ඔහු ගමේ කුමාරයා ය.
එහෙත් ඇය ගමේ රූමතිය නොවූවාය. ගම ද තුරු වන ලැහැබෙන් වටවුනු නිසංසල පරිසරයක පැවතුනක් නොව කොළඹ නගරයට ආසන්න කලබලකාරී පසුබිමක පිහිටියකි.
ඇයගේ නෙත් ඉදිරියේ ඔහු වරෙක දක්‍ෂයෙකි. ඒ දෙදෙනාම එළිමහනේ කෙළි සෙල්ලම් කරද්දී ය. ඇය මෙන්ම ඔහුත් තරඟ වැදුනේ ජයග්‍රහණය ලබනු පිණිසය. වරෙක ඔහු අන්ත මෝඩයෙකි. ගමේ රූමතිය පසු පස ඔහු හඹා යන්නේ එය අන් අය ඔහු වෙතින් අපේක්‍ෂා කළ නිසාද? තවත් වරෙක ඔහු ඉබාගාතේ ඇවිදිනා අතරමං වූවෙකි. තමාගෙන් අනෙක් අය අපේක්‍ෂා කරන දැයත් තමාට උවමනා කරන දැයත් අතර වෙනස හඳුනාගත නොහැකි ඔහු අසරණය.
ඇය හා ඔහු ජීවත්වන නිවෙස් වෙන්කරන තාප්පය අසල ඇති අරලිය ගසේ බර අත්තකට පිට දී ඇය නිතරම පොත් කියවන්නීය. එය ඇයගේ ප්‍රියතම ස්ථානයයි. ඇය කියවන පොත් කියවන්නට ඔහු ද කැමතියි. ඇයගේ පොත් වල ග්‍රන්ථ නාමයන් හිතේ සනිටුහන් කර ගන්නා ඔහු දිනෙකින් දෙකකින් එම පොත් සොයා ගනියි. ඇයට පෙනෙන්නට ඔහු එම පොත් ගෙන එන්නේය. දිනක් ඇය ඔහු අතැති පොත් නොදැක්කා සේ සිටියා ය. නිවසට ඇතුල් නොවී ආපහු හැරගොස් ඔහු සැණෙකින් නැවත අවුත් පොත් ඇයට පෙනෙන්නට බිම අත හැරියේ දැන්වත් මා දෙස බලන්නැයි කියන්නාක් මෙනි.
ගමේ රූමතිය ඇයට ළං වන්නට ඔහුට ඉඩ නොදී කොමළ කරන බවට ආරංචි පැතිර යයි. ඇය කණේ එය වැටුන බව ඔහු දනියි. යොවුන් වයසේ ජීවිත මතක සටහන් එකතු කරන සමයක දෙදෙනා අතර කතාබහ පැවතුනේ අවම වශයෙනි. සංකීර්ණ සංකලනයක අදහස් වදනින් නොදොඩා හුවමාරු කර ගන්නට ඇති හපන්කමේ ආශ්චර්යය ඔහුට නොතේරෙන්නේ ඇයි?
සුපුරුදු පරිදි ඇය අරලිය අත්තට පිට දී පොතක ඔළුව ඔබා ගෙන. ඔහු නොසන්සුන් සිතින් තාප්පයේ එහා පැත්තේ සක්මනේ යෙදෙයි. තාප්පය කෙටිය. දෙදෙනාට එකිනෙකා පහසුවෙන් පෙනෙයි. ඉඳහිට බොරළු කැටයකට ඔහු පා පහරක් එල්ල කරන්නේ සිතේ පවතින ව්‍යාකූලත්වය නැති කරන්නට එයින් හැකිවනු ඇතැයි සිතා ද? තවත් වතාවක ප්‍රශ්න සියල්ල කැටි කොට වෙනතක පා කර හරින්නට මෙන් ඔහු බොරළු කැට මිටක් රැගෙන එය හැකි තරම් ඈතකට විසි කරයි. ප්‍රශ්න වලට පිළිතුරු ඇත්තේ ඔහු අතය. ප්‍රශ්න අහකට දමා ඊට විසඳුම් සොයනු නොහැකි ය.
ඔහුගේ නොසන්සුන් සක්මනේ නිමාවක් නැත. පොතෙන් නෙත් ඉවත් කළ ඇය වැසි බර අහස දිහා බැලුවා ය. වැහි වළාකුළු කුමන මොහොතේ හෝ වැස්ස මුදා හරිනු ඇත.
“ආදරය කරලා පරාජය වීම කිසිදාක ආදරය නොදැන සිටීමට වඩා හොඳයි.”
ඔහු නෙත් හසු කර ගත් ඇය කියයි.
“දාර්ශනිකයෙක් කියූ කතාවක් වෙන්නැති.”
කිසිත් නොකියා ඇය ඊට ඔළුව සලා එකඟ වෙයි.
“දාර්ශනික කතා වලින් මට වැඩක් නෑ.”
ඔහු තවත් බොරළු කැට අහුරක් අතේ තද කරගෙන.
“ඒ වුනාට මම කැමතියි.”
උරහිස් මඳක් හකුළුවමින් ඇය කීවා ය. පොත වසා දමා ඇද හැලෙන්නට පටන් ගන්නා වතුර කැට වලින් බේරෙන්නට ඇය සිය නිවෙසට දිව්වා ය.
මහ දවල් හිරු එළිය සමඟින් ඇද වැටෙනා වැසි වතුර බිංදු මහත් විශාලය. එයින් තෙමෙන තාර පාර දුම් දමයි. නැවුම් සුවඳක් පරිසරය වෙලා ගනියි. රක්‍ෂිත වහලක් සොයා ගන්නට නොහැකි වුනු තෙත බරිත කුරුල්ලෙක් තෙමුනු පියාපත් ආයාසයකින් ගසමින් ඉක්මණින් පියාසර කරන්නට උත්සාහයක යෙදෙයි. වසා නොමැති ජනේලයෙන් ඇද හැලෙන මහ වැස්සේ මිටි කරගත් බොරළු අතැතිව තවමත් සක්මනේ යෙදෙනා ඔහුව ඇය දැක්කා ය. තෙමී ගිය වස්ත්‍ර ගැන හෝ ඉහින් කණින් බේරී වැක්කෙරෙනා වැහි වතුර ගැන ඔහුට ගණනක් නැත.
වසා දැමූ දොර මඳක් විවර කළ ඇය ඔහු ඇමතී ය.
“මොකද ඔය කරන්නෙ?”
“ආ…”
“වැස්සෙ තෙමෙන්නෙ ඇයි?”
බොරළු කැට අත හැරිය ඔහු වැසි දියෙන් අත හේදී යන්නට හරියි.
“යන්න ඇතුලට වැස්සෙ තෙමෙන්නෙ නැතුව.”
“සඳ කිඳුරිගේ අභියෝගය පොත කියෙව්වා නේද?” ඔහු අසයි. මේ පොත ඔවුන් දෙදෙනම අතීතයේ දවසක කියවූවකි.
“ඔව්.”
“සඳ දිලෙන්නෙ හිරු එළියෙන්.”
“ඔව්.”
“හිරුට අයිති සඳට අයිතියක් නෑ කිඳුරියකට පෙම් කරන්න.”
“ඉතින්?”
තාප්පයෙන් පැන අවුත් ඔහු මඳක් විවර දොර අබියස හිටගෙන.
“මම ඔයාට වඩා වයසෙන් ගොඩාක් වැඩියි.”
“ඉතින්?”
“ඔයා හරි බුද්ධිමත්. ජීවිතය ගැන.”
“අහන්න සතුටුයි.”
“නෑ… මං කිව්වේ…”
“මම ගමේ රූමතිය නෙමෙයි කියල.”
“එහෙම නෙමෙයි මම අදහස් කළේ.
ඔහුගේ දෑස් දුකින් බරයි. ඇයගේ ඇස් දඟකාරයි.
“රූමත් බවට වඩා බුද්ධිය ඕන දවසක බාර ගන්නවා.”
ඇය හිනාවෙමින් පවසයි.
“දෙන්න දෙයක් නැත්නම්?”
ඔහුගේ හඬ ද දුක්බර ය.
“එහෙනම් ගන්න දේකුත් නැහැනෙ.”
ඇයගේ පොපියන දඟකාර නොයිඳුල් තොල් සිප ගන්නට ඔහුට ආශාවක් ඇතිවුණි. ඔහුගේ දෙපා ඔහුටත් නොදැනීම ඉක්මන් වුනා. ඇඟ හිරි වැට්ටෙන විද්‍යුත් තරංග දෙදෙනාටම දැනුනෙ ඇද හැලෙන මහ වැස්ස සමඟින් දෙදරුම් දුන් හෙන හඬ නිසා නම් නොවේ. ඔහු ළං වන්නට පෙර අඩවන් වූ දොර හඬ නොනැඟෙන සේ සම්පූර්ණයෙන්ම ඇය වසා දැමුවාය.
හරි ලස්සනට හිතට වදිනව අලුත් මෝස්තරයක ලියමනක්..මේව තමා අපි නම් කියවන්න ආස….
ප්‍රතිචාර විසින් indika kumara — ජූනි 22, 2010 @ 12:12 ප.ව.
අලුත්ම විදිහෙ නිර්මාණයක්. නොපෙනෙන ඇත්ත පෙන්වනවා.
ප්‍රතිචාර විසින් wath සොඳුරු සිත — ජූනි 22, 2010 @ 12:40 ප.ව.
හරියටම තේරුනේ නැති උනත් මේ ලියන ශෛලිය ට ගොඩක් කැමතියි. මේ වගේ අත්දැකීමකුත් තියෙනවා (ඒත් ඒ අත්දැකීමත් හරියට තේරුනේ නැහැ! මේ මාතෘකා සම්බන්දයෙන් අමා කොහොමත් ටිකක් ටියුබ් ලයිට්)
ප්‍රතිචාර විසින් අමා — ඔක්තෝබර් 3, 2011 @ 1:36 පෙ.ව.
අමා නංගි,
ස්තූතියි මේ පැත්තෙ ආවාට. ඔන්න මම ගිහින් ඔයාගෙ කතන්දරයෙ දැම්මා පැහැදිලි කිරීමක්. බලන්නකෝ කොහොම ද කියලා.
ප්‍රතිචාර විසින් sinhalashortstories — ඔක්තෝබර් 3, 2011 @ 8:29 පෙ.ව.