Sinhala story Blog

ජූලි 19, 2010

අප ජීවත්වන්නෝ -14 අපි දුප්පත් නෑදෑයෝ නෙමේ

Filed under: Uncategorized — sinhalashortstories @ 8:39 ප.ව.

“මම බලාපොරොත්තු වෙනවා, මරුස්සියා නංගි අපිව දකින්න සතුටු වෙනු ඇතැයි කියා” යයි ගලීනා පෙ‍ට්‍රොව්නා කියයි.

“පහුගිය කාලය ඩුනාවේස්ලට කොහොම වුනාද දන්නෑ” යයි ලිඩීයා කල්පනා කළාය.

“එයාලගෙ වස්තුවෙන් කොපමණ ඉතිරි වුනාද දන්නෑ,” ගලීනා පෙට්‍රොව්නා කීවාය. “පව්, මරුස්සියා! එයාලට අපිට වඩා යමක් ඉතිරි වුනාද දන්නෑ.”

“එහෙම තියෙනවා නම්, ඒකෙන් දැන් මොන වෙනසක් ද ගලීනා?” ඇලෙක්සැන්ඩර් ඩිමිට්‍රියේව් සුසුමක් හෙළා අසයි.

“මම හිතන්නෙ කිසිම වෙනසක් නෑ,” ගලීනා පෙට්‍රොව්නා කියයි.

“කොහොම වුණත් තවමත් අපි දුප්පත් නෑදෑයෝ නෙමෙයි.” ලිඩියා ආඩම්බරයෙන් කීවාය. ඇය අසලින් යන අයෙකුට පෙනෙන සේ තම සාය මඳක් ඉස්සුවේ ඉහළට යනතෙක් ලේස් දමා ඇති ඔලිව් කොළ පැහැති බූට් සපත්තු දෙක පෙනෙන්නටය.

කීරා ඔවුනට සවන් නොදෙන්නීය. ඇය වීථි නරඹන්නීය.

අශ්ව කරත්තය වසර හතරකට පෙර ඩුනාවේස්ලාගේ අභිමානවත් නිවස වූ ගොඩනැඟිල්ල අබියස නතර විය. ගොඩනැඟිල්ලට ඇතුල් වන්නට ඇති සුවිසල් දොරෙහි එක කොටසක මහත් විශාල හතරැස් වීදුරුවකි. අනෙක් කොටස ඉක්මණින් වසන්නට කලබලයෙන් ගැසූ බෝඩ් ලෑලි වලින් වැසී තිබුණි.

දොරකඩින් ඇතුළු වෙද්දී සුමුදු පලසක් ද, අතින් කැටයම් දැමූ ගිනි උදුනක් ද තිබි බව ගලීනා පෙට්‍රොව්නාට සිහිවිය. එහෙත් අද පලස නැත. ගිනි උදුනේ තැනින් තැන කැඩී ගොස්ය. එහි කැටයම්වල අකුරු කුරුටු ගා ඇත. ඊට උඩින් වූ කණ්ණාඩිය මැදින් එය හරස්කඩට පැලී ගිය ඉරකි.

නිදිමතින් ඔළුව එළියට දමා පඩිපෙළ යටින් බැලූ වැසිකිලි හා ගොඩනැඟිලි සුද්ද කරන මෙහෙකරුවෙක් ඔවුන් දෙස බලා කිසිත් ප්‍රතිචරායක් නොදක්වා ඔළුව ඉවත් කරගත්තේය.

ඔවුන්ගේ බඩුපොදිත් කරපින්නා ගෙන ඔවුන් පඩිපෙළ නැඟූහ. හම් වලින් ඝන වෙළුම් දමන ලද දොරක් අසල ඔවුන් නතර වූහ. එහි කළු තෙල්-රෙද්ද උදුරා ඇති හෙයින් ඇතුලත වූ කපු පුළුන් කිළිටිය. කිළිටි කපු පුළුන් දොර වටේට වූ රාමුවක් සේ පෙනෙයි.

“ඔවුන්ගේ ‍තේජස් දොරටුපාල සේවකයා තවමත් සිටිනවා ද දන්නෑ?” ලිඩියා රහසින් පැවසුවාය.

ගලීනා පෙට්‍රොව්නා දොරේ සීනුව එබුවාය.

ඇතුලතින් පා හඬක් ඇසිණ. දොරෙහි යතුරක් කරකැවුණි. ප්‍රවේශම්කාරීව අතකින් දොර මඳක් විවෘත වුනේ එහි දම්වැල ඉවත් නොකරය. කිළිටි තුවායක් ඇඳුම් ආරක්ෂා කරන්නට උඩ වැස්මක් සේ බඩට උඩින් ඇඳගත්, පිරිමි අඳින සෙරෙප්පුවක් දමාගත් එක කකුලක් ද, සුදු කොණ්ඩය කඩා වැටි මහළු කාන්තාවකගේ මුහුණ ද දොරේ කෙටි විවරයෙන් ඔවුනට දැකගත හැකිවිය. කාන්තාව ඔවුන් දෙස නිහඬව බැලුවේ එදිරිකාර විමසිල්ලෙනි. දොර එතනින් එහාට අරින්නට කිසිම උවමනාවක් ඇයට නැති ලෙසටය.

“මරියා පෙට්‍රොව්නා ඉන්නවා ද?” ගලීනා පෙට්‍රොව්නා ඇසුවේ අමුතු අස්වාභාවික උස් ස්වරයකිනි.

“කාටද දැනගන්න ඕනෙ?” දත් නැති කටකින් ප්‍රශ්නය ඇසිණ.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: