Sinhala story Blog

සැප්තැම්බර් 19, 2010

අප ජීවත්වන්නෝ -59 මම කිසිම මිනිහෙකුට රූබලයක්වත් ණය නැහැ

Filed under: Uncategorized — sinhalashortstories @ 7:13 ප.ව.

“නෑ. ඒක මගේ භාග්‍යය.

ඔවුන් විනාස කරල නැහැ. තාමත් අළුත් වගේම තියනවා. වීදුරු පෙට්ටියෙ නම් දිග ඉරක් හීරිලා තියෙනවා දැක්ක. ඒත් ඒක හදාගන්න පුළුවන්. මේකයි හරිම විකට වැඩේ..” ඔහු සිය සතුරන් උපායෙන් ජයගත් ලෙසින් ප්‍රයෝගකාරී වූ ප්‍රමුදිත සිනාවක් පෑය. “සංඥා පුවරු, කීරා ඔයාට මතක ද මගේ සංඥා පුවරු? කළු අකුරු තිබිච්ච දොයිරාදු කරපු වීදුරු? ඉතින්, මම ඒවත් හොයා ගත්ත. ඒවා ඇලෙක්සැන්ඩ්‍රෙව්ස්කි පොළ ලඟ සමූපාකාරයක් උඩ එල්ලලා. එක පැත්තක ‘රජයේ සමූපාකාරය’ කියලා තිබුණට අනිත් පැත්තෙ -අනිත් පැත්තෙ තාම තියෙන්නෙ ‘වසිලි ඩුනේව්. ලෝම’ කියලයි. ඔහු මරියා පෙට්‍රොව්නාගේ බැල්ම දුටුවේය. ඔහුගේ ඇහිබැම හැකිළුණි. “මරුස්සියා දැන් විශ්වාස කරන්නෑ කිසිදෙයක්. ඇය හිතන්නෙ නැහැ අපිට සේරම ආයෙත් ලැබේවි කියල. ඇයගේ විශ්වාසය ඉතා ඉක්මණින් නැතිවෙලා ගිහින්. ඉතින් කීරා? ඔයා මොනවද හිතන්නෙ? ඔයා හිතනවා ද ඔයාගෙ මුළු ජීවිතයම රතු බූට් සපත්තුව යටින් ගෙ‍වෙයි කියලා?”

“නැහැ,” කීරා කීවාය, “ඒක හැමදාම පවතින්න බැහැ.”

“ඒක නේන්නම්, එහෙම බැහැ. සහතිකයෙන්ම, එහෙම බැහැ. ඒකයි මම කියන්නෙ, එහෙම බැහැ.” ඔහු හදිසියේම නැඟිට්ටේය. “එන්න මෙහාට කීරා, මම ඔයාට යමක් පෙන්වන්නම්.”

“වසිලි,” මරියා පෙට්‍රොව්නා සුසුම් හෙළුවාය, “ඔයාගෙ සුප් එක ඉවර කරන්නැද්ද?”

“සුප් නෙමෙයි. මට බඩගිනි නැහැ. එන්න මගෙ කාර්යාලයට, කීරා.”

වසිලි ඉවානොවිච්ගේ කාර්යාලයේ වූයේ එක මේසයකුත් එක පුටුවකුත් පමණි. ඔහු මේස ලාච්චුවක් අගුල් හැර පරණ කහ ගැහුණු ලේන්සුවකින් එතූ ලොකු පොදියක් අතට ගත්තේය. තදින් බැඳි ගැටයක් ලිහා, ආඩම්බරයෙන් සිනාවෙමින්, සතුටින් කඩා වැටුණු දෙවුර කෙළින් කරගනිමින් ඔහු පොදිය තුල වූ සාර්ගෙ කාලයේ මුද්‍රිත නැවුම් බවින් තවමත් පැවති සුකෘත ලෙසින් පොදි බැඳි සුවිසල් නෝට්ටු කීරාට පෙන්වූයේය. එහි අන්තර්ගත වූයේ දහස් ගණනකින් වූ වස්තු සම්භාරයකි.

කීරා තදින් හුස්මක් ඉහළට ඇද්දාය. “ඒත්, අන්කල් වසිලි, මේවා…මේවා වටිනාකමක් නැහැනෙ. පාවිච්චියට තහනම්නෙ…ළඟ තියාගන්නත් තහනම්…මේක හරි….අවදානම්.”

ඔහු හඬනඟා සිනාසීය. “ඔව්, මේවායෙ වටිනාකමක් නැහැ තමයි -දැන්. නමුත් පොඩ්ඩක් ඉඳලා බලන්නකො. ඉන්නකො වෙනසක් පටන් ගන්නකම්. එතකොට මගේ මේ අතමිටේ කීයක් තියේ ද කියලා ඔයාට පෙනේවි.”

“ඒත්..අන්කල් වසිලි, කොහෙන්ද ඔයා මේවා හොයාගත්තෙ?”

“මම සල්ලි දීලා ගත්ත. හොරෙන් තමයි. කළුකඩකාරයන්ගෙන්. අනතුරුදායක තමයි. ඒත් ගන්න පුළුවන්. මට සෑහෙන්න වියදම් වුනා තමයි. මම කියන්නම් ඔයාට ඇයි මම මේ තරම් ගොඩක් ගත්තෙ කියල. ඔන්න බලන්න, ජනසතු වන්න පොඩ්ඩකට කළියෙන්…ඔබ දන්නවානේ, ඒ ගොල්ලො කඩේ ජනසතු කරන්න කළියෙන්…මට ගෙවන්න තිබුණ ලොකු ගාණක් -මගේ කඩේ වීදුරු ජනේල වලට. ඒක මම ‍ගෙන්න ගත්තෙ පිටරටින්, ස්වීඩනයෙන්, ටවුමේ කාටවත් ඒ වගෙ ජනේලයක් තිබුනෙ නැහැ. උන් කඩේ ගත්තම, උන්ගෙ බූට් සපත්තු වලින් ජනේලයට පයින් ගහල කඩල දැම්ම. ඒකට මොනව කරන්න ද? ඒත් මම වීදුරු මිල දී ගත්තු ‍වෙළඳ සමාගමට සල්ලි ගෙවන්න ඕනනෙ. දැන් මට කොහොමවත් බෑ ගෙවන්න. පිටරටට සල්ලි යවන්න බෑනේ. ඒත් මම බලාගෙන ඉන්නෙ. අර කමකට නැති සෝවියට් කසල කඩදාසි වලින් මට ගෙවන්න බෑ. මොකද, පිටරට ඒවා එයාලගෙ නානකාමර වලටවත් පාවිච්චියට ගන්නෑනෙ. කෙනෙක්ට රත්තරන් ගන්නත් බෑ. ඒත් මේවා -මේවා රත්තරන් වගේ වටිනව. මම මගේ ණය ගෙවනව. මම හොයල බැලුව. ඒ වීදුරු සමාගමේ වයසක උන්දැ මැරිල. ඒත් එයාගෙ පුතා ජීවතුන් අතර ඉන්නව. ඔහු දැන් බර්ලින්වල ඉන්නෙ. මම ඔහුට ගෙවනව. මම කැමති නැහැ කාටවත් ණයවෙන්න. මගේ මුළු ජීවිතය පුරාම මම කිසිම මිනිහෙකුට රූබලයක්වත් ණයවෙලා නැහැ.” ඔහු කඩදාසි පොදිය අල්ල මතින් බර කිරා බැලීය. “වයසක මනුස්සයෙකුගෙන් අවවදායක් ගන්න, කීරා. කවදාවත් ආපහු හැරී බලන්න එපා. අතීතය මියගිහින්. ඒත් හැමවිටකම අනාගතයක් තියෙනව. හැමවිටකම අනාගතයක් තියෙනව. ඉතින්, මේ තියෙන්නෙ -මගේ. හොඳ අදහසක් නේද, කීරා, මේ මුදල් එකතු කර ගැනීම,” ඔහු සුමුදු හඬින් කීය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: