Sinhala story Blog

සැප්තැම්බර් 20, 2010

අප ජීවත්වන්නෝ -59 ඔයාලා කවරදාක වත් නොදැකපු දෙයක්

Filed under: Uncategorized — sinhalashortstories @ 2:02 ප.ව.

කීරා අපහසුවෙන් සිනාවක් මුව නඟා ගත්තීය. ඔහු වෙතින් දෑස් මෑත් කර වෙනතක බලා “ඔව්, අන්කල් වසිලි, හරිම හොඳ අදහසක්,” යයි කෙඳිරුවාය.

නිවහනේ සීනුව නාද විය. අනතුරුව ගෙදර කෑම කාමරය පැත්තෙන් ඔවුනට සීනුවටත් වඩා උස් හඬින් ගලා ආ පැහැදිලි, කෙල්ලකගේ හිනා හඬක් ඇසිණ. වසිලි ඉවානොවිච්ගේ ඇස් බැමි හැකිළිණ. “මෙන්න ඇය ආයෙත්,” ඔහු කීවේ අකැමත්තෙනි. “වාවා මිලොව්ස්කේයා. වික්ටර්ගෙ යෙහෙළියක්.”

“මොකද කාරණය, අන්කල් වසිලි? ඔබ එයාට කැමති නැද්ද?”

ඔහු දෙවුර හැකිළීය. “ඔහ්, ඇයගෙ වැරැද්දක් නැහැ, මම හිතන්නෙ. මම ඇයට අකමැති නැහැ. එකම දේ, ඇය‍ ගැන කැමති වන්න කිසිවක් නැතිවීමයි. පලාමල්ලක් වගෙ මොළයක් තියන කුඩා ස්ත්‍රියක්. ඔයා වගෙ කෙල්ලෙක් නෙමෙයි, කිරා. එන්න. මම හිතන්නෙ ඔයාට එයාව හමුවන්න වෙයි.”

කෑම කාමරය මැද සංදීප්ත කවයන් දෙකක් මෙන් වාවා මිලොව්ස්කේයා හිටගෙනය. පහත වූ විශාල කවය -කැඳ දැමූ චීත්ත රෙද්දකින් නිම වූ විහිදෙන රෝස පැහැති සායකි. ඉහළින් වූ කුඩා කවය – දිළිසෙන කළු කැරළි පිරි අවුල් කොණ්ඩයක පිරි කපුරු මල්ය. ඇයගෙ ගවුම චීත්ත රෙද්දෙන් නිම වූවත්, එය අළුත්ය, මිල අධිකය. ඉතා සිහින් දියමන්ති වළල්ලක් ඇය අතක බැඳ සිටියාය.

“සුබ සන්ධ්‍යාවක්, වසිලි ඉවානොවිච්!” ඇය ගයන්නීය. “සුබ සන්ධ්‍යාවක්!, සුබ සන්ධ්‍යාවක්!” ඇය උඩ පැන්නාය, ඇයගෙ දෙඅත් ඔහුගේ දසරුව මත තබා, ඇයගේ රෝස සාය හැම අතම විහිදා යද්දී ඇය ඔහුගේ දැඩි නළල මත හාදුවක් තැබුවාය. “ආ මේ -මම දන්නවා- කීරා! කීරා ආර්ගුනෝවා, ඔයාව දැකීම කොතරම් ප්‍රීතියක් ද, ඇති යාන්තම්, කීරා!”

වික්ටර් ඔහුගේ කාමරයෙන් එළියට ආවේය. වාවා කිහිප වතාවක්ම තමා පැමිණියේ අරීනා හමුවන්නට බව තහවුරු කරමින් කීවාය. ඒත් ඔහු මෙන්ම, එහි සිටි සියල්ලෝම ඇයගෙ ගොඩ වැදීමට හේතු වූ සත්‍ය හේතුව දැන සිටියහ. ඔහු ඇය ‍දිහා සිනාවෙමින් බලා සිටියේය. සතුටින් හිනාවක් පා, ඔහු ඇයට කවටකම් කළේය. ආසියාගේ කනින් ඇදීය. මරියා පෙට්‍රොව්නා කහිද්දී ඇයට උණුසුම් කරන ලද සළුවක් ගෙනැත් දුන්නේය. විහිළු කතා කිහිපයක් කියමින්, කාමරයේ කොණක දොම්නසින් හිඳගෙන සිටි වසිලි ඉවානොවිච්ට ද සිනාවක් මුව අග ඇති කරන්නට හේ සමත් විය.

“ඔයාල හැමෝටම පෙන්වන්න මම දෙයක් ගෙනාවා.” වාවා අභිරහසක් හෙළිකරන්නියක මෙන් දැනුම් දුන්නාය. ඇය අත්බෑගයෙන් කුඩා පාර්සලයක් එළියට ගත්තීය. “යමක්..ඉතා අපූර්ව දැයක්. ඔයාලා කවරදාක වත් නොදැකපු දෙයක්.”

ඔළු සියල්ලම මේසය වෙත නැඹුරු විය. තැඹිලි පැහැයෙන් හා රත්තරනින් යුතු චූටි පෙට්ටියකි. වාවා මායාකාර වූ වදන් මැතුරුවාය: “පිටරටින් ගෙනාපු.”

ඔවුන් සැවොම එය දිහා අල්ලන්නට බියැති ගෞරවයෙන් බලා සිටියහ. සාමාන්‍ය ලෙසින් කතා කරන්නට උත්සාහ කරමින්, එහෙත් හුස්ම ගැනීම පාලනය කරගත නොහැකිව, ආඩම්බරයෙන් වාවා රහසින් කොඳුරයි: “මුහුණට දාන වත්සුණු. ප්‍රංශයෙන්. ඇත්තටම ප්‍රංශයෙන්. රීගා වලින් හොරෙන් අරන් ආව එකක්. තාත්තගෙ ලෙඩෙක් ගාස්තුවෙන් කොටසක් හැටියට දුන්න.”

“ඔයා දන්නවා ද,” අරීනා කීවාය, “මම අහල තියනවා පිටරට අය පියරු පමණක් නෙමෙයි තොල් ආලේපනත්, -හිතන්න පුළුවන් ද- පාවිච්චි කරනවා කියල.”

“ඔව්,” වාවා කීවාය, “ඒ ගැහැණිය, තාත්තාගෙ ලෙඩා, මට පොරොන්දු වුනා ඊ ළඟ සැරේ තොල් ආලේපනයක් ගෙනැත් දෙන්න.”

“වාවා! ඔයා ඒක ගාන්න තරම් හිතන්නෙ නැහැනෙ!”

“ඔහ්…මම දන්නෑ. සමහර විට…සමහර විට ඉතා ඩිංගක්. ඉඳහිටලා.”

“වැදගත් කාන්තාවෝ කිසිම කෙනෙක් තොල් ආලේපන ගාන්නෙ නැහැ,” මරියා පෙට්‍රොව්නා කීවාය.

“නමුත්, එයාල කියනවා ඒක කිසිම ප්‍රශ්නයක් නැති දෙයක් කියලා, පිටරට.”

“පිටරට,” මරියා පෙට්‍රොව්නා චින්තාපරව සුසුම් ලෑවාය. “එහෙම තැනක් තියෙනවා නේද, කොහේ හරි?…පිටරට…”
*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: