Sinhala story Blog

සැප්තැම්බර් 10, 2010

අප ජීවත්වන් -53 එයාලගෙ ඔත්තුකාරයෝ හැම තැනම

Filed under: Uncategorized — sinhalashortstories @ 1:08 ප.ව.

අර්ධමණ්ඩල රංගපීඨය උතුරා ගිය වැව් අමුණක් සේ බංකු වලින් පිරී තිබුණි. උතුරා යන සිසු සිසුවියන් එහි අන්තරාල පඩි වල ද, ‍ජනෙල් පඩි වල ද, පහත වූ කැබිනෙට්ටු මත ද, ඇතුල්වන දොරටු උළුවසු අතර ද රැඳී සිටියහ.

තරුණ කථිකයෙක් වේදිකාවේ සිටගෙනය. ඔහු උත්සුක ලෙසින් සිය අත් එකිනෙකට අතුල්ලන්නේ කවුන්ටරයක බඩු විකුණන වෙළඳ සේවකයෙක් සේය. සාප්පු ජනේලයක උවමනාවට වඩා කාලයක් පැවති දැන්වීමක් සේ ඔහුගේ මුහුණ දිස්විය. ඔහුගේ මුහුණ නිරෝගී හමකින් යුතු වන්නටත්, ඇස් නිල්වන් වන්නටත්, හිසකේ රන්වන් වන්නටත් පැහැය තව මඳක් උවමනා විය. අඳුරු හිලක් වැනි වූ ඔහුගේ මුවට ඔහුගේ සුදුමැලි තොල් වලින් රාමුවක් නොලැබුණි. තමාට සවන් දෙන සභාවට කට පුළුල් ලෙස විවෘත කළ ඔහු එක එක වචනයන් බිරුවේ මිලිටරි සේනාධිපතියෙකු සේය.

“සහෝදරවරුනි! විද්‍යාවේ දොරවල් පොළව කෙටූ අපට ඇරී ඇත. අපේ දිය බිබිළි නැඟි අත්වල අද විද්‍යාව ඇත්තේය. මධ්‍යම පාංතිකයන්ගේ අදහසක් වූ විද්‍යාව නම් විෂයමූලික වූ පැත්තක් නොගැනීම යන අදහස මිථ්‍යාව අප පසුකරගෙන ඇවිත්ය. විද්‍යාව පැත්තක් නොගන්නා එකක් නොවේ. විද්‍යාව නම් පංති අරගලයේ ආයුධයයි. අපි මෙතැනට අවුත් ඉන්නේ අපේ පටු පුද්ගලික වූ අරමුණු සපුරා ගන්නට නොවේ. ස්වාර්ථවාදයට කෙළ හලන, පුද්ගලික වෘත්තියක් ඉල්ලා කෙඳිරි ගෑ මධ්‍යම පාංතිකයන් අභිබවා අපි ගිහින් ඇත්තෙමු. රතු තාක්ෂණ විද්‍යාතනයට ඇතුල් වී පුහුණු වන අපේ එකම අභිප්‍රාය හා අරමුණ වන්නේ කම්කරු සංස්කෘතිය හා ගොඩනැඟීම ආරක්ෂා කරන කාර්යක්ෂම සටන් වදින්නන් වීමටය.”

සිය අත්ල අතුල්ලමින් කථිකයා වේදිකාවෙන් ඉවත් විය. කිහිප දෙනෙකු ශබ්ද නඟා අත්පොළසන් දුන්හ. බොහෝ අත් මේස යටත්, පරණ කබා සාක්කුවලත් නිහඬව රැඳී තිබුණි.

ගෝමර වැටි මුහුණකින් යුත් තමා අසල වූ කෙල්ලකට නැඹුරු වූ කීරා “ඔහු කවුද?” යයි ඇසුවාය.

“පවෙල් සියරොව්. කොමියුනිස්ට් බිලයේ පක්ෂ සාමාජිකයෙක්. ප්‍රවේසම් වෙන්න. එයාලගෙ ඔත්තුකාරයෝ හැම තැනම.” කෙල්ල රහසින් කීවාය.

සුදුමැලි මුහුණු හා හැඩ නැති පරණ කබා හැඳගත්, එකට ගුලි ගැහුණ ශිෂ්‍ය පිරිස් සිවිලිම දක්වා ඉහළට රැස්ව සිටියහ. නමුත් ඔවුන් අතර දැකිය නොහැකි ඉරක් ගසා ඇති බව හැමෝටම වැටහුණි. ඒ ඉර කෙළින් ගසා සභාව දෙපැත්තකට කළ එකක් නොවේ. කඩ ඉර වලින් කාමරය පුරා පැති පැති වලට හැරි හැරී ගියකි. ඒ ඉර කිසිවකුටත් දකින්නට නොහැකිය. එහෙත් හැම දෙනාටම දැනුණි. ඒ ඉර තියුණු පිහි තලයක මුවත සේ සියුම් හා නිර්දය විය. එක පැත්තක වූයේ අතීතයේ පැළඳි කොළ කැප් තොප්පි දමාගත් අයය. නව පාලකයන් විසින් අත්හරින ලද මේවා ආඩම්බරයෙන්, විරෝධය පානා ලෙසකින්, අභියෝගයක් ලෙස හා ගෞරවයක් ලෙස ඔවුන් දමාගෙන සිටියහ. අනිත් පැත්තේ අය රතු ලේන්සු හැඳගෙන, කෙටි මිලිටරි හම් කබා හැඳ සිටියහ. පළමු කොටස, වැඩිපුර සිටි කොටස, වේදිකාවට එව්වේ කෘර පාලකයෝ මොන පාටක් හැඳ හිටියත් කෘර පාලනයට එරෙහිව සටන් කරන්නට සිසුන් හැමදා දැන සිටි බව සභාවට මතක් කළ කථිකයෝය. හෙන හඬ මෙන් අත්පොළසන් නාදය සිවිලිමේ සිට වේදිකාවේ පඩි දක්වා පැතිර ගියේය. අත්පොළසන් නාදය අනවශ්‍ය ලෙසින් ගිගුම් දී, දිගු කාලයක්, බලවත් වූ උනන්දුවකින්, එදිරිකාරීව, සටන්කාමීව, හරියට තමනට ඉතුරුව ඇති එකම හඬ එයයි කියන්නට මෙන්, හරියට තමන්ට කටින් කියන්නට බැරි හරිය අතින් කියන්නා සේ පැතිරුණි. අනිත් පැත්ත එයට නිහඬව, අනුකම්පා විරහිත, සිනා නොමැති ඇස්වලින් බලා සිටියහ. ඔවුන්ගේ කථිකයෝ මධ්‍යම පංතියේ අඥාදායකත්වය ගැන දබරයට එන්නා සේ තප්පු ලෑහ. කොහෙන් පටන් ගත්තා දැයි කිව නොහැකි හදිසියේම ශාලාව පුරා පැතිර ගිය සිනා හඬ නොඇසුනා සේ සිටියහ. අවිනීත ලෙසින් කථිකයන්ගේ නැහැයන් වෙත දක්ෂ ලෙස එල්ල වුනු සූර්යකාන්ත ඇට පොතු නොදැක්කා සේ සිටියහ.

ඔවුන් තරුණ වූහ. ආත්ම විශ්වාසය දැඩි වූහ. කිසිවකුටත් බිය නොවූහ. ඔවුන් සිය කටහඬවල් ප්‍රථම වරට අවදි කලේ ඔවුන් වටා වූ රට අවසන් කතාබහ බොහෝ කලකට පෙර නිමා කර ඇති පසුවය. ඔවුන් සිය එදිරිවාදීන්ට කරුණහරිත සේ ආචාර සම්පන්න වූහ. එදිරිවාදීන් ද කරුණාහරිත ලෙස ආචාර සම්පන්නව ඔවුන්ව “සහෝදරයෝ” කියා හැඳින්වූහ. දෙපැත්තම ජීවිතය හෝ මරණය අතර වූ නිහඬ අරගලය දැන සිටියහ. එහෙත් එක පැත්තක් පමණක්, සුළු පිරිස වූ පැත්ත, කාගේ ජයග්‍රහණය පැමිණෙන්නේ ද කියා දැන සිටියහ. තරුණ හා විශ්වාසයෙන් යුතුව, රතු ලේන්සු හා කෙටි හම් කබා හැඳගත් ඔවුන් අනික් පැත්ත දැඩි ආයාසයෙන් ඉවසා සිටියහ. අනිත් පැත්ත ද තරුණ හා විශ්වාසයෙන් යුතු වූහ. ඔවුන්ගේ ඉවසීමෙහි වූයේ තමන් වෙත එල්ල වූ බයිනේත්තුවක් ඇති බව දන්නා දරුණු දිස්නයකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.