Sinhala story Blog

සැප්තැම්බර් 28, 2010

අප ජීවත්වන්නෝ -65 ජීවත්වන අනාගතයක්

Filed under: Uncategorized — sinhalashortstories @ 12:19 ප.ව.

ඇලෙක්සැන්ඩර් ඩිමිට්‍රියෙවිච්ගේ කඩය සරු වෙළඳාම් කළ විට කීරාට වාහනයකින් යන්නට ගමන් වියදම් ලැබුණි. වෙළඳාමක් නොවුනු කල ඇයට විද්‍යායතනයට ඇවිදින්නට සිදු විය. නමුත් ඇය සෑමදාම විද්‍යාතනයට ඇවිද්දාය. සිය ගමන් වියදම් ඇය ඉතුරු කලේ ගමන් මල්ලක් මිල දී ගන්නටයි.

එය මිලට ගන්න ඇය ඇලෙක්සැන්ඩ්‍රෙව්ස්කි කඩපලට ගියාය. පරිහරණය කරන ලද්දක් ඇයට ගත හැකිය. ඇලෙක්සැන්ඩ්‍රෙව්ස්කි කඩපලේ ඕනෑම පරිහරණය කරන ලද්දක් හෝ පරිහරණය කර අත්හැර දමන ලද්දක් මිලයට ගන්නට පුළුවන.

ඇය ගමන් කළේ සෙමින්ය. පදිකවේදිකාව පුරා අතුරන ලද බඩුභාණ්ඩ වලට උඩින් පනිමින්ය. කුඩා වයසක කාන්තාවක් ඇය දෙස සිය ඇත්දත් පැහැති අත් කළු සාටකයක රඳවා ගනිමින් මේස රෙද්දක් මත ඇතිරූ රිදී ගෑරුප්පු, පාට දිය වී ගිය පින්තූර පිරි නිල් ඡායාරූප පොතක් හා ලෝකඩ ආගමික පිළිරුවන් තුනක් උඩින් පනිනා කීරා දෙස උනන්දුවෙන් හා බල‍පොරොත්තු සහගතව බැලුවාය. ඇසක් වටා කළු රෙදි කැබැල්ලක් හැඳගත් වයසක පුරුෂයෙක් හිල් වැටි රත්තරන් රාමුවක වූ තරුණ නිලධාරියෙකුගේ ඡායාරූපයක් කිසි කතාවක් නොමැතිව ඇය වෙත පෑවාය. කහිමින් සිටි තරුණ ස්ත්‍රියක් පැහැය සෝදාගිය සැටින් යට ඇඳුමක් ඇය වෙතට යොමු කළාය.

කීරා හදිසියේම නැවතුණි. පදිකවේදිකාවේ දිගින් දිගට ඇදි බලාපොරොත්තු රහිත පිරිස අතරින් පැතළි උරහිස් වූ අනික් අයට වඩා උසින් වූ වසිලි ඉවානොවිච් නිහඬව හිටගෙන ඉන්නා ආකාරය ඇය දිටීය. එතැන ඔහු හිටගෙන ඉන්නෙ ඇයි ද යන්න අනිත් අය මෙන් ඔහු දැන්වූයේ නැත. ඔහු වෙනුවෙන් ඒ දැන්වීම කළේ සීතලට මිදුණ, අත් වැසුම් නොමැති, රතු වූ දෑත් දෙකක රැඳි පැහැපත් සාක්ස් මැටියෙන් නිම වූ සිලිටු ඔරලෝසුවයි. ඝනට වැඩි සුදුවෙමින් යන ඇහිබැම යටින් වූ කළු දෑස්වල කිසිම ආවේගයක් දකින්නට නොමැත. ඒ දෑස් ඔහු පසුකරගෙන එහා මෙහා යන අයගේ හිස් මතින් වූ යම් අපහැදිලි තැනකට එල්ල වී තිබේ.

ඔහුගේ හිත නොරිදවා, ඔහු තමාව දකින්නට පෙර හැරෙන්නට කීරාට ඉඩක් නොලැබුණි. තමා හමුවීම ගැන තැකීමක් ඔහුට නැති බව පෙනුණි. ඔහු ඇයට කතා කළේය. ඔහුගේ දැඩි මුහුණේ ඇඳුනේ හිනාවකි, අමුතු, කරකියා ගත නොහැකි සිනාව ඔහු තුල වූයේ කීරා, වික්ටර් හා අරීනා වෙත පමණකි.

“කොහොම ද සැප සනීප, කීරා? දකින්න ලැබීම සතුටක්. දකින්න ලැබීම සතුටක්. … මේක? නිකම් පරණ ඔරලෝසුවක්නෙ. එච්චර වැදගත් නැහැ. … මම මේක මිල දී ගත්තෙ මරුස්සියාගෙ උපන්දිනේටයි. අපි දෙන්නා විවාහ වුනාට පස්සෙ ආපු එයාගෙ පළමු උපන්දිනේට. එයා ඒක කෞතුකාගාරයක තියෙනවා දැකලා, ඒකම ඕනා කිව්වා. ඉතින් මට උපායශීලී වැඩ ටිකක් කරන්න සිදුවුණා. කෞතුකාගාරයෙන් පිටතට විකුණන්න රාජකීය ආඥාවක් ලබාගන්න සිද්ධ වුණානෙ. තව දුරටත් මේක වැඩ කරන්නෑ. මේක නැතුවාට අපිට ජීවත්වෙන්න පුළුවන්.”

ඔහු කතාව නවතා බෙල්ල කසමින්, ඔරලෝසුව දිහා ඇසිපිය නොගසා බලා සිටිනා ස්ථුල ගම්බද කාන්තාවක් දිහා බලාපොරොත්තු සහගතව බැලීය. එහෙත් ඇයගේ ඇස් වසිලිගේ ඇස් මුණගැසි විට ඇය හැරී, සිය බර සාය ලොම්රෙදි බූට් සපත්තු වලට ඉහළින් ඔසවා ගෙන, ඉක්මණින් පියවර මැන්නාය.

වසිලි ඉවානොවිච් කීරාට රහසින් කියයි: “මෙතැන ප්‍රීතිමත් ස්ථානයක් නෙවෙයි. තමන්ගෙ අන්තිම බඩු භාණ්ඩ ටික විකුණන අසරණ මේ මිනිස්සු ගැන මට දුකයි. ජීවිතය ගැන කිසිම බලාපොරොත්තු නැහැ. මගෙ තත්වය ‍ඊට වෙනස්. මට කමක් නැහැ. මේ පොඩි අඩුම කුඩුම ටිකක් නැතිවුනාම මොකද? මේවා ඕන තරම් අළුතින් මිලට ගන්න මට ආයෙත් කාලයක් එනවා. විකුණන්න නොහැකි, නැති කරගන්න බැරි, ජනසතු කරන්න නොමැති දෙයක් මා සතුයි. මට අනාගතයක් තියෙනවා. ජීවත්වන අනාගතයක්. මගේ දරුවො. ඔයා දන්නවා ද? අරීනා -එයා හරි දක්ෂ ළමයෙක්. හැමදාම පංතියෙ පළමුවැනියා. පරණ කාලේ උපාධිය ලැබුණ නම් රත්තරන් පදක්කමක් එයාට ලැබෙනව. වික්ටර්?” ඔහුගේ මහළු උරහිස් සීරුවෙන් හිටගන්න අණක් ලැබී හමුදාභටයෙකුගේ මෙන් ජවසම්පන්නව කෙළින් විය. “වික්ටර් අසාමාන්‍ය තරුණයෙක්. එයා තමයි මා දැකල තියන නුවණැතිම වූ කොල්ලා. ඔව්, අපි සමහර අවස්ථාවල දී එකඟ වෙන්නෙ නැහැ තමයි. ඒත් ඒ එයා තාම තරුණ නිසා, එයාට තාම හරියට වැටහෙන්නෙ නැහැ. ඔන්න මම කිව්ව කියල මතක තියාගන්නකො. කවද හරි වික්ටර් විශිෂ්ඨ මිනිහෙක් වෙයි.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: