Sinhala story Blog

ජූලි 27, 2010

අප ජීවත්වන්නෝ -19 පුංචි කීරා නෙමෙයි

Filed under: Uncategorized — sinhalashortstories @ 11:39 පෙ.ව.

“මම මොකක්වත් කියනවා නෙමෙයි, වසිලි… එකම දේ…”

“එකම දේ කණගාටුවෙන එක නවත්තන්න. අපිට මෙහෙම ජීවිතය ගත කරන්න පුළුවන්. මේතරම් කාලයක් ගත කළානෙ. තව විකුණන්න ඕන තරම් දේවල් තියනවා.

ගලීනා පෙට්‍රොව්නා බිත්තියේ ඇණ දිහා බැලුවාය; තම සහෝදරි‍යගේ ඇඟිලි දෙස බැලුවාය. ඒ දෑත් චිත්‍ර ශිල්පියෝ සායම් කරන ලද දෑත්ය. “ෂැම්පේන් හා මරියාගේ දෑත්” යයි කවි ලියැවුණ දෑත්ය. ඒ දෑත් අද තද දම් පැහැයෙන් යුතු, ඉදිමී සහ ඉරි පැලී මිදුණු දෑත්ය. මරියා පෙට්‍රොව්නා තම අත් දෙකේ වටිනාකම දත්තියකි. සිය දෑත් හැමවිටම පෙනෙන්නට තබාගන්නට ඇය දැන සිටියාය. බැලේ නාට්‍යාංගනාවක සේ දෑත් ලාලිත්‍යයෙන් හසුරවන්නට ඇය දත්තීය. එය ඇයට නැතිව නොගිය හුරුවකි. අද පවතින තත්වය සිහිකරවන තවත් එක සලකුණක් වූ නිතරම චලනයෙන් යුතු ඒ දෑත්වල හුරුව නැති වී යා නම් හොඳ යයි ගලීනා පෙට්‍රොව්නා පැතුවාය.

හදිසියේම වසිලි ඉවානොවිච් කතා කරන්නට පටන් ගති. තම හැඟීම් එළියට දමන්නට කවදත් පසුබට ඔහුව එක විෂයක් කුල්මත් කරයි. එවිට ඔහුගේ අදහස් නවතා දැමිය නොහැකිය. “මේ සියල්ල තාවකාලිකයි. ඔබලා හැමෝටම ඉක්මණින්ම විශ්වාසයන් නැතිවෙලා ගිහින්. අපේ කොන්ද නැති, නාහෙන් හඬන, කිසිත් කරකියා ගන්න බැරි, කටමැත දොඩවන, පරිණත බුද්ධිය ඇති, කෙළ පෙරන විද්වතුන්ගේ වැරැද්ද තමයි. ඒකයි මේ අද අපි මෙහෙම ඉන්නෙ. විශ්වාසයන් භංගවෙලා. උත්සාහයක් නැහැ. දියාරු කැඳ තමයි ලේ වලට. මෙහෙම තවත් කාලයක් යයි කියලා ඔබලා හිතනවා ද? ඔබලා හිතනවා ද රුසියාව මැරිලා කියලා? ඔබලා හිතනවා ද යුරෝපය අන්ධයි කියලා? බලාගෙන ඉන්න යුරෝපය. ඇය ඇයගේ අන්තිම වදන තාම කියලා නැහැ. ඒ දවස එයි -ඉක්මණින්ම- මේ මීනිමරුවෝ, මේ නින්දිත තක්කඩියෝ, අර කොමියුනිස්ට් අධමයෝ…”

නිවසේ සීනුව නාද විය.

වයසැති සේවකයා කකුල් අතුල්ලමින් සෙමෙන් සෙමෙන් දොර විවෘත කරන්නට යයි. පිරිමියෙකුගේ කඩිසර, රැව්දෙන හඬින් හා ජවයෙන් යුතුව තබන පා හඬ ඔවුනට ඇසෙයි. ශක්තිමත් බාහුවකින් කෑම කාමරයේ දොර පියන් විසිකර විවෘත වුණි.

වික්ටර් ඩුනේව් ඉතාලි ග්‍රෑන්ඩ් ඔපෙරාවක ටෙනර් ගායකයා සේය, එය වික්ටර්ගේ වෘත්තිය නොවේ. ඔහුට පුළුල් උරහිස් ඇත. තියුණු කළු ඇස් ඇත. ‍කැරළි ගැසි පාලනය කරගත නොහැකි කළු කොණ්ඩය ඇත. මන බඳින සිනහවකින් යුතුය. උඬඟු වූ ද, ආත්ම විශ්වාසය ඇති වූ ද හැසිරීම් වලින් යුතුය. කාමරයට ඇතුළුවන්නට පෙර මොහොතක් නැවති ඔහුගේ ඇස් කීරා වෙත රැඳිණ. ඇය තම අසුනේ හැරෙද්දී ඔහුගේ ඇස් ඇයගේ කකුල්වල රැඳිණ.

“මේ අපේ පුංචි කීරා නේද?” ඒ ඔහුගේ පැහැදිලි, ශක්තිමත් කටහඬින් කියැවුනු මුල් වදන්ය.

“පුංචි කීරා නෙමෙයි” ඇය පිළිතුර දුන්නාය.

“ඉතින්, ඉතින්, කොයිතරම් පුදුමයක් ද! කොයිතරම් රසවත් පුදුමයක් ද!…ආන්ට් ගලීනා, වෙනදාටත් වඩා තරුණයි!” ඔහු සිය නැන්දණියගේ අත සිඹියි. “ආ..මගේ මනහර ඥාති සහෝදරිය ලිඩියා! ඔහුගේ කළු කොණ්ඩය ලිඩියාගේ මැණික්කටුව මත වැටෙයි. “පරක්කු වුනාට සමාවෙන්න. විද්‍යායතනයේ රැස්වීමක්. මම ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙක්…සමාවෙන්න, තාත්තේ. තාත්තා කැමති නැහැ තෝරා පත්කරගන්නා චන්ද කිසිවක‍ට.”

“සමහර වෙලාවට චන්ද වුණත් හරි,” සිය පිතෘ ආඩම්බරය සඟවා නොගත් වසිලි ඉවානොවිච් කියයි. ඔහුගේ තියුණු දෑස්වල පැතිරි ආදරය හදිසියේම ඒ දෑස් අසරණ කළේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: