“ඒ වගේම අරීනා සුප්‍රසිද්ධ කලාකාරියක් වෙයි, අන්කල් වසිලි.”
“ඉතින්, කීරා, ඔයා අද උදේ පත්තර කියෙව්ව ද? ඔන්න බලාගෙන ඉන්න එංගලන්තය දිහා. ඊ ළඟ මාසයක දෙක ඇතුළත…”
සීල් මත්ස්‍ය හමින් නිමකළ තොප්පියක් පැළඳි ප්‍රථුල ශරීරයකින් යුතු වූවෙක් සාක්ස් ඔරලෝසුව දිහා විවේචනාත්මක බැල්මක් හෙළීය.
“මිලියන පනහක් දෙන්නම් ඕකට, පුරවැසියෙනි,” ඔහු කීවේ වාදයට ඉඩක් නොතබා ගව හමින් වූ අත්වැසුමක කොට ඇඟිල්ලක් ඔරලෝසුවට යොමු කරමිනි.
ඒ මුදල පාන් රාත්තල් දහයක් ගන්නටවත් ප්‍රමාණවත් නැත. වසිලි ඉවානොවිච් පසුබට වූයේය; ගෙවල් පේළියට ඉහළින් අහසේ රතු පැහැය පැතිරෙන ආකාරය ඔහු චින්තාපරව බැලීය. අවට ගමන්කරනා සෑම කෙනෙක් දෙසම උනන්දු හා බලාපොරොත්තු සහිත බැල්ම හෙලන අයගේ සෙවනැලි පදික වේදිකාවේ දික්වන ආකාරය ඔහු දැකීය.
“එහෙම…” ඔහු මිමිණීය.
“මොකද පුරවැසියෙනි,” කීරා ඒ පුරුෂයා වෙත තදින් හැරුණාය. ඇයගේ ස්වරය හදිසියේම තියුණු විය, රණ්ඩුකාරී විය, අමනාපයට පත් බිරියකගේ සේ විය, “මිලියන පනහක්? මේ මම මිලියන හැටක් මේ පුරවැසියට යෝජනා කළා විතරයි. මේ ඔරලෝසුවට. ඒත් එයා විකුණන්න බැහැයි කිව්ව. මම දෙන්නම්…”
“මිලියන හැත්තෑ පහක්. මම අරගන්නම්,” අමුත්තා කීය.
වසිලි ඉවානොවිච් ප්රවේශමින් මුදල් නෝට්ටු සියල්ලම ගැන බැලුවේය. ප්‍රථුල ඉනට හිර වී ගැහෙන, තමන් වෙතින් ඈතට ඇදී යන ඔරලෝසුව දිහා ඇහැ නොගහන්නට ඔහු කල්පනාකාරී වූයේය. ඔහු කීරා දෙස ඇස් යොමු කළේය.
“කොහොම ද ළමයෝ ඒක ඉගෙන ගත්තෙ?”
ඇය සිනහා වූවාය. “ඕනැම දෙයක් ඉගෙන ගන්න කෙනෙකුට පුළුවන් -හදිසි අවස්ථාවක දී.”
ඔව්හු වෙන්ව ගියහ. වසිලි ඉවානොවිච් ඉක්මණින් නිවහන බලා පා තැබීය. කීරා ගමන් මල්ලක් සොයා ගියාය.
වසිලි ඉවානොවිච් ඇවිද්දේ වාහන ගාස්තු ඉතිරි කරගන්නටය. අඳුර හැම පැත්තෙන්ම කඩා වැටෙයි. දිගු කාලයකට හැලෙන්නට වුවමනා නිසා වේගය ඉතිරි කරගන්නට මෙන් හිම සෙමෙන් සෙමෙන්, එකදිගටම පතිත වෙයි. මුක්කච්චියන් අසල ඝන සුදු පෙන එකතුය.
එක කොණක වූ මිනිස් ඇස් දෙකක් වසිලි ඉවානොවිච්ගේ උදරය වෙතින් පටන්ගෙන මුහුණ දක්වා බැල්මක් පැතිරුණි. ඒ ඇස් අයත් වූයේ තරුණ, රැවුල් කපා දැමූ මුහුණකටය. මුහුණට අයත් ශරීරයේ දණහිසින් පසු කකුල් පදිකවේදිකාවෙන් වැටී ගොස් සේ පෙනුණි. හිම මත වූ කිළිටි රෙදි කැබලි වලින් ඔතන ලද කකුල් කොට මිසක තරුණයාට දෙපා නොමැති බව වසිලි ඉවානොවිච් ආයාසයෙන් වටහා ගති. කකුල් නැති සිරුරේ ඉහළ කොටසේ ඇත්තේ අධිරාජ්‍ය හමුදාවේ නිලධාරියෙකුගේ පිරිසිදු, එළලන ලද නිලකබායකි. කබායේ එක් අතක් හිස්ය. අනික් කබා අතේ බාහුවක් ද ඒ අග අතක රැඳුන පුවත්පතක් ද විය. ඒ අත වූයේ ගමන්ගන්නා අයගේ දණහිස් හා සමාන උසකිනි. ඒ නිලකබායේ කරපටියේ ඉදිරි අග කුඩා කළු හා තැඹිලි පැහැයෙන් වූ ශුද්ධ වූ ජෝර්ජ්ගේ කුරුසය දක්වන පීත්ත පටියක් වසිලි ඉවානොවිච් දුටුවේය.
වසිලි ඉවානොවිච් නතරව පත්තරයක් මිලට ගත්තේය. පත්තරය රූබල් පනස් දහසකි; ඔහු රූබල් මිලියනයක නෝට්ටුවක් පහළට පෑය.
“සමාවෙන්න, පුරවැසියෙනි,” නිලධාරියා සෞම්‍ය වූ ද, ආචාරසම්පන්න ලෙස ද ඇමතීය, “මා ළඟ මාරු නැහැ.”
වසිලි ඉවානොවිච් ගොරෝසු හඬින් මැතිරුවේ “තියාගන්න, ඒත් මා තව දුරටත් ඔබේ ණයකාරයෙක් වෙන්නෙමි,” කියාය.
ආපසු නොබලා ඔහු ඉක්මණින් පියවර මැන්නේය.
*
ප්‍රතිචාරයක් ලබාදෙන්න