Sinhala story Blog

ජූලි 12, 2010

අප ජීවත්වන්නෝ -10 කීරා ආර්ගුනෝවා පෙට්‍රොග්‍රෑඩයට පැමිණියාය

Filed under: Uncategorized — sinhalashortstories @ 9:08 ප.ව.

සෙවුම් එළි අහසේ වළාකුළු අතරට සැනෙකින් වැදී නොපෙනී යයි.

ඒවා ළඟක ද නැත්නම් හැතැප්මකට වඩා ඈතකින් දැයි කීමට කිසිවෙකුට නොහැකිය. අසලින් සෙලවුන අඳුරු පඳුර අශ්වයෙක් මත නැඟි අයෙක් ද නැතහොත් පඳුරක් පමණක් දැයි කිමට ද කිසිවෙකුට නොහැකි විය.

නැවතුණ ලෙසින්ම හදිසියේම දුම්රිය නැවතත් පණ ගැන්වෙයි. හඬ නඟා ඉදිරියට ඇදෙන රෝද සද්දයට සැනසුම් සුසුම් හෙළන සද්දයත් එකතු වෙයි. දුම්රිය නැවතුනේ ඇයිදැයි කිසිවෙක් කිසිවිටෙක සොයා නොගත්හ.

දිනක් උදෑසන පිරිමි කිහිප දෙනෙක් දුම්රිය මැදිරිය තුලින් දිව ගියහ. ඔවුන් අතරින් එක් අයෙක් රතු කුරුස ලාංඡනයක් පැළඳ සිටියේය. පිටතින් කලබැගෑනියක් ඇසිණ. මැදිරියේ උන් එක් අයෙක් පිරිමි කිහිප දෙනා පිටුපසින් ගියේය. ආපසු පැමිණි ඔහුගේ මුහුණ දුටු මැදිරියේ අය නොසන්සුන් වූහ.

“ඒක අනිත් මැදිරියේ.” ඔහු පැහැදිලි කරයි. “මෝඩ ගැමි කාන්තාවක්. මැදිරි දෙක මැද ගමන් කරල තියෙන්නෙ. බෆර් එකට කකුල් දෙක බැඳගෙන වැටෙන්නෙ නැති වෙන්න. ඒත් රෑට නින්ද ගිහින් වැටිලා බිම ඇදගෙන ගිහින්. ඔළුව ගැලවිලා ගිහින්. මම පසුතැවිලා වෙනවා බලන්න ගියාට.”

ගමනේ බාගයක් දුර ගියවිට, දීප්තිමත් පෝස්ටර් ඇල වූ, සොල්දාදුවන් ගෙන් යුත් වූ, දිරාපත් වූ වේදිකාවක් ඇති ඉතා පාළු දුම්රිය නැවතුම් පළකින් එහාට ආර්ගු‍නෝවා පවුල ගමන්ගත් පෙට්ටිය නොයන බව දැනගන්නට ලැබුණි. දුම්රියේ මැදිරි කිසිවක් අළුත්වැඩියාවකින් හෝ පරීක්ෂණ වලට වසර කිහිපයකින් භාජනය වී නොතිබුණි. හදිසියේම කඩා වැටුණ කල කිසිම අළුත්වැඩියාවකින් එය ගොඩගනු නොහැකිය. මැදිරියේ සිටි අයට ඉක්මණින් වෙනත් මැදිරියක් සොයා ගන්නට විධානයක් ලැබුණි. දැනටමත් පිරී ඉතිරී තිබි මැදිරිවලට මඟීන් රිංගා ගත්හ.

හතරැස් පෙට්ටි මැදිරියට ආර්ගුනෝවා පවුල ගොඩවූයේ එලෙසින්ය. තමන්ට තැනක් ලද භාග්‍යය ගැන සතුටුව ගලීනා හා ලිඩියා කුරුසියේ ලකුණ ඇන්ඳහ.

කඩා වැටි තන් ඇති කාන්තාවට තමන්ගේ දරුවන් සියල්ලටම ඉඩකඩක් සොයාගත නොහැකි විය. දුම්රිය නැවතත් පිටත්වෙද්දී පොදිගොඩ මත වාඩිගෙන විපළිසරව තම සායේ එල්ලෙන දරුවන් වටකරගත් ඇය ඇදී යන දුම්රිය දිහා බලාපොරොත්තු සුන් වූ දෙනෙතින් බලා සිටියාය.

හෙමිහිට විඩාවෙන් ඇදෙන දුම්රියේ පෙට්ටි ගණනාව සුදු දුම් දමමින් අහසේ සුදු වළාකුළු වලට එයත් එකතු කරමින්, වගුරු හා තණ තැනිතලා පසු කරමින් ඉදිරියට ගියේය. ලිස්සන රවුම් වූ වහලේ සොල්දාදුවෝ කණ්ඩායම් ලෙසින් කල්ලි ගැසී සිටියහ. ඔවුනතර සමහර අයට හාර්මොනිකාවන් තිබුණි. ඔවුන් ඒවා වාදනය කරමින් පුංචි ඇපල් ගෙඩිය ගැන ගී ගැයූහ. සිංදුවේ හඬත්, දුම්රියෙන් පිටවන දුමත්, ඈතට පාවී ගොස් මැකී ගියේය.

පෙට්‍රොග්‍රෑඩයේ දුම්රිය එනතෙක් ජනතාව රැස්ව බලා සිටියහ. හති දමමින් ඇදුන අන්තිම පෙට්ටිය දුම්රිය වේදිකා පථයට ඇතුල් වෙද්දී එන හැම දුම්රියක්ම පිළිගන්නට රොක් වී සිටින ජන සමූහයා දකින්නට කීරාට හැකිවිණ. හැඩක් නැති වස්ත්‍ර යටින් මහත් අසීරු දිවි ගෙවූ ඔවුන්ගේ දිගු ව්‍යයත්නයෙන් වෙහෙසට පත්වූ සිරුරු සුපුරුදු විඩාවෙන් පෙළෙන ආකාරය පැහැදිලිව පෙනුනි. ඔවුන් පිටුපසින් උස් යකඩින් තැනුනු ජනේල දිස්විය. ඊට පිටුපසින් නගරය පිහිටියේය.

ඉවසිල්ලක් නැති මඟීන් කීරාවත් තල්ලු කරගෙන ඉදිරියට ගියහ. දුම්රියෙන් බහිද්දී ඇය මොහොතක් පඩියේ නතර වූයේ එම පාදය තබන වැදගත්කම සිහි කරන්නට මෙනි. ඇයගේ පාදයේ පැහැය හිරු එළියෙන් වෙනස් වී ඇත. ගෙදර දී තනාගත් හම් පටි දැමූ ලී සෙරෙප්පු ඇය පැළඳ සිටියාය. එක කෙටි තත්පරයක් පාදය උස්සාගත් ඇය මේ මොහොතේ වැදගත්කම සිහිකරමින් ඊ ළඟට ලී සෙරෙප්පුවෙන් ලෑලි වලින් නිමැවුන වේදිකාව‍ ස්පර්ශ කළාය. කීරා ආර්ගුනෝවා පෙට්‍රොග්‍රෑඩයට පැමිණියාය.

එක් ප්‍රතිචාරයක් »

  1. අද කාලෙකට පස්සෙ ඇවිත් කෙටි කතා ටික කියෙව්ව. හැමදාම වගේ කියවන්න කම්මැලි නැතිවෙන විදියට ලියල තියෙනව….

    ප්‍රතිචාර විසින් indik — ජූලි 13, 2010 @ 12:17 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: