Sinhala story Blog

ජූනි 29, 2010

සිතන්න ඉඩක්

Filed under: Uncategorized — sinhalashortstories @ 2:35 ප.ව.

“මම උයන්න දන්නවා කියන්න ද නැත්නම් මට බැහැයි කියන්න ද?”

“පංති යනවැයි කියන්න. මං දැක්කා අර තානාපති කෙනෙකුගෙ වයිෆ් කෙනෙක් කුකරි පංති වගයක් දානවා කියල ඉංග්‍රීසි පත්තරේ තිබුණා. පුදුම ගණන් අය කරන්නෙ. ඒවගෙ පංතියකට යන්න හිතනවා කියන්න.”

“මනෝජ්ගෙ අම්මා නම් දවසක් කිව්වා එයාට උයන පිහන ඒවා මැජික් කියල.”

“ඉතින් අහන් හිටිය අය මොනවද කිව්වෙ?”

“කෑම හදන්න දන්න අයත් කටවල් වහගෙන හිටියා. මනෝරි ඇන්ටි බබා වගෙ ඉඳන් කියන නිසා කවුරුවත් එයාගෙන් ප්‍රශ්න අහන්නෙ නැහැනෙ.”

“මනෝජ් මොකද කියන්නෙ?”

“එයාට ඔය අලුතින් ඇරපු ඕනැම තැනකින් කෑවොත් ඇති. කොළඹ තියෙන හැම රෙස්ටුරන්ට් එකෙන්ම කාලා තියෙනවා කියන්නෙ දැනටම.”

“ඒක ලේසි වෙයි දූට. තාත්තා වගේ කෑම බලාගෙනම වැඩ ඇරිලා ගෙදර එන කෙනෙක් බැඳ ගත්තම ආයේ හවස් වරුවට කොහෙවත් ගිහින් හමාරයි.”

“ඇයි තාත්තා පිටින් කන්න ඔය තරම් අකමැති?”

“ආච්චි ඉස්සර ඉතින් රසට කෑම හදලා දුන්නනෙ. කැව්වෙ නැති එක විතරයි.”

සුගන්දි නවසීලන්තයේ විශ්ව විද්‍යාලයක ආචාර්ය උපාධියකට හදාරන ශිෂ්‍යාවකි. මෙවර නිවාඩුවට ලංකාවට ආවේ දෙමාපියන් විසින් යෝජනා කර තිබුණු මනාලයෙක් මුණ ගැහෙන්න. පිට දීපංකර වල තනියම ගෑනු ළමයි හැදෙන වැඩෙන කොට දෙමාපියන්ටයි නෑදෑයෝ දොස් පවරන්නෙ. සුගන්දිගෙ අම්මා ඇය වෙත පිට පිට එවූ ලියුම් වල එය සඳහන් කළා ය.

මනෝජ් රැකියාව කළේ ඔස්ට්‍රේලියාවේ. එයාගෙ අම්මයි තාත්තයි නිතරම ලංකාවත් ඔස්ට්‍රේලියාවත් අතර ගමනෙ යෙදුණහ. එයාල හෙව්වෙ ඒ පැත්තෙ පදිංචියට කැමති කෙනෙකි.

ලංකාවට ආව සුගන්දිට මනෝජ්ව කිහිප වතාවක්ම හමු වුනා. දෙපැත්තේම දෙමාපියෝ නම් හැම දෙයක්ම ගැලපෙනවා කියල දෙන්නටම කිව්වා. ඒත් මාසයකින් මේ වගෙ මුළු ජීවිතයටම බලපාන තීරණයක් ගන්න පුළුවන් ද කියල තවමත් සුගන්දිගෙ හිත තුළ නොසන්සුන්තාවයක් පවතිනවා. ආපසු නවසීලන්තයට ගිහින් කල්පනා කරල තීරණයක් ගන්නවාට දෙපැත්තෙන්ම දෙමාපියන් අකැමතියි. සුගන්දි වචනයක් නුදුන්නොත් මනෝජ් තවත් මාසයක් ලංකාවෙ ඉන්න නිසා එයාට තව සුදුසු අය ගැනත් හොයල බලන්නයි ඒ පාර්ශවයේ සැලස්ම.

සිතුවිලි ගොන්නත් කර පින්නා ගෙන සුගන්දි මනෝජ්ලගෙ ගෙදරින් එවල තිබුණ වාහනයේ ඉදිරිපස අසුනේම වාඩි වූවා ය.

“සුගන්දි මිස්ට වාහනේ එළවන්න ඕනා ද?”

“අපොයි නෑ මිස්ට වික්‍රම. මේ පාරවල් වල ගිහින් මට පුරුදු නැහැ. නවසීලන්තයෙ වාහන අඩුයි. පාරෙ ඉන්න ටික දෙනත් නීතියට අනුව තමයි යන්නෙ.”

“පිටරට වල හරි වේගෙන් කාර් එලවන්න පුළුවන් කියල ඔය ගිහින් ආපු කෙනෙක් කිව්වා.”

“පාරවල් ලොකුයි. අනික වළවල් එහෙමත් නැහැනෙ.”

රියැදුරු මිස්ට වික්‍රමගේ ප්‍රශ්න වලට උත්තර දී අවසන් වෙනවාත් එක්කම වාහනය මනෝජ්ගෙ නිවසට ළඟා වුනා. තමන්ගෙ අනාගතය ගැන කිසිවක් හිතන්නට සුගන්දිට ඒ ගමනෙදි ඉඩක් ලැබුනේ නෑ.

කෙටි තරප්පු පෙළකින් ගොඩ වැදිය හැකි සදළුතලයක සිට සුගන්දි එන තෙක් මඟ බලා හිටිය මනෝජ් ඇයට උඩට නැඟ එන ලෙස අතින් සංඥා කළේය.

“කෝ අම්මලා?”

“ම්… අම්මා නම් තවම ලැහැස්ති වෙනවා ඇති. එයා ගන්නවා පැය තුන හතරක් ගෙදර ඉන්න අඳින්න වුනත්. තාත්තා මම හිතන්නෙ පත්තර ටික කියවනවා. මාස ගාණක් පහුවෙච්ච ඒවා හිටන් කියවනවා එයා.”

“මම විතර ද අද ඩිනර් වලට?”

“ඔව්. අපි දෙන්නට කතා කරගන්න කියලා තමයි ඔයාට රෑ කෑමට මෙහෙ එන්න කිව්වෙ.”

“මනෝජ්, ඔයා කතා කරන්න. මම අහගෙන ඉන්නම්.”

“ඕක තමයි අම්මලා මට ලංකාවෙන් ම කෙනෙක් හොයාගන්න කිව්වෙ.”

මනෝජ් පැවසුයේ මුව අග රැඳුන සිනහවක ඡායාව සමඟ.

“ඇයි එහෙම කියන්නෙ?”

“මිනිහා කතා කරන්නයි, ගෑනි අහන් ඉන්නයි.”

“මනෝජ් කතා කරන්න අකැමති නම් මම කතා කරන්නම්.”

“නෑ… නෑ… කතා කරන්න අකැමත්තක් නැහැ. ඒත් අහන්න තියෙන දේට වඩා දැන ගන්න, අදහස් හුවමාරු කර ගන්නයි මට ඕනා. අපට ලැබිලා තියෙන කාලය ප්‍රමාණවත් නැහැ කොහොමටවත්ම.”

“ඒකට නම් මමත් එකඟයි. කාල සීමාව දික් කරගන්න ක්‍රමයක් තියෙනවා නම් හොඳයි.”

“බැරිද සුගන්දි ඔයාට තව ටික දවසක් ලංකාවෙ ඉන්න?”

“තව සතියක්, තව මාසයක්, කොහොම ද තීරණය කරන්නෙ කොච්චර කාලයක් අවශ්‍ය ද කෙනෙක් ව දැන හඳුන ගන්න.”

“දහ අටේදි නම් කෙල්ලක් එක්ක සෙට් වෙන්න හරි ලේසියි. මුකුත් හිතන්නෙ බලන්නෙ නෑ. දැක්ක. ගියා පස්සෙන්. පටන් ගත්ත ලව් කරන්න.”

“මනෝජ්ට කෙල්ලො ගොඩක් ඉන්නැති.”

සුගන්දි විහිළු කළාය.

“ගොඩක් හිටියෙ නැහැ. කිහිප දෙනෙක් එහෙන් මෙහෙන්. දැන් නම් එයාල කොහෙද වත් දන්නෙ නැහැ. සමහර අයගෙ නම් මතකත් නෑ. සීරියස් ඒවා නෙමෙයිනෙ. ඔයා කොහොම ද?”

“මම පොතක කියෙව්වා ගෑනු ළමයෙක් කිසිදාක තමන්ගෙ පරණ ලව් ගැන බඳින්න යන කෙනාට කියන්න හොඳ නැහැ කියල.”

“ඒ ඇයි?”

“පිරිමි හරි ඊර්ෂ්‍යා නිසා.”

“බඳින කොල්ලව හමුවෙන්න කලින් තිබුණ දෙයක් ගැන ඇයි එයා ජෙලස් වෙන්නෙ?”

“මිනිහා සැක කරනවලු බැඳලත් ගෑනි පරණ පෙම්වතා ගැන සිහි කරයි. එයා නැති එක ගැන තැවෙයි. එතකොට ස්වාමි පුරුෂයා ගැන මුළු හිතින්ම බැඳිලා නැහැ කියල.”

“හැම ස්වාමි පුරුෂයෙක් ම තමන්ගෙ බිරිඳට මුළු හිතෙන්ම බැඳිලා ද ඉන්නෙ?”

“අපේ තාත්තා නම් එයාගෙ ජොබ් එක බැඳගෙන කියලා අම්මා නිතරම කියනවා. හැබැයි නවසීලන්තයේ නම් බැඳපු අය විවාහ ජීවිතය කියල තමන්ගෙ අනන්‍යතාවය නැති කර ගෙන නැහැ. මගෙ ප්‍රොෆෙසර් හරි ආදරෙයි එයාගෙ නෝනට. ඒත් මාසෙකට සැරයක් එයා යනවා සති අන්තයෙ මෝටර් සයිකල් සවාරියක් යාළුවො කාණ්ඩයක් එක්ක.”

“මෙහෙ කරන්නෙ ඉතින් මුළු පවුලම එක්ක ට්‍රිප් යන එක. සති අන්තය ගිහින් නාලා කාලා එන එකනෙ. මම ආසයි ස්නෝක්ලින් යන්න. පුංචි කාලේ හික්කඩු ගියාම වතුරෙ පැය ගණන්. මූද යට ඉන්න ජීවීන් හරි චමත්කාරයි. සමහර පුංචි මාළු පැටව් සායම් පෙටිටියක තියන පාට පාට ගාපු එව්වො වගේ. ඔස්ට්‍රේලියාවෙ ගොඩක් තියෙනවානෙ ඒ වගෙ තැන්. මට තැන් බලන්න ආසයි.”

“මනෝජ්ට පීනන්න පුළුවන් සිංහල කෙල්ලෙක් තමා හොයා ගන්න ඕනා.”

“සුගන්දිට පීනන්න පුළුවනිනෙ.”

“මම ආස නැහැ ස්නෝක්ලින් වලට. වතුර යට ඉන්න සත්තු දැක්කම මට උඩින් පීනන්නත් බයයි. පුංචි මාළු දැක්කම හිතෙන්නෙ උන්ව ගිලින්න එන ලොකු මාළු ගැන. ඔන්න පූල් එකක නම් ඕන දෙයක්.”

“ඉතින් අර ප්‍රොෆෙසර්ගේ වයිෆ් මොකද කරන්නෙ ප්‍රොෆෙසර් මෝටර් සයිකල් සවාරි ගියාම?”

“එයා යනවා කුකරි ක්ලාස් වලට. ලෝකෙ තියෙන හැම රටකම කෑම හදන්න දන්නවා.”

“මනෝජ් පුතා… සුගන්දී…”

මෙහිදී දෙදෙනාටම කතාව නතර කර කෑම මේසය වෙත යන්නට ආරාධනා ලැබිණ. තරුණ දෙදෙනට කතා කර ගැනීමට ඉඩ සලසා දෙමාපියන් වැඩි කතා බහකින් තොරව ආහාර ගත්හ. තරුණ යුවළ ද මෙතෙක් කතා කළ මාතෘකා ගැන සිතින් විමර්ශනය කළෙන් කෑම මේසය අවට දැඩි නිහඬතාවයක් පැතිරිණ. තමන් ඉදිරිපිට කතා කරන්නට අදිමදි කරතැයි සිතූ දෙමාපියන් ඉක්මණින් කෑම කා දෙදෙනාට තනිවන්නට සලසා මේසයෙන් බැහැරව ගියහ.

“සුගන්දි කෑම හදන්න ආසද?”

“මනෝජ් මම හිතුවෙ ඔයාගෙ අම්මා ඔය ප්‍රශ්නෙ මගෙන් අහාවි කියල.”

“මම එහෙම ඇහැව්වේ අර ඔයාගෙ ප්‍රොෆෙසර්ගෙ නෝනා වගෙ ඔයත් කුකරි ක්ලාස් යන්න කැමති කෙනෙක් ද කියලා දැන ගන්න.”

මෙහිදී දෙදෙනා නැවතත් නිහඬ වුනහ. මනෝජ්ට බඳින්න අවශ්‍ය අම්මලා බලකරන නිසාද නැත්නම් එයාට ඕන නිසාද යන්න තේරුම් ගන්න සුගන්දි උත්සාහ කළාය. මනෝජ්ට කල්පනා වුනේ තමන්ගෙ එකම ප්‍රශ්නයකටවත් සුගන්දිගෙන් කෙළින් පිළිතුරක් ලැබුනෙ නැහැ නේද යන්නයි. සුගන්දිගේ සැඟවුනු කතාබහෙන් ඈ ගැන දැන ගන්න කුතුහලය ඔහු තුළ වර්ධනය වුනි.

“රෑ වෙන්න කලින් ඇරලවන්න…”

“රෑ වෙන්න කලින් යන්න ඕන…”

මනෝජ් සුගන්දි දෙදෙනාම නිහඬතාවය බිඳිමින් එකවර කතා කළහ.

“රටින් පිටවෙන්න කලින් උත්තරයක් දෙන්න අමාරුයි මනෝජ්. මම ඔයාට කැමතියි. ඒත් තව කලක් අඳුරගන්නෙ නැතුව විවාහය ගැන හිතන්න අමාරුයි. ඔයාට තේරුම් ගන්න පුළුවන් ද මම කියන දේ?”

“ෂුවර්. මටත් තව කලක් ආශ්‍රය කරන්න ලැබෙනවා නම් හොඳයි. අපේ අම්මලාටනෙ හදිසි. ඔයාට මාත් කැමතියි. ඒත් ඔයා ස්ථිර වචනයක් දෙන්නෙ නැත්තම් ලංකාවෙන් යන්න කලින් තව අය බලන්න කියල වදේ. එහෙම බලල කෙනෙක් හරි ගියෙ නැත්නම් මම ඔස්ට්‍රේලියා ආවම ඔයා බලන්න එන්නද?”

“මමත් බලන්නම් නිවාඩුවකටවත් ඔයාව මීට් වෙන්න. එතකොට බලමු ඉස්සරහට කොහොම වෙයිද කියල.”

මනෝජ්ගෙන් සමුගෙන සුගන්දි වාහනේට ගොඩ නැඟුනේ අනේ මිස්ට වික්‍රම ආයෙත් කතාව පටන් ගන්න නම් එපා යයි සිතෙන් ආයාචනා කරමිනි. මෙය කුමන ආකාරයකින් හෝ ඔහුට දැනුනා දැයි කිව නොහැකි වුවත් රථය තුළ කිසිදු කතාබහක් නොවිණ.

හැඟීම් හුවමාරුවක් නැතුව මෙරට කොයි තරම් දෙනෙක් විවාහ ජීවිත පටන් ගන්නවා ද? මනෝජ් අවංක කොල්ලෙක්. තවත් අය බලන්න යනවා කියල කෙළින්ම කිව්වනෙ. පිටරට ඉන්නකොට ආදරය කරල බඳින්න සිංහල කෙල්ලෙක් හරි කොල්ලෙක් හොයාගන්න ලේසි නැහැ. එහෙමයි කියල ආදරයක් කියන නාමයක්වත් නැතුව කෙනෙක් එක්ක ජීවිතයෙන් හොඳ හරියක් ගෙවන්න පුළුවන් ද? මනෝජ් ඔස්ට්‍රේලියා ආවාම කතා කළොත් හොඳයි. සුගන්දිගෙ සිතුවිලි රාත්‍රී අන්ධකාරයත් සමඟ හැම අතම ගලා ගියා.

මෙය 1999 සැප්තැම්බර් 13 වැනිදා නවලිය පත්‍රයේ පළවුනි.

ප්‍රතිචාර 2 »

  1. Exact problem I’m having at the moment. 🙂

    ප්‍රතිචාර විසින් Grey — ජූනි 30, 2010 @ 6:57 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: