Sinhala story Blog

අගෝස්තු 6, 2010

අප ජීවත්වන්නෝ -29 ලිඩියා සුසුම් හෙළද්දී ඇය ඈනුම් හැරියාය

Filed under: Uncategorized — sinhalashortstories @ 6:32 ප.ව.

*

“1904 දී ඉපදුනේ…එහෙමද?” සෝවියට් නිලධාරියා අසයි. “ඒ කියන්නෙ දැන් ඔයාට….කෝ බලන්න…දහඅටයි. දහඅටයි. ඔයා වාසනාවන්තයි සහෝදරිය. ඔබ තරුණයි. වැඩකරන අයගේ වෑයමට වසර ගණනක් සහාය දෙන්න ඔබට කාලය තිබෙනවා. ජිවිතය පුරා හික්මීම වඩවා ගන්නත්, වෙහෙස වෙලා වැඩ කරන්නත්, මහා සමූහය වෙනුවෙන් ශ්‍රමය ප්‍රයෝජනයට ගන්නත් කාලය තියෙනවා.”

ඔහුට හෙම්බිරිස්සාවක් හැදී තිබුණි. ලොකු ලේන්සුවක් එළියට ගත් ඔහු එයින් නැහැය හුරන්නට විය.

පවුල් තත්වය: අවිවාහකය.
*

“මම කීරාගේ අනාගතයෙන් මගේ අත් දෙක සෝදා ගන්නවා,” ගලීනා පෙට්‍රොව්නා වරක් කීවාය. “සමහර විටක දී මම හිතනවා ඇය වයසක කාන්තාවක් ලෙසින් උපන් තැනැත්තියක් කියල. සමහර විටක දී මට හිතෙනවා එයා උපත්තියෙන්ම…..ඔව්, නරක කාන්තාවක් කියල.”

යාල්ටාවේ වාසය කරන කාලයේ කීරා දිගු සායවල් හා උස් අඩි ඇති පාවහන් ප්‍රථම වරට පාවිච්චි කළාය. උතුරෙන් ආ සංක්‍රමණිකයන්, පැරණි වංශක්කාරයෝ, පැරණි ධනවතුන් ආරක්ෂාව සොයා ගොස් එහි දී එකතුව, ගංවතුරක් ගලද්දී ගල්පොත්තක් මතට ගොඩ වැදි කුකුළු රංචුවක් සේ ගැහී ගැහී සිටියහ. කොණ්ඩ මනාව ඉරක් තබා පැත්තකට පීරා, නියපොතු නිසි සේ කපා හොඳින් සකසා ගත් තරුණයෝ, කුඩා කෝටුවක් අතින් ගෙන සබුක්කුවක් සේ එය සොලවමින් පාර මැදින් පා තබනා, කිසිත් වැසී නොමැති කෙටි ගවුමක් හැඳි සිහින් සිරුරකින් යුත් කෙල්ල දුටුවහ. තරුණයෝ ඔවුන්ගේ නිවහනට පැමිණ කීරාව හමුවන්නට අසද්දී ගලීනා පෙට්‍රොව්නා කැමැත්ත පෙන්වා සිනා පෑවාය. නමුත් කීරාට අමුතු ඇස් බැමි තිබුණි. අනුකම්පා විරහිත, තොල් නොසොල්වන සමච්චල් සිනහාවකින් ඇයට ඒ ඇස්බැමි උස්සන්නට හැකිය. ඒ දැකි තරුණයන්ට හදාගෙන ආ තමන්ගේ ආදර කවි වගන්ති අමතක විය. ගලීනා පෙට්‍රොව්නා වැඩි කාලයක් නොගොස් තම දියණිය ගැන අවධානය තරුණයෝ යොමු නොකරන්නේ මන්දැයි විමසීම නතර කළාය.

සවස්කාලයේ දී ලිඩියා ගිජු ලෙසින්, මූණ රතු කරගෙන, ගලීනා පෙට්‍රොව්නා වෙතින් වසන් කරගෙන, බොළඳ, පව්කාර ආදර කතන්දර පොත් කියැවූවාය. කීරා එයින් පොතක් කියවන්නට පටන් ගත්තාය; පොත අවසන් නොකර ඇයට නින්ද ගියේය. ඇය නැවතත් එවැන්නක් කියවන්නට කිසි දිනෙක පටන් ගත්තේ නැත.

මල් පැල හා වල් පැල අතර වෙනසක් ඇය නොදැක්කාය; පාළු කඳුවැටි අතරින් හිරු බැසයන සන්ධ්‍යාවේ මිහිර දැක ලිඩියා සුසුම් හෙළද්දී ඇය ඈනුම් හැරියාය. එහෙත් හෝ ගා දැවෙන තෙල් ළිඳක් ආරක්ෂා කිරීමට යෙදවූ හමුදා භටයෙක් එය ඉදිරිපිට සීරුවෙන් හිටගෙන සිටිද්දී වැටුණ ඔහුගේ කළු ඡායා දර්ශකය දිහා ඇය පැයක් පමණ හිටගෙන බලා සිටියාය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: