Sinhala story Blog

අගෝස්තු 15, 2010

අපි ජීවත්වන්නෝ-35a ඔයාගෙ පරණ කබල් ටික ගන්න ඇහැකි

Filed under: Uncategorized — sinhalashortstories @ 9:53 පෙ.ව.

IV

පාර්සල් බැඳි ඝන ලණු පමණට වඩා ඇතිල්ලුන හෙයින් කීරාගේ අත්වල දිය පට්ටා නැඟී ඇත. මහල් හතරක් උඩට පාර්සල් රැගෙන යාම පහසු කාර්යයක් නොවිණ. බළල් ගඳ ගහන තරප්පු පෙළවල් අටක් නඟිද්දී ඇයගේ තුනී අඩි ඇති සපත්තු වලින් සීතල ගලා ආවේය. තවත් බරක් ගෙන යන්නට පහළට බහින සෑම අවස්ථාවකම ඇයට ලිඩියා මුණ ගැසුණි. කීරා තරප්පු පෙළ බැස ආවේ ඉක්මණින්ය, පඩි අතරින් පතරට කඩිසර ලෙසින් පැන පැනය, ගරාදි වැට දිගේ ලිස්සා ගෙනය. ලිඩියා උඩට නැඟ්ඟේ හෙමිහිටය, අමාරුවෙනි, පපුවට තද කරගත් පාර්සල් ඇතිවය, හති දමමින් හා සුසුම් හෙළමිනි. “දිව්‍යලෝකයේ වැඩ සිටිනා දෙවියනි! …. දෙවියන් වහන්සේගේ ශුද්ධ වූ මව්තුමියනි!” යයි ඇය කියන එක එක වචනය පිටවෙද්දී හුමාලය ද මුවින් පිටවුනි.

ආර්ගුනෝවා පවුලට නිවහනක් ලැබී ඇත.

එය හාස්කමක් වැනි යයි ඔවුන් වෙත ආශීර්වාද ගලා ආවේය. මේ ආශ්චර්ය සිද්ධ වන්නට ඇලෙක්සැන්ඩර් ඩිමිට්‍රියෙවිච් අතරත් මහල්නිවසේ කළමනාකරුවා වන උප්‍රව්ඩම් අතර අතට අත දීමක් කෙරුණි. ඒ අතට අත දීමෙන් පසුව ඇලෙක්සැන්ඩර් ඩිමිට්‍රියෙවිච්ගේ අත හිස් විය. උප්‍රව්ඩම්ගේ අත හිස් නොවීය. කාමර තුනක් හා මුළුතැන්ගෙයක් තිබීම අස්සක් මුල්ලක් නැතිව පිරී ඉතිරී යන නගරයක පොඩි සන්තෝසමකින් කෙළෙහිගුණ දැක්විය යුතු වටිනාකමකි.

“නාන කාමරයක්?” කේන්ති‍ ගත් උප්‍රව්ඩම් ගලීනා පෙට්‍රොව්නාගේ බයාදු ප්‍රශ්නය නැවත ඇසුවේය. “මෝඩවෙන්න එපා, පුරවැසියෙනි, මෝඩවෙන්න එපා.”

ඔවුනට ගෘහභාණ්ඩ අවශ්‍යයය. නිර්භීත ලෙසින් ගලීනා පෙට්‍රොව්නා ඔවුන්ගේ කමෙනොස්ට්‍රොව්ස්කිහි වූ අළු ග්‍රැනයිට් මන්දිරය වෙත ගියාය. අහසට එසවෙන රාජකීය ප්‍රාසාදය ඉදිරිපිට ඇය සුළු මොහොතක් සිටගෙන සිටියේ හැලෙන මයිල් හමින් වූ කොලරය ඇති පාට දිය වී ගිය කබාය සිහින් ශරීරය වටා කිටි කිටියේ තදවන්නට එකතු කරගනිමිනි. අත්බෑගය හැර ඇය නැහැයේ පියරු තවරා ගත්තීය: අළු ග්‍රැනයිට් පැතලි ඉදිරියේ ඇයට ලැජ්ජාවක් දැනුණි. අනතුරුව ඇය අත්බෑගය වැසුවේ නැත, එයින් ලේන්සුවක් එළියට ගත්තාය. සීතල සුළං හමද්දී කඳුළු වේදනාව ගෙන දෙයි. ඊ ළඟට ඇය දොරේ සීනුව ගැසුවාය.

“ඉතින්, ඉතින්, එහෙනම් ඔයා තමයි ආර්ගුනෝවා පුරවැසිය,” ඇයට ඇතුල් වන්නට ඉඩ දී ඇයගේ විස්තරයට ඉවසීමෙන් අසා සිටි තරබාරු, දිළිසෙන කම්මුල් ඇති සංඥා පින්තාරු කරන්නා පැවසීය. “ඔයාගෙ පරණ කබල් ටික ගන්න ඇහැකි. මම පාවිච්චි නොකරන හරිය. ඒවා තියෙන්නෙ අශ්වකරත්තය තියන මඩුවෙ. අරන් යන්න. අපිට ගල් හදවත් නෑ. අපි දන්නවා ඔයාල වගෙ මධ්‍යම පාංතික පුරවැසියන්ට දුෂ්කරතා තියන බව.”

පැරණි වෙනීසියේ නිපදවන ලද කණ්ණාඩිය රැඳ වූ ඔනික්ස් අගත්තියෙන් නිමැවූ තට්ටුව මත තිබි තීන්ත බාල්දිය දිහා ගලීනා පෙට්‍රොව්නා හෙලුවේ දුක්බර බැල්මකි. එහෙත් වාදයකට නොයා, පහතට බැස මිදුල පිටුපස වූ අශ්ව කරත්ත මඩුව වෙත ඇය ගියාය. කකුලක් දෙකක් නැති පුටු කිහිපයක්, මිල කළ නොහැකි අගයකින් වූ පෞරාණික පෝර්සිලේන් භාණ්ඩ කැබලි කිහිපයක්, රාක්ක බේසමක්, මලකඩ කෑ සැමොවාරයක් (රුසියන් තේ පෝච්චිය), ඇඳන් දෙකක්, පරණ වස්ත්‍ර පිරි පෙට්ටගමක් සහ ලිඩියාගේ විසල් පියානෝවත් එහි ඔවුන්ගේ පුස්තකාලයේ වූ පොත් සමූහයක්, පරණ පෙට්ටි, ලී පතුරු හා මී බෙටි යට සැඟව තිබිණ.

මේ බඩු සියල්ල ගෙන යන්නට ඔවුන් බරකරත්තකරුවෙකු කුලියට ගත්හ. ඒවා ඔවුන් ගෙන ගියේ පරණ ගඩොල් ගෙදරක, හතරවැනි තට්ටුවේ වූ කුඩා මහල් නිවාසයටය. එහි මඩ පැහැති ජනේල වලින් පෙනුනේ බොර පැහැති මොයිකා දොළපාරය. ඔවුනට බරකරත්තකරුවෙක් දෙවරක් කුලියට ගන්නට වත්කමක් නැත. ඒ නිසා ඔවුන් අත්කරත්තයක් ඉල්ලා ගත්හ. ඇලෙක්සැන්ඩර් ඩිමිට්‍රියෙවිච් නිහඬ උපේක්ෂාවකින් ඩුනාවේස්ලාගේ නිවහනේ තැන්පත් කළ පාර්සල් සියල්ල සිය නව නිවහනට රැගෙන ගියේය. ඔවුන් හතරදෙනා පාර්සල් පඩිපෙළ දිගේ, පඩිපෙළවල් අතරමැදින් වූ පඩි නැති මණ්ඩි පසුකර ගෙන, දැලිකුණු පිරි දොරවල් හා කැඩුණ ජනේල පසු කරගෙන උඩට ගියහ. එය ඉහත කාලයක හැඳින්වුනේ “කළු පඩිපෙළ” කියාය. එය සේවකයන් සඳහා වූ පසුපසින් ඇතුල්වන දොරටුවයි. ඔවුන්ගේ නව නිවහනට ඉදිරිපස දොරටවුක් නොතිබුණි. එයට විදුලි බලය සඳහා වූ පහසුකම් නොවීය. වතුර පයිප්ප වැඩ කළේ නැත; වතුර බාල්දි පහළ තට්ටුවේ සිට රැගෙන ආ යුතුය. පැවති වැහිවල සාක්ෂි පෙන්වන කැහැ පැල්ලම් සීලිමේ පැතිර ඇත.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: