Sinhala story Blog

අගෝස්තු 21, 2010

අපි ජීවත්වන්නෝ-39 මොන බොරු ද?

Filed under: Uncategorized — sinhalashortstories @ 7:36 පෙ.ව.

“එහෙම වෙන්න පුළුවන්.” වික්ටර් තමන් එය දන්නා ලෙසින් තහවුරු කළේය. ගලීනා පෙට්‍රොව්නා සතුටින් සිනා වූවාය.

ඇලෙක්සැන්ඩර් ඩිමිට්‍රියෙවිච් තමන්ට තවත් තේ වීදුරුවක් වත්කර ගත්තේය. ඔහු සීනි දිහා බැලීය, මඳක් පසුබට විය, ගලීනා පෙට්‍රොව්නා දිහා බැලීය, අනතුරුව ඔහු සීනි නොමැතිව තේ බීවේය. “කාලේ එච්චර හොඳ වෙලා නැහැ. රහස් පොලීසිය චෙකා වෙනුවට G.P.U. යයි හැඳින්වූවාට ඒ දෙකම එකමයි. ඔබ දන්නවා ද අද මට කඩේ දී ඇහුණ දේ? තවත් සෝවියට් විරෝධී කුමන්ත්‍රණයක් ඔවුනට අසුවෙලා. දුසිම් ගණනක් මිනිසුන් අත් අඩංගුවට අරන්. අද වයසක අද්මිරාල් කොවාලෙන්ස්කිව අත්අඩංගුවට ගත්ත. යුද්ධයේ දී ඇස් අන්ධ වෙච්ච එක්කෙනා. කිසිම නඩු විභාගයක් නැතිව මිනිහට වෙඩි තිබ්බ.” නොරිස්සුම් සහගත ලෙසින් ඔහු කීවේය.

“ඒවා බොරු කටකතා.” වික්ටර් කීය. “මිනිස්සු කැමතියි අතිශයෝක්තියට.”

“ඉතින්, මොනවා වුනත්, ආහාර ලබාගන්න පහසු‍වෙමින් පවතිනවා,” ගලීනා පෙට්‍රොව්නා කීවාය, “අද අපිට ෂෝක් පරිප්පු ලැබුණ.”

“ඒ වගේම,” ලිඩියා කීවාය, “මට මෙනේරි රාත්තල් දෙකක්ම ලැබුණ.”

“ඒ ‍වගේම,” ඇලෙක්සැන්ඩර් ඩිමිට්‍රියෙවිච් කීවේය, “මට මේද රාත්තලක් ලැබුණ.”

කීරා හා වික්ටර් නික්ම යන්නට නැඟිටි කළ ගලීනා පෙට්‍රොව්නා ඔවුන් හැරළවන්නට දොර වෙත ගියාය.

“ඔයා මගේ දරුවා ආරක්ෂා කරනවා නේද, වික්ටර් දරුවෝ? ගොඩාක් රෑ වෙනකම් පරක්කු වෙන්න එපා. මේ කාලේ වීදි ඉතාමත් අනාරක්ෂිතයි. කරුණාකරල පරිස්සම් වෙන්න. සේරටම වඩා ආගන්තුකයො එක්ක කතාබහට යන්න එපා. මේ දවස්වල හරි අමුතු අය ඉන්නවා.”

*
කුලී රථය නිහඬ වීදි මැදින් කට කට ගා සෙලවෙමින් ගමන් කරයි. පැතලි, සමතලා, හිස් ‍පදිකවේදිකාවන් පෙනුනේ අළු අයිස් වලින් නිමැ වූ, උස් වීදි පහන් කණුවල දීප්තියෙන්, කුලී රථය පසුකරගෙන පිහිනන, දිගු කපනා ලද ඇලදිය මාර්ගයන් සේය. විටෙක ඔවුන් හිස් පදිකවේදිකාවේ තැනක කළු රවුම් සෙවනැල්ලක් දකිති. රවුම මැද කෙටි සායක් හැඳගත් කාන්තාවක් තදට ගැසූ ලේස් පටි ඇති සපත්තු හා තරබාරු කකුල් සොලවමින් පැද්දෙන්නීය. පදිකවේදිකාවේ කොණක හුළං මෝලක් වැනි කළු ඡායාදර්ශයක් වැනින. ඊට උඩින් නැවියෙක් අත් වනමින්, සූර්යකාන්ත ‍පොතු කටින් විසි කරමින්, චංචල වූ පාද තබයි. කුලී රථය පසු කරගෙන බර ට්‍රක් රථයක් පියාඹා ගියේය. එය බයිනේත්තු වලින් පිරී තිබුණි. බයිනේත්තු අතරින්, බයින් තැති ගත් අඳුරු හිල් සේ ඇස් දෙකකින් යුතු වූ සුදු මුහුණක් කීරාට නිමේශයෙන් පෙනී නොපෙනී ගියේය.

“නූතනයේ දී හැදියාව ඇති මිනිසා විෂයමූලික වූ අදහසක් ආරක්ෂා කරගන්න ඕන. පුද්ගලික විශ්වාසයන් කොහොම වුනත් කමක් නෑ. ඒක උදව් වෙනවා අපේ මේ කාලය ගජ ඉතිහාස නාට්‍යයක් සේ බලන්නට. මනුෂ්‍යත්වයට සුවිසල් වැදගත්කමක් ගෙන දෙන මොහොතක් සේ සලකන්නට,” වික්ටර් කියාගෙන යයි.

“මොන බොරු ද,” කීරා කීවාය. “සමූහයක පැවැත්මත් ඒ සමූහය තම පැවැත්ම අනුන්ට දැන්වීමට ක්‍රියාකිරීමත් පරණ සහ කැත පරිසිද්ධියක්. මේ කාලය ඒ සමූහය විසින් වඩාත්ම කැත විදියකට අනුන්ට දැන්වීමට ක්‍රියා කරන කාලයක්, එච්චරයි.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: