Sinhala story Blog

ජූනි 25, 2010

අණ්ඩර අන්දරය

Filed under: Uncategorized — sinhalashortstories @ 9:29 පෙ.ව.

කැශ්මීර් ආපනශාලාවේ වෙනදා වගේ සෙනඟ හිටියේ නැහැ.

චමන්ති ඇතුල් වුන තැනම දොර ළඟ පොඩ්ඩක් හිටගෙන බැලුවා වටපිට කවුරු හරි ‍කෑම මේසය වෙත කැන්දා ගෙන යයි ද කියල.

“යන්න ගිහින් කැමති තැනකින් වාඩි වෙන්න.”

ඇතුලේ දොරකින් ඔළුව ඔබලා වේටර් කෙනෙක් කිව්වෙ මේසය තියන පැත්තට අත දිගු කරලා පෙන්වලා. එයාගේ නළල මැදින් රැම්බෝ ලෙසින් සිල්වෙස්ටර් ස්ටැලෝන් රඟපාද්දි බැඳ ගත්ත වගේ රතු පටියක් දිස් වෙනවා.

චීන යුවතියෝ දෙන්නෙක් ගහ ගන්න වගේ කතාව. ඒත් එයාල ඔළු ලං කරගෙන කරන කිචිබිචි හිනාවක් නිසා ඒ එයාලගෙ භාෂාව උච්චාරණයේ හැටි මිසක් දෙන්න තරහෙන් කරන කතාවක් නොවන බව චමන්ති තේරුම් ගත්ත.

“මිස් මොනවද බොන්න කැමති? අද බු‍ෙෆ් එක ගන්න කැමති ද?”

එක ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න කළින් වේටර් තවත් ප්‍රශ්නයක් අහනව.

“ඩයටි කෝකා කෝලා එකක්. අහපු දෙවැනි ප්‍රශ්නෙට උත්තරේ ඔව්.”

“දෙවැනි ප්‍රශ්නය?”

මේ දැන් අහපු ප්‍රශ්නෙ ඒ ඩිංගට අමතක වෙලා ද මේ මනුස්සයට. ඔහු අතේ කිළිටි අත් පිස්නයකි. එයින් ඔහු හැඳි කිහිපයක් ඔප දමයි. ආසියාතික හුරුවෙන් ඇති ආපනශාලා වල අත් පිස්නයන් බොහොම කිළිටි. ඒකට බලන්න ඕන ජර්මන් හරි ප්‍රංශ හරි කෑම කඩේකට ගොඩවෙලා. එයාල පාවිච්ච් කරන අත් පිස්නයන් සුදුම සුදු පාටයි.

“මිස් බු‍ෙෆ් එක ගන්නව ද?”

“ඒක තමයි දෙවැනි ප්‍රශ්නෙ. ඔව්. බුෆේ එක ගන්නම්.”

“කෝක් එකට අයිස් ඕනා ද?”

“දාන්න.”

ඔහු ඔළුව වනා සිනා සී ඇතුල් කාමරයට වැදිණ.

කෙනෙක් තනිවම ආපනශාලාවක ආහාර ගැනීම හරි දුකක් ඇති කරන සීන් එකක්. එහෙම කියන්නේ චමන්තිගෙ හොඳම යෙහෙළිය අනුරාධා. එයා කිසිදාක තනිවම කෑම කන්න යන්නෙ නැහැ. ඒත් ඉඳහිටල දවසක වැඩ ගොඩ ගැහුණම දවල් ආහාරයට කඩේකට ගොඩවෙන එක චමන්තිගෙ සිරිත. පාරේ යන එන අය දිහා බල බලා කතාබහක් නැතිව නිස්කලංකෙ කෑම කන්න චමන්ති ආසයි. තමන් උයල පිහල පිඟානට බෙදා ගන්නවාට වඩා කෙනෙක් බොන්න බීම වීදුරුව පවා ළඟට ගෙනැත් දෙනවනෙ.

“මිස් ඉන්දියාවෙන් ද?”

තේ කහට පැහැති කොකා කෝලා පානය වීදුරුවේ අයිස් කැට අතරින් සිහින් පෙන බුබුළු දමයි.

“නෑ මං ලංකාවෙන්.”

“සිංහල කතා කරනවද?”

මෙවර ඔහු අහන්නේ සිංහලෙන්.

“ඔව්. පුළුවන්.”

ඔහු ප්‍රීතියෙන් ඔළුව වන වනා සිනා වෙයි. චමන්ති ගෑරුප්පුවක් අරන් පිඟාන දිහාට නෙත් යොමු කළා. පලක් පනීර් එක දියාරු වගේ. ඒත් අළු ගෝබි මසාල එක නම් රස බව පෙනුමෙන්ම කියන්න පුළුවන්. තන්දූරී නාන් කෑල්ලකුයි කීමා නාන් කෑල්ලකුයි චමන්ති පිඟානට බෙදා ගත්තෙ හැමදාම බාස්මතී බත් කාලා එපා වෙලා හිටිය නිසා. ලංකාවේ වී වගා කෙරුණත් බත් කන්න හැමෝටම සල්ලි නැහැ. වී වගාව නැති දියුණු රටවල බාස්මතී හාල් තුන් වේලටම කන්න අවම පඩියක් ලබන කෙනාටත් හැකියාවක් ඇත.

“මෙහෙ ඇවිත් කොච්චර කල් ද?”

වේටර් තැන තමා අසල තවමත් රැඳී සිටින බව චමන්ති දැක්කෙ ඔහු කටහඬ අවදි කළ නිසා.

“අවුරුදු දහයක් පහළොවක්.”

“යුනිවසිටි යනවා ද? වැඩ කරනවා ද?”

“නෑ දෙකම නෑ.”

“මොකද කරන්නෙ?”

චමන්ති ඔහු දෙස බලා උන්නා මිසක් උත්තර ‍දුන්නෙ නැහැ. කවදාවත් කතාබහ කරල නැති මේ මනුස්සය පුද්ගලික ප්‍රශ්න අහන්නෙ ඇයි? ඒත් ඔහුගේ මුහුණේ ඇත්තේ අවංක කුතුහලයකි. තමා අහන්නේ නොමනා විස්තර යයි ඔහු නොදනී.

“නිකම් ඉන්නවා.”

චමන්ති නැවතත් කෑම පිඟානට නෙත් යොමු කළේ ඔහු වෙනතක යාවී යන බලාපොරොත්තුවෙන්. මදැයි ආවා කන්න නිස්කලංකෙ ඉන්න බලාගෙන.

චීන යුවතියන් දෙදෙනා කෑම ගෙන අවසන්. අත් වැසුම් හා හිස් වැසුම් දාගෙන තවමත් ගහ ගන්න වගේ කතා කර කර ඒ එක්කම අතින් කටවල් වහගෙන හිනා තද කරගෙන කෑම කඩෙන් යන්න සූදානම්. ලාංකික තරුණයා ඔවුන්ගෙන් මුදල් අරගෙන ඔවුන්ට එතැන කවුන්ටරයේ තබා ඇති රස මුසු එනසාල්, සුවඳ දැමූ අසමෝදගම් ආදිය ගැන විස්තරයක් කරයි. තරුණියන් දෙදෙනා පිත්තල භාජනයේ රැඳි කුඩා හැන්දෙන් සිය අත්ල වලට ඉන් ටික ටික බෙදා ගනිති. තවත් මඳ දඟ හිනා පා ඔවුන් ආපනශාලාවෙන් පිටව යති.

“මිස්ට ඩෙසර්ට් වලට මොනවද ගේන්නෙ?”

හිස්ව ඇති කොකා කෝලා වීදුරුව පුරවමින් වේටර් තැන යළි අසයි.

“බුෆේ එකට තියලා ඇති එකක් කන්නම්.”

“මම ඇතුලෙන් ගෙනත් දෙන්නම්. කියන්න මොනවද ඕනා කියල. පිස්ටාෂියෝ පුඩ්න් තියෙනවා. මැන්ගෝ පුඩින් තියෙනවා. එතකොට ගුලාබ් ජමුන් පැනි දාලා හරිම රහයි. මෙ‍ෙතන්ට දාලා තියෙන්නෙ රයිස් කුල්ෆි විතරයි.”

” නෑ නැතුවාට කමක් නෑ.”

“කියන්න කියන්න මං ගානේ ගේන්න. සල්ලි ඕන නැහැ. ලංකාවේ කෙනෙක්නෙ.”

චමන්ති කැමති වුනේ නැහැ බුෆේ මේසයේ නැති යමක් ගෙන්වා ගන්න. මෙයා ආපනශාලාව අයිතිකාරයා නෙමෙයි. මඳක් පෘථුල දේහයක් ඇති ඔහුගේ බඩ පොඩ්ඩක් ඉදිරියට නෙරා ඇත. රතු පටියෙන් මෙල්ල වී ඇති කැරලි කොණ්ඩය ළඟක දී සෝදා නැති තරමට තෙල් ගතියෙන් දිලිසෙයි.

“එපා බඩ පිරිලා. බොහොම ස්තූතියි.”

චමන්ති නැඟිට ගත්තෙ පිටත් වෙන්න.

“දෙමව්පියො එක්ක ද ඉන්නෙ? නැත්නම් මහත්තය එක්ක ද?”

මෙයාට එක ප්‍රශ්නයක් එක වතාවක අහන්න දන්නෙම නෑ වගෙයි. ඇයි අහන්නෙ කියල පවසන්න වචන දිව අගට ආවත් එතකොටම චමන්තිගෙ හිතට ආවා ඒකට උත්තරය දැන ගන්න එයාට අවශ්‍ය නැති බව.

“අතේ මුද්දක් නැති නිසා ඇහැව්වෙ.” ඔහු නෝංජල් හිනාවකින් කියයි. “ෆ්‍රී ‍ටයිමි තියෙනවා නම් ආයෙත් දකින්න ආසයි. බැඳලා නෑ නේද?” ඔහු මුදල් නෝ‍ට්ටු ගණන් කර ඉතිරිය චමන්ති අත තැබුවේය.

“ඔයා‍ට වයස 25 ක් 30 ක්?” පුද්ගලිකත්වයට ඔහු පා පහරක් දී ඇත. කිසිත් නොකියූ චමන්ති ඉතිරි මුදල ජීන්ස් සාක්කුවට ඔබා ගෙන ආපනශාලාවෙන් පිටතට පැන ගත්තාය.

“මං මෙතන හැම තිස්සෙම ඉන්නවා. මෙතන්ට කෝල් එකක් දෙන්න ඉඩක් ලැබුනොත්.”

කඩයෙන් ඉවත්ව යන ඇයට ඔහු දොර හැර ඔළුව එළියට දමා සිංහලෙන්ම කියයි. නළල මත ඇති රතුපටිය හිරු එළියෙන් දිළිසෙයි.

හරි අහිංසක කෙල්ලෙක්. ලංකාවේ නිසා බඳින්න කෙනෙක් හොයා ගන්න බැරි වෙන්නැති තවම. කතා කළෙත් නෑ ලැජ්ජාවෙන් ද කොහෙද. චහ්..දෙමාපියෝ එක්ක කන්න එන්න කියන්න අමතක වුනානෙ මට. වේටර් තැන අමුතු උද්‍යෝගයෙන් කිළිටි අත් පිස්නයෙන් හැඳි මදින්නට පටන් ගෙන ඇත. ළඟක දී නුහුරු රටක රැකියාවක් සොයා ආ ඔහු නැවතුනේ මෙම ඉන්දීය ආපනශාලාවේ. ලංකාවෙන් පැන ආ කොල්ලො දෙතුන් දෙනෙක් එක්ක ලැගුම් ගත්ත ද ඔවුනට ලාංකික කාන්තාවන්ගේ ඇසුර සඳහා මෙතෙක් අවස්ථාවක් උදා වී නැත.

චමන්ති ගමන් කළේ මඳ තරහකින්. ආයෙ වහෙන් ඔරෝ නැතුව කෙළින්ම බැස්සනෙ මිනිහ කතාවට. යයි කෙනෙක් එයා එක්ක ඒ වගෙ කතා කළොත්. කෙනෙක්ගෙ පුද්ගලික දේවල් ඔහොම අහන කොට යයි ද කෙනෙක් ආයෙ කතාබහට. මීට පස්සෙ කැශ්මීර් එකට නමි ආයෙ කන්න නොයන්න මතක තියා ගන්න ඕන.

ඒත් දවසේ ඉතිරි වැඩ කඩිනමින් ඉවර කරන චමන්තිට කැශ්මීර් ආපනශාලාවෙන් පිටවුනු මොහොතේ තිබුණු තරහ කෙමෙන් කෙමෙන් පහවෙලා ගියා. පව්. පාළු ඇති තනියම ඉන්න කොට. කියල දෙන්න තිබුණෙ එහෙම මුණ ගැහුණු ගමන් පුද්ගලික ප්‍රශ්න අහන්න හොඳ නැහැ කියල. නොදන්නකමනෙ. කොණ්ඩෙ එහෙම සෝදල නළලේ පටිය ගලවල දැම්මොත් කෙල්ලොත් කතා කරන්න අදිමදි කරන එකක් නෑ කියලත් කියා දුන්න නම් හොඳයි.

ඔහු හා ඒවා කියා දෙන හැටි මැවී පෙනු‍ෙනන් චමන්තිගේ මුහුණේ සීන් සිනාවක් ඇඳී ගියා. චමන්තිගෙ වයස තිස්පහකි. උසස් අධ්‍යාපනයෙන් මඳ විරාමයක් ගෙන ඇති ඇය ඉතා දක්ෂ පරිගණක විශේෂඥවරයකි. රස්සාවල් බොහොමයකට ඇරයුම් තිබුන ද ඇය බලා ඉන්නේ පාඨමාලාව අවසන් කළ සැණින් තමන්ගේම කියා ව්‍යාපාරයක් අරඹන්නයි. ඇය තවමත් විවාහ වී නැත. ඊට හේතු බොහොමයකි. දෙමාපියන්ගේ කැමැත්ත ඇය ලාංකිකයෙකු හා විවාහ ගැනීමයි. එහෙත් ඔහු එසේ මෙසේ ලාංකිකයකු වන්නට ද බැරිය.

අපි බුලන්කුලම පරම්පරාවේ නම කාබාසීනියා කරල දාන්න නරකයි. පිටරට පදිංචියට ආවා කියල කුලය, ජාතිය, ආගම අමතක කරන්න බැහැ. අපේ තත්වෙට ගැලපෙන උගත් කෙනෙක් දූ බඳින්න ඕනා. එහෙම නිතර කියන්නෙ චමන්තිගෙ මවයි. චමන්තිගෙ හඳහනේ ග්‍රහ අපල දෝශයක් ඇති යයි ලංකාවේ ඉන්නා පවුලේ ජ්‍යෝතිශ්ශාසත්‍රඥයා පවසා ඇත. ඒ නිසා තත්වෙට ගැලපුන ද, පොරොන්දම් ගැලපෙන කෙනෙක් ද තවම සොයා ගන්නට පවුලට හැකි වී නැත.

ලංකාවෙන් ගලා එන විවාහ යෝජනා නමි අඩුවක් නැත. එහෙත් ඒ බොහොමය කැමති තමාට ද නැතිනම් පිටරට පුරවැසිබව ලබා ගන්නට දැයි චමන්ති සිතයි. ලාංකිකයන් අඩු රටක රටෙන් ආ කෙනෙක් සමඟ ආදර සබඳතාවයක් ඇති කරගන්නට ද ඉඩකඩ අඩුයි. පවි අර කොල්ලට මේ අණ්ඩර අන්දරය කිවිවා නමි එයා ආයෙත් කවදාවත් කෙනෙක් ගෙන් එහෙම පුද්ගලික ප්‍රශ්න අහන එකක් නෑ. දවසේ කටයුතු නිමා කර සිය නවාතැනට ඇතුල් වූ චමන්ති සිතුවාය. ඇය ඉන්නා වාසස්ථානයේ ලැගුම් ගෙන ඇත්තේ රැකියාවේ යෙදෙන හා ඉගෙනුමේ යෙදෙන තරුණ විදේශික කාන්තාවන් තිදෙනෙකි.

මෙය “අරුණි ශපීරෝ වෙතින්” බ්ලොග් සටහනේ කෙටිකතා යටතේ එකතු කරන ලද්දකි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: