෙරොව් හිම පිරි හිමිදිරි පාන්දර ඇවිද්දේ ය. තවම අඳුර මැකී ගොස් නැති නිසා ගේට්ටුවට උඩින් වැදි කම්හලේ විදුලි පන්දම් එළිය ඔහුගේ ඉදිමුණු නිදිමත ඇස් කොටවන්නට සමත් ය. ඔහු ඈනුම් හැර තම කබා කොලරය ඉහළට ඔසවා ගන්නේ ය. මුලින් මුලින් ඔහු තම පරණ කල්ලිය මඟ හැ‍රියේය. තමා එහි රැකියාව කරනවා යැයි කියන්නට ඔහු ලැජ්ජා වුණි. පසුව ඔහු ඔවුන් මඟහැරියේ ඔවුන් ඔහුගේ යහළුවෝ වූ බව කියන්නට ලැජ්ජාවෙනි. ඔහු කුඩා සුදු පත්‍රිකා බෙදා හැරියේය. රහස් රැස්වීම්වල කතා පැවැත්වීය. අන්ද්‍රෙ ටැගනොව් වෙතින් ඔහු නියෝග බාරගත්තේ “අන්ද්‍රෙ මට වඩා කලක් හිටි නිසා පමණය, ඉන්න මා ඔහුගේ තත්වයට ළඟාවන තෙක්” යැයි කියාය. කම්කරුවෝ “පවුලූෂා” ප්‍රිය කළහ. තමාගේ පරණ යහළුවෙක් මුණ ගැසි විටෙක, ඔහු උදුම්මාගත් හිසින් ඔහු පසුකර ගියේ ඔහුට නම්බුනාමයක් උරුමයෙන් ලැබී තිබුණා සේ ය. කාල් මාක්ස් කියූ ආකාරයට තුච්ඡ, නීච ධනේශ්වර පංතියට වඩා ඉහළ වූ කම්කරුවන්ගේ සුපිරි තත්වයක් ගැන ඔහු කතා කළේය.

1917 වසරේ පෙබරවාරි මාසයේ දී අන්ද්‍රෙ ටැගනොව් පෙට්‍රොග්‍රෑඩයේ වීදි මැදින් ජනඝෝෂාවක් රැගෙන ගියේය. ඔහු තම ප්‍රථම රතු කොඩිය ඔසවාගෙන ගියේය. සිය ප්‍රථම තුවාලය ලද්දේ ය. මුල්ම මිනිස් ජීවිතය -පොලිස් භටයෙක්- බිලිගත්තේ ය. ඔහුට චමත්කාරයක් දැනුනේ රතු කොඩියෙන් පමණි.

පවෙල් සියෙරොව් පෙබරවාරි අරගලය නගරයේ පදිකවේදිකා මතින්, ජයග්‍රාහීව ඇරඹෙනවා නොදුටුවේ ය. ඔහු ගෙදරට වී සිටියේ ය. ඔහුට හෙම්බිරිස්සාවක් වැළඳී තිබිණ.

එහෙත් 1917 ඔක්තෝබරයේ දී, පවෙල් හා අන්ද්‍රෙ ගෞරවයෙන් රැගෙන ගිය සාමාජිකත්වය දැක් වූ කාඩ්පත් හිමි පක්ෂය බලය අල්ලා ගන්නට සැරසෙද්දී, ඔවුන් දෙදෙනාම වීදියට බැස්සහ. අන්ද්‍රෙ ටැගනොව් තම හිසකෙස් සුළඟට හැම අත විහිදී යද්දී හිම මාලිගය අල්ලා ගන්නට සටන් වැදුනේය. මහා අදිපාදවරයාගේ මන්දිරයේ වස්තු කොල්ල කෑම නතර කිරීම වෙනුවෙන් -වටිනා දෑ බොහොමය නැති වුවාට පසුව- පවෙල් සියෙරොව් ඊට ප්‍රශංසා ලද්දේ ය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: