Sinhala story Blog

සැප්තැම්බර් 14, 2010

අප ජීවත්වන්නෝ -55 අරගලය ගැන මම දැකපු මුල්ම ලස්සන දේ මේකයි

Filed under: Uncategorized — sinhalashortstories @ 8:12 පෙ.ව.

තදින් වැදි අත්පොළසන් නාදය මධ්‍යයේ ඇයගේ බර බූට් සපත්තු හඬ නඟමින් වේදිකාවේ පඩිපෙළ දිගේ වැදිණ. ඇයගේ උදරය සෙලවුණි. ඇයගේ පුළුල් මුහුණ පුරා හිනාවක් පැතිර තිබුණි. අතක පිටි අල්ලෙන් ඇය නැහැය යටින් වූ දහඩිය පිහිදා දැමුවේය.

සියෙරොව් සහෝදරයාව තෝරා පත්වුණි. සෝනියා සහෝදරිය ද, වික්ටර් ඩුනේව් සහෝදරයා ද සමඟ කොළ තොප්පි පැත්තේ සාමාජිකයෝ තුනෙන් දෙකක් ද නව ශිෂ්‍ය සංගමයට තෝරා පත්වුණි.

“සභාව අවසන් කරන්නට ස‍හෝදරවරුනි,” සභාපති හඬ ගෑය, “අපි අපේ පරණ සිංදුව ගායනා කරමු, ‘අපේ ජීවිතයේ දවස්’.”

විසංවාදී වූ ස්වර සංඝාතයෙන් ගීතය ගිගුම් දුන්නේ බැරෑරුම් ලෙසය: “මුහුදු රැළි සේ වේගයෙන්, අපේ ජීවිතයේ දවස්…”

අද ශිෂ්‍ය නිල ගීතය බවට පත් ව ඇති එය මත්පැන් පානයට එකතු වූවන් විසින් ඈත අතීතයක දී ගයන ලද්දකි. හෙමින් ගැයෙන, ජෛවයකින් නොයුතු ධ්වනි වලින් කෘතිම සතුටක් එකතු කරන ලද දුක්බර ‍තාලයකින් යුතු විය. අරගලයට බොහෝ කාලයකට පෙර එය ගැයුණේ දුමින් පිරි කාමරවල රැවුල් නොකැපූ මිනිස්සු හා මිනිසුන් වැනි පෙනුමෙන් යුත් ස්ත්‍රීන් මවාගත් ධෛර්යයකින් ජීවිතයේ නිස්සාරත්වයට බාල වොඩ්කා බොමින් දර්ශනය ගැන කතාබහෙන් යෙදෙන විටය.

කීරා ඇහිබැම හැකුළුවාය. ඇය ගීතය ගැයුවේ නැත. පරණ සිංදුව ඇය නොදනියි. එය ඉගෙන ගන්නට උවමනාවක් ද ඇයට නොවීය. හම් කබා ඇඳගත් රතු ලේන්සු පැළඳගත් අය ද ගීතය ගායනා නොකරන බව ද ඇය දුටුවාය.

ගීතය අවසානයත් සමඟ, පවෙල් සියෙරොව් සහෝදරයා “දැන්, සහෝදරවරුනි, අපේ පිළිතුර!” යයි ගිගුලේය.

පෙට්‍රොග්‍රෑඩයේ ප්‍රථම වතාවට කීරාට “ජාත්‍යන්තරය” අසන්නට ලැබුණි. ඇය එහි වචන වලට සවන් නොදී ඉන්නට උත්සාහ ගත්තාය. ඒ වචන වලින් කියැවුනේ ශාපයට පත් වූ අය ගැනය, කුසගින්නේ ඉන්නා අය ගැනය, වහල්ලු ගැනය, කිසි වැදගැම්මකට නැති සියල්ලම ගැනය. සංගීතය නැමති දබරාවේ ඒ වදන් වයින් සේ වෙරිමත නොකරන ලදි, ලේ මෙන් තැතිගන්වන නොලදි, ඒ වදන් පිඟන් සේදූ වතුර මෙන් ඉඳුල් විය.

එහෙත් සංගීතය ඇහු‍ණේ දහසක් පා වදිනා පෙළපාලියක සේය. මැන බලා ස්ථිරව තබන පාද සමඟ ලතාව නොවෙනස්ව වදින බෙර තාලයක් ඉක්මන් නොවූ දෑත් වලින් ගැසෙනා සේය. තම සටන හා ජයග්‍රහණය නරඹන්නට හිරු උදාව කරා පෙරමුණු ගමන් යන සොල්දාදුවන්ගේ අඩි පහර සේය. හරියට සිංදුව සොල්දාදුවන්ගේ අඩි යටින් පටන් ගැනී, පාරේ දුහුවිල්ලෙන් මතු වී, සොල්දාදුවන්ගේ අඩි පහරින් එය මහපොළවේ වැයෙනා සේය.

තාලය හැඟවූයේ පොරොන්දුවකි. සංසුන්වය. මැනිය නොහැකි ශක්තියකින් යුතු සංසුන් බවකිනි. අනතුරුව එය පාලනය කරගත් අවිනිශ්චිත බවින් යුතු විය. නමුත් පාලනය කරගත නොහැකි උද්දාමයකින් ද යුතු විය. ස්වර ඉහළට නැඟ්ඟේ වේවලමිනි, නැවත නැවත ප්‍රතිචාරයෙනි, එකතැන තබා ගත නොහැකි තරම් ආවේගයකිනි. හරියට බැනර් අතරින් උස්සා ගත් අත් හැම අතකම වැනෙන්නා සේය.

එය සටන් වදින පා ගමනක වේගයකින් වූ දේව ගීතිකාවකි. දේව ගීතිකාවක තේජසකින් වූ සටන කරා යන පා ගමනකි. සොල්දාදුවන් ශුද්ධ වූ ‍බැනර් ඔසවා යන, ‍පූජකයන් කඩු ඔසවා ගෙන යන්නා වූ සිංදුවකි. එය ශක්තියේ ශුද්ධවන්තභාවය වෙනුවෙන් වූ ජය ගීතයකි.

“ජාත්‍යන්තරය” ගයන විට හැමටම නැඟිටින්නට සිද්ධ විය.

කීරා සංගීතය ඇසෙද්දී සිනහා වෙමින් හිටගෙන සිටියාය. “අරගලය ගැන මම දැකපු මුල්ම ලස්සන දේ මේකයි.” ඇය තම අසල්වැසියාට කීවාය.

Advertisements

ප්‍රතිචාර 2 »

  1. nice
    Thanks

    ප්‍රතිචාර විසින් රාවණාලන්තයේ රාවණා i — සැප්තැම්බර් 14, 2010 @ 9:41 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: