සොඳුරු ආදර කතාවකින් පස්සෙ යුග දිවිය ආරම්භ කරපු ගීතිකා හා අසේල අවුරුදු දහයකටත් වඩා කාලයක් දැනට පවුල් ජීවිතය ගෙවල තියෙනවා. සාමයෙන්, සමාදානයෙන් පවුලේ දියුණුව වර්ධනය කරගත් මේ දෙදෙනා අතර ඉඳහිට පොඩි ආරවුලක්, පුංචි රණ්ඩුවක් ඇති වූ අවස්ථා නොතිබුණේ නැහැ.
අසේලගෙ ගති පැවතුම් ගැන ගීතිකාට එයාගේ යෙහෙළියෝ නිතරම ප්‍රශංසාවෙන් තමයි කතා කළේ.“ඔයාගේ මහත්තයා හරිම කරුණාවන්තයි.” “හැදිච්ච ගති තියෙන මනුස්සයෙක්.” “අනේ අපිට කාර්වල දොර හිටන් ඇරල දීලයි නඟින්න කියන්නෙ.”
පිටරට ඉගෙන ගත්ත සුළු කාලයක දී අසේල බටහිර සංස්කෘතියේ සමාජ චාරිත්‍ර වාරිත්‍ර මැනැවින් අනුකරණය කළ හෙයින් සාම්ප්‍රදායික ලැජ්ජා කූලෑටි ගති ඇතුව ගමෙන් ගොඩෙන් ආ තරුණ කාර්යාල සේවක සේවිකාවන්ට අසේලව පෙනුනේ මහත්මා ගති ඇති කෙනෙක් හැටියටය.
අඳුරන අයටත් නැති අයටත් ළඟින් යද්දී සුබ උදෑසනක් පතා ගෙන යෑම ඔහු කවදාවත් අමතක කළේ නැත. නොදන්නා අය හා කතාවේ යෙදීමට අදිමදි කරන කාන්තාවෝ කොළඹ නගරයේ දී දිවි ගෙවන්නේ පාළුවෙනි. ගමේ ගොඩේ දී මෙන් පාර තොටේ යන හැම කෙනෙක්ම ඔවුන් නොහඳුනති. කාර්යාලයට ගොඩවුනු මොහොතේ සිට තම කාමරයට ඇතුළු වන තෙක්ම හමුවන හැමටම අසේල මෙම ආශීර්වාද කිරීම නොනවත්වාම කර ගෙන යයි. මුල දී විහිළු කරනවා යයි සැක සිතූ අයද පසුව එවන් වදනින් ප්‍රීතිමත් වූහ.
අසේල හරි කැමති ලස්සන අයට එකතුවෙලා ඉන්න. ගීතිකාත් ලස්සනයි. වතාවක් දෙවතාවක් හැරිල බලන්න තරම් රූමතියක් නොවුනට ගීතිකාගෙ මුහුණ හරි සිරියාවයි. ඇස් දෙකෙන් නිතරම බැබලුන කාන්තිය ඇය සතුව තිබුණ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණයයි. ගීතිකා අසේලගෙ හැම ශාරීරික ඉරියව්වක්ම පසුපස ඇති සිතුවිලි පරිවර්තනය කරන්න දැන හිටිය. අවුරුදු දහයකටත් වඩා කාලයක් හැමදාම එකට ජීවත් වුනාම අනික් එක්කෙනා ගැන අනාවැකි පහළ කරන්න පුළුවන් අවබෝධයෙන් ඉන්න කෙනෙකුට.
අසේල හැරෙන්න කළින් හැරෙන්නෙ මොන පැත්තට ද කියන්න හැකියාව තියෙනවා ගීතිකාට කිව්වොත් නිවැරදියි. අසේල ගොඩාක් ආසයි ආදරය ක්‍රියාවෙන් පෙන්වන්න. තෑගි බෝග අරගෙන උත්සව වලට යන්න හපනා. උපන් දින, විවාහ සාංවත්සරික දින, එයාට කිසිදාක අමතක වෙන්නෙ නැහැ. හේතුවක් නැතිදාක එයා හේතුවක් හදා ගන්නවා සාදයක් දාන්න. එයාගෙ පාටි වලට එන්න දෙන්නගෙම යාළුවො පොරේ. අසේලට තරම් යාළුවෝ ගොඩක් එයත් එක්ක දැන ඇඳුනුම්කම් තිබුන කාටවත්ම ඇත්තෙ නැහැ.
ගීතිකාටයි අසේලටයි දෙන්නටම ආරාධනාවක් ආවා ප්‍රනීත් හා අමන්දි ගෙන් රාත්‍රී භෝජන සංග්‍රහයකට. ප්‍රනීත්ගෙ ගෙදරදී එකතු වෙන්නයි දෙන්නට ඇරයුම. දෙගොල්ලටම හිතවත් යහළු පිරිසක් තමා එකතු වෙන්නෙ. ප්‍රනීත්ගෙ බිරිඳ වන අමන්දි පහුගිය මාස කිහිපයේ දී ව්‍යායාම පංති යන්න පටන් අරගෙන. ගීතිකා වතාවක් අසේලට ඒ ගැන කියද්දි “අනේ ඔයාට ඔය බර ප්‍රශ්න නැති එක කොච්චර දෙයක් ද?” කියලයි අසේල උත්තර දුන්නෙ.
පුරුදු පරිදි තෑග්ගක් හැටියට ෆැබ් එකෙන් ඉස්තරම්ම වර්ගයේ මෝකා ගැටෝ කෙක් ගෙඩියකුත් අරගෙන අසේල හා ගීතිකා ප්‍රනීත් හා අමන්දිගෙ නිවහනට පැමිණියහ. ප්‍රනීත් අසේල එක්ක ආ ගමන් ලොකු කතාවකට වැටෙද්දි ගීතිකා කෑම පිළියෙල කරන පැත්තට ගියේ අමන්දිව දැක ගන්න ආසාවෙන්.
“අමන්දි… ඔයා හරි ලස්සනයි දැන්.”
“ව්‍යායාම පංතියේ දී මට රූප ලාවණ්‍ය ශිල්පිණියකුත් හමුවුනා. එයා තමා හරියට මේක් අප් දාන්න කියල දුන්නෙ. අපි ඉතින් කවද්ද ඕවා පොත් බලල ඉගෙන ගන්නද? නේද ගීතිකා?”
ගීතිකාත් අමන්දිත් සතුටින් රුව රැක ගන්නා රහස් හුවමාරුවට බැස්ස.
“ගීති… ඔයා මෙහෙද?”
කෑම කාමරයට ඔළුව දැම්ම අසේලගෙ ඇස් අමන්දිගේ වතෙන් එහාට ගියෙ නැහැ.
“අමන්දි…”
“හලෝ අසේල, ගොඩ කාලෙකින් පස්සෙනෙ ඔයාව දැක්කෙ.”
“අමන්දි… ආ… ඔයා… ගොඩාක් ලස්සන වෙලා.”
අසේලගෙ මුහුණ විස්මයෙන් පිරිල. ගීතිකා අසේල ළඟට කිට්ටු වෙලා අතක් යැව්වා ඔහුගේ බඳ වටා. ඒත් අසේලට ඒ ගැන හැඟීමක් තිබුණද කියල කවුරු හරි ඔහුගෙන් විමසුවා නම් ඔහු ලොකු අමාරුවක වැටෙන්නෙ.
අසේලගෙ කය අවදි වෙලා තියෙන්නෙ අමන්දිගේ රූපයෙන් බව ගීතිකාට අමුතුවෙන් හිතන්න අවශ්‍ය වුනේ නැහැ. තවත් කීප දෙනෙක් හා එතැනට පැමිණි ප්‍රනීත් අමන්දිගේ කොණ්ඩ කැරැල්ල සුරතලයට ඇද්දා.
“කොහොමද මගෙ බිරින්ඳෑ? දැන් ළමිස්සියක් වගේ නේද?”
ප්‍රනීත්ගෙ කතාවට හැමෝම හිනාවුනා. වැලිකතරක මංමුලා වූවෙක් වගෙ අසේල වටපිට බැලුවෙ කරන්න දෙයක් කියන්න දෙයක් හිතා ගන්න බැරුව. ගීතිකා හැරෙන්නට එතැනට ආ අනෙක් කවුරුවත් අසේලගෙ විපිළිසරය දුටුවෙ නැහැ.
සාර්ථක යුග දිවියක පිටු පෙරලන තරුණ යුවලක් හැටියටයි ගිතිකා තමන්ගෙ විවාහ ජීවිතය සැලකුවේ. අමන්දි තමන්ගෙ සොඳුරු විවාහ ජීවිතයට තර්ජනයක් ද? අනෙකෙකුට මෙසේ සිතින් වසඟ වන තම සැමියා හා තවදුරටත් තමා පවුල් කන්නේ කෙසේද? අසේල රූපයෙන් මත්වෙලා පමණින් නතර වෙයිද? නැතිනම් තම සිත වසඟ වූ ගත පසුපස හඹා යයි ද? ප්‍රශ්න රැසක් ගීතිකාගේ හිතේ විදුලි කෙටුවා.
යහළු යෙහෙළියෝ එක්වන මෙවැනි සංග්රහයක දී එහි ජීවය හැටියට හැමදාම බැබලෙන්නෙ අසේල. අසේල නැතිදාට පාටි පල්, නෝ අසේල, නෝ ආතල් කියල යාළුවො කිව්වේ.
අසේල වැටිල ඉන්න සම්මෝහ පාතාලයෙන් එළියට ඇදල ගත්තෙ නැත්නම් අනෙක් අය එයාගෙ වික්ෂිප්ත භාවය ගැන ප්‍රශ්න කරාවි යන බිය ගීතිකාට ඇතිවුනා. ගීතිකා ක්‍රියාත්මක කරන ලද යන්ත්‍රයක් සේ අසේලගෙ අතින් ඇද ගෙන අමන්දිව නොපෙනෙන තැනකට ගියා.
“ඔයාට ඩිස්ප්‍රින් එකක් ඕනද?”
“ආ… ඩිස්ප්‍රින්… ඇයි අර?”
“ඔළුව කැක්කුමක් පටන් අරගෙන ද කියල මම හිතුවෙ ඔයාගෙ මූණ දැක්කම.”
පියවි සිහිය ලද අසේල ඔහුට ලැබුන කඹය දෑතින්ම බදා ගත්ත.
“ඔව්. ඔව්. ඔළුව කැක්කුමක් ආවා. කමක් නෑ. කාටවත් දැන් කරදර කරන්න එපා. කෑම ගත්තාම හරි යයි. ගෙදර ගියාම ඩිස්ප්‍රින් ගන්න මතක් කරන්න ගීති.”
ගීතිකාත් අසේලත් ආයෙත් අනෙක් අයට එකතු වුහ. රසට උයපු පිහපු කෑම පිඟන් හිස් වෙද්දි අසේල සුපුරුදු පරිදි හැමෝම හිනාගස්සවන කතා පටන් ගත්ත. සාදය ජයටම යනකොට වෙරි මතින් හිට ගත් කෙනෙක් “අසේලයා නැති පාටි වලට මම යන්නෙත් නෑ” යයි හඬ නැඟීය.
හිස් කෑම පිඟන් ඉවත් කළ අමන්දි අවුළුපත් මේසයට ඇරිය. අසේලයි ගීතිකායි ගෙනාපු මෝකා ගැටෝ කෙක් ගෙඩිය හැමෝම රස කර කර කෑහ. අමන්දි නම් කේක් කන පාටක් නෑ. ආපහු බර වැඩි වෙයි කියල බයට වෙන්නැති. තේ කෝපිත් බීල කාණ්ඩෙ ගියෙ රෑ දෙගොඩ ජාමෙත් පහුවුනාට පස්සෙ.
ගෑණු ජාතිය දුර්වලයි කියන්නෙ පට්ටපල් බොරුවක්. පිරිමි ප්‍රජනනයට පමණක් නිම කෙරුන යන්ත්‍ර වගේ. ගිතිකා ගෙදර යන්න හුන් තැනින් නැඟිට්ටෙ මේ කතාවේ අවසානය තියෙන්නෙ තමාගේ අතේ බව මතක් කර ගනිමිනි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න