Sinhala story Blog

අගෝස්තු 16, 2010

අප ජීවත්වන්නෝ -36 අද තියෙන්නෙ එච්චරයි

Filed under: Uncategorized — sinhalashortstories @ 8:07 ප.ව.

“කලාත්මක විනිසුරුබවෙන් හා පොඩ්ඩක් මහන්සි වුනොත් -මෙතැන සැප පහසු තැනක් වේවි,” ගලීනා පෙට්‍රොව්නා විසින් කියන ලදි.

ඇලෙක්සැන්ඩර් ඩිමිට්‍රියෙවිච් සුසුමක් හෙළන ලදි.

විසල් පියානෝව කෑම කාම‍රයේ තැබිණ. තම මිල අගය කළ නොහැකි සාක්ස් තේ සේවයේ ඉතිරි වූ එකම අංගය, අඬුවක් නැති, කෙමියක් නැති තේ පෝච්චිය විසල් පියානෝව මත ගලීනා පෙට්‍රොව්නා තැබුවාය. තීන්ත පහරක් නොගෑ රාක්ක ලෑලි පළුදු පිරි, පරණ, එකිනෙකට නොගැළපෙන පිඟන් භාණ්ඩයන් ඔසවා සිටියහ. ලේස් කඩදාසි දාර වලින් ලිඩියා නිර්මාණශීලිව රාක්ක හැඩගැන්වීය. මේසයේ උස මද කකුල උසුලා සිටියේ නවන ලද පත්තරයකි. දිග, කළුවර සවස් කාලවල දී සීලිමට වැදි එළිය වූයේ ලින්සීඩ් තෙල් පීරිසයක පාවෙන තිරයකි. උදය කාලයේ දී අළු බිඳිති මකුළුදැල් මෙන් හමා එන හුළං පහරවලින් සීලිම කරා පාවී ගියේය.

උදෑසන මුලින්ම අවදි වූයේ ගලීනා පෙට්‍රොව්නාය. පරණ සළුවක් කරවටා ඔතාගත් ඇය තෙතමනය පිරි දරකොට පත්තු කරන්නට හයියෙන් පිඹිමින් උදේ ආහාරයට මෙනේරි පිසුවාය. උදේ අහර ගත් පසු පවුලේ සැවොම විසිර ගියහ.

ඇලෙක්සැන්ඩර් ඩිමිට්‍රියෙවිච් සැතපුම් දෙකක් පාද ගාටා තමාගේ ව්‍යාපාරයට ගොඩ වැදීය. ඒ ඔහු අරින ලද රෙදි කඩයයි. ට්‍රෑම් රථයක‍ට ඔහු කිසි දිනෙක නැග්ගේ නැත; එන හැම ට්‍රෑම් රථයකටම ගොඩ වැදෙන්නට දිගු පෝලිම් තිබි අතර ඊට නඟින ජනතාව හා ගැටෙන්නට ඔහුට කිසිසේත්ම නොහැකිය. කඩය ඉහත කලක දී බේකරියකි. නව නාම පුවරු හදන්නට ඔහුට වත්කමක් නැත. ඇද අකුරු ලියූ කපු රෙදි කැබැල්ලක් ඔහු දොර අසලින් ඇද්දේය. එය වැසුවේ පරණ කළු වීදුරු පිඟානක වූ රත්තරන් ප්‍රෙට්සලයක පින්තූරයයි. ජනේලයේ ඔහු ලේන්සු දෙකකුත්, ඒප්‍රනයකුත් එල්ලා තබන ලදි. පරණ පෙට්ටිවල තිබි බේකරි ලේබල් සූරා දමන ලද ඔහු ඒවා එකක් මත එකක් සකසීරුවෙන් හිස් රාක්කවල ගොඩ ගැසුවේය. අනතුරුව යකඩින් නිමවන ලද උදුන මත සීතලෙන් ගැහෙන පාද තබාගෙන, බඩ උඩින් අත් බැඳඟෙන, නිදි කිරමින් ඔහු දවස ගෙව්වේය.

පාරිභෝගිකයෙක් කඩයට ඇතුල් වූ විට කවුන්ටරය පිටුපසට ගාටන ඔහු සුහදව සිනාවක් පායි. “නගරයේ ඇති හොඳම ලේන්සු, පුරවැසියෙනි. …සහතිකයෙන්ම පාට හේදී නොයන, හරියට පිටරට බඩුවල වාගේ පාට අල්ලලා හිටින… මම සල්ලි වෙනුවට මේද බාරගන්නවා ද? සහතිකයෙන්ම ගම්බද පුරවැසියෙනි, සහතිකයෙන්ම… රාත්තල් භාගයකට? ලේන්සු දෙකක් ගන්න ඇහැකි ඔබට, පුරවැසියෙනි, කැලිකෝ යාරයකුත් හිත හොඳ බවට.”

සතුටින් සිනාවෙමින් ඔහු ගණුදෙනු සඳහා වූ තඩි ලාච්චුව ඇර එහි මේද තැන්පත් කරයි. එය අසලින් ඇත්තේ රයි පිටි රාත්තලකි.

උදේ අහරින් පසු ලිඩියා මහත් දොම්නසකින් සුසුමක් හෙළා, බෙල්ල වටා ගෙතූ පරණ සළුවක් ඔතාගෙන, කූඩයක් රැගෙන සමූපාකාරය වෙත ගියාය. ඈත කණුවක ඔර්ලෝසු කටු එහි මුහුණත වටා සෙමෙන් කරකැවෙන ආකාරය බලමින්, කුඩා කාල‍යේ දී කටපාඩම් කරන ලද ප්‍රංශ කවි සිතින් මෙනෙහි කරමින් ඇය පෝලිමේ සිටගෙන කාලය ගෙව්වාය.

“ඒත් මට සබන් අවශ්‍ය නැහැ පුරවැසියෙනි” යයි ඇය තමාගේ වාරය පැමිණි කල විරෝධය පෑවාය. කඩය තුල වූ කවුන්ටරයේ තීන්ත ගා නැත. මිනිසුන්ගේ ප්‍රාශ්වාස වලින් හා ඩිල් අච්චාරු ගෙඩි ගඳ කඩය පුරා පැතිර තිබුණි. “ඒ වගේම මට වියළි හෙරින් (මාළු) අවශ්‍යත් නැහැ.”

“අද තියෙන්නෙ එච්චරයි, පුරවැසියෙනි. ඊ ළඟ එක්කෙනා!”

“හරි, හරි, මම ගන්නම් එහෙනම්,” ලිඩියා ඉක්මණින් කීවාය. “අපිට මොනවා හරි තියෙන්න එපායෑ.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: