Sinhala story Blog

ඔක්තෝබර් 8, 2010

අපි ජීවත්වන්නෝ -73 වැඩියෙන් ගෙවන්න වුනාම අගය වැඩියි

Filed under: Uncategorized — sinhalashortstories @ 12:12 ප.ව.

ඇලෙක්සැන්ඩර් ඩිමිට්‍රියෙවිච් සිය අවසාන මුදල් වියදම් කළේ නරක් වූ ඌරු තෙල් මිල දී ගන්නටය. කුස්සියේ උදුන මත දැවැන්ත පිත්තල රෙදි හෝදන කල්දේරමක ඔහු එය උණු කළේය. එහි දුම් මතින් භාජනයට එබී, ඇසිපිය ගහමින්, වැලමිටට ඉහළින් කමිස අත් නවාගෙන, ලී හැන්දකින් ඔහු එය හැඳි ගෑවේය. කුස්සියේ දොර හැර තබන්නට සිද්ධ විය. නිවස උණුසුම් කරන්නට වෙනත් උදුනක් නොවීය. කර්මාන්ත ශාලාවක බිම්මහලක තිත්ත වූ කස්තුරි ගන්ධයක් රෙදි ලොන්ඩරියක ගඳත් හා එකතුව ඉරි ඇඳි සිවිලිම දක්වා පැතිර ගියේය. ගලීනා පෙට්‍රොව්නා ඉඳහිට උගුර පාදමින්, පරිස්සමින් ඇඟිලි නවාගෙන, නරක් වූ ඌරු තෙල් කුට්ටිය කුස්සියේ මේසය මත තබා කෑලි කැපුවාය.

ලිඩියා පියානෝව වාදනය කළාය. ඇය හිමිකම් කී දෙකක් ගැන ඇය ආඩම්බර වූවාය. පළමුවැන්න ඇය සතු කෙස් වරළ විය. හැම උදෑසනකම ඇය පැය භාගයක් පමණ සිය කෙස් කළඹ පීරීය. දෙවැන්න ඇයගේ සංගීතයයි. හැමදාම පැය තුනක් ඇය පුහුණුව ලද්දීය. ගලීනා චොපැන් සංගීතය ඉල්ලා සිටියාය. ලිඩියා චොපැන් සංගීතය වාදනය කළාය. චින්තාපර සංගීතය රෝසමල් පෙති සේ සියුමැලි බවින් පරණ උද්‍යානයක අඳුරේ වැටෙනා විලසකට සබන් දුමාරය මැදින් මෘදුව ඇසුණි. ගලීනා පෙට්‍රොව්නා තම පිහියට කඳුළු වැටුනේ ඇයි කියා නොදත්තාය. ඇය සිතුවේ ඌරු තෙල් වලින් ඇස් වලට සැර වැදුනා කියාය.

කීරා මේසය ළඟ පොතක් අතැතිව හිඳ ගෙනය. කල්දේරමෙන් එන ගන්ධය ඇයගේ උගුර කුඩා තියුණු උල් වලින් අනිනා සේ කකාරවයි. ඇය ඊට වැඩි සැලකිල්ලක් දැක්වූයේ නැත. කවදා හෝ දිනයක ඇය ඉදි කරනා පාලම සඳහා පොතේ ඇති වචන මතකයේ තබාගත යුතුය. එහෙත් ඇය නිතරම නැවතිණ. ඇය සිය අත දිහා බැලුවාය. දකුණු අතේ අල්ල දිහා බැලුවාය. නළලේ සිට නිකට දක්වා ඇය ඒ අල්ලෙන් සිය මුහුණ පිරිමැද්දාය. ඇය හැමදා පිළිකුල් කරන ලද සියල්ලටම නතු වූවා සේ ඇයට දැනුනි. ඇයගේ මුහුණ ලැජ්ජාවෙන් පිරුණි. එහෙත් කිසිවකුට එය දුමාරය තුලින් දකිනු නොහැකිය.

අපිරිසිදු දුඹුරු පැහැයෙන් වූ මෘදු, තෙත හතරැස් කැබලි ලෙසින් සබන් නිම විය. ඇලෙක්සැන්ඩර් ඩිමිට්‍රියෙවිච් සිය නැව් කබායකින් ගත් පිත්තල බොත්තමකින් නැංගුරමක් ඒ හතරැස් කැබලි වල මුද්‍රා තැබීය.

“වැදගත් අදහසක්! වෙළඳ ලාංඡනයක්,” රැවුල් නොබෑ පොත් තබන්නා කීය. “අපි මේක ‘ආර්ගුනෝවාගේ නාවුක සබන්’ යයි හඳුන්වමු. හොඳ අරගලය කියා පාන නමක්.”

සබන් රාත්තලක් සඳහා වෙළඳපොලෙන් ගන්නවාට වඩා වැඩි මුදලක් ඇලෙක්සැන්ඩර් ඩිමිට්‍රියෙවිච්ට වැය වී තිබුණි.

“ඒක මොකක් ද?” ඔහුගේ හවුල්කාරයා කීය. “ඒක වැඩිය හොඳයි. වැඩියෙන් ගෙවන්න වුනාම අගය වැඩියි. මේකෙ අනගි සබන් කෑල්ලක්. අර පරණ ජුනොව් ජරාව වගෙ නෙමේ.”

උරහිස මත රඳවන්නට කරපටි රැඳ වූ බන්දේසියක් ඔහුට විය. දුඹුරු හතරැස් කැබලි බන්දේසියේ ප්‍රවේසමින් අසුරා ගෙන ඔහු උරුලං බාමින් ඇලෙක්සැන්ඩ්‍රෙව්ස්කි කඩපොළ වෙත පිය නැඟුවේය.
*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: