අපි හිතන්න ඕනා අපි ගැන විතරක් නෙවේ.
ජේසුතුමා කුරුසේ උස්සා ගෙන ගියේ මුළු මනුෂ්‍ය සංහතියම බේර ගන්නනෙ. පළා යාම දුර්වලයන්ට කරන්න පුළුවන් දේ. දුකට මුහුණ දෙන්න උත්සාහ කරන්න. එතකොට අපට දෙවියන්ට ළං වෙන්න පුළුවනි.
“නමෝමරියනී, ප්‍රිය ප්‍රසාද පූර්වන්තිනී,” පපුවට තද කර ගත් අත් දෙකෙහි ගුලි කර ගෙන හිටිය කොන්තය අල්ලෙ තද වෙනවා ජසින්තාට දැනුනෙවත් නැහැ.
“ජේසූන් වහන්සේගේ මවු තුමියනි, මට සමාව දෙන්න.” ඇය කොපුල් මතින් රූරා වැටෙන කඳුළු අතරින් මිමිණුවා. පල්ලියේ තිබුණෙ දැඩි නිහඬතාවයකි. පූජාව පටන් ගන්න පැයකට විතර කලින් ජසින්තා ආවේ පූජාවට එන අයට මුහුණ දෙන්න තරම් සිතේ සංසුන් බවක් නොතිබුණු හින්ද.
දේවස්ථානයේ මිදුල අතු ගාමින් සිටි හෙක්ටර් ජසින්තා දෙව් මැදුරට ඇතුල් වෙනවා දැක්කෙ නැහැ. පල්ලියට යාබද සොහොන් බිමට මල් පොකුරක් අරන් ආ වින්සන්ට් මහත්තයාගේ සම්පූර්ණ අවධානය යොමුවෙලා තිබුණෙ තම අභාවප්‍රාප්ත භාර්යාවගෙ සොහොන් කොත කොතරම් වල් වැදිලා ද කියනඑක ගැනයි. තමාගේ අබලන් සිරුරෙන් බිරිඳගේ සොහොන් කොත සුද්ධ කරන්න ශක්තියක් ඉල්ලන්න බැහැ කියලා ඔහු හොඳින් දැන හිටියා. ඇතුල් කාමරයක පල්ලියේ ස්වාමි සත්ප්‍රසාදයට කළමනා සූදානම් කරද්දි හෙක්ටර් දෙව් මැදුරට ඇතුළු වුනෙ ඇතුලත යමක් පිරිසිදු කරන්න අවශ්‍ය දැයි බලන්න.
බිරිඳගේ සොහොනේ මල් පොකුර තැබූ වින්සන්ට් මහතා බොහොම සීරුවෙන් කඳ කෙළින් කර ගත්තෙ සොහොන් කොත් අතරෙ වැටිලා සිමෙන්ති බදාමයක ඔළුව එහෙම වැදුනොත් කියල.
හෙක්ටර් බංකු පේලිය දිහා බැලුවේ පුංචි ළමයි දාලා ගිය ටොපි කොළ, කඩදාසි කෑලි එහෙම අතුගාද්දී මඟ හැරුනා ද හොයන්න. පූජාවට කලින් ඇවිත් යාඥා කරන අය දිහා බලන පුරුද්දක් හෙක්ටර්ට තිබුණෙ නැහැ. නත්තල ළං වෙනකොට පල්ලිය පැත්තෙ එන අය වැඩියි. සමහර බැතිමත්තු එන්නෙ ඉතින් නත්තල් කාලෙට විතරයිනෙ. ඒත් අද පල්ලිය ඇතුලෙ හිටියෙ ජසින්තා නෝනා විතරයි. ජසින්තා නෝනා හැඩකාරී. ඉස්කෝලෙ යන කාලේ යාළුවෙලා විවාහ වුනෙත් මේ පල්ලියෙමයි.
“මොකද හෙක්ටර්, ඔය දොර ළඟ කරකැවෙන්නෙ? මාත් එක්ක කතා කරන්න ඕන ද?”
දොර ළඟ ගැවසෙමින් හිටිය හෙක්ටර්ගෙන් පූජ්‍යවරයා ඇහුවෙ හෙක්ටර් සද්ද කර කර දොර ළඟින් එහාටයි මෙහාටයි ඇවිදපු නිසා.
“ස්වාමි… මේ… අනේ මන්ද…”
“හෙක්ටර්, මට ලෑස්ති කර ගන්න ගොඩක් කළමනා තියෙනවා අද පූජාවට. දැන් කියන්න බැරි නම් පූජාවෙන් පස්සෙ ඉඳලා කතා කර ගනිමු.”
“මං ගැන නෙමෙයි. අනුන්ගෙ දේවලට අත දානවට ස්වාමි කැමති නැති විත්තිය මම දන්නවා. ඒත්, අර ජසින්තා නෝනා පල්ලියෙ. මට ටිකක් බය හිතුනා ඒ නෝනගෙ මූණ දිහා බැලුවහම. කඳුළු කඩා හැලෙනවා. ඒත් නෝනාට ඒ වගක් වත් නැහැ. ටිකක් අමුතුයි කියල හිතුන.”
“පල්ලිය තියෙන්නෙ හෙක්ටර් සැපෙන් ඉන්න කෙනාට වගේම දුකින් ඉන්න කෙනාටත් ඇවිත් දෙවියන් වහන්සේ එක්ක කතා කරන්නයි.”
“ඒත් පොඩ්ඩක් ඔළුව දාලා බැලුවා නම් හොඳයිනෙ. ස්වාමි, ජසින්තා නෝනාට දැන් කාත් කවුරුත් නෑනේ.”
හෙක්ටර් පල්ලියට ඇතුළු වූ බව ජසින්තා දුටුවෙ නැහැ. ඔහු තමා වෙනුවෙන් ස්වාමිට කන්නලව් කරන බව ඇය දැන හිටියෙත් නැහැ.
ජසින්තා එකම දරුවා. එයාගෙ දෙමාපියන් රිය අනතුරකින් මිය ගිය දවසෙ ජගත් ඇය ළඟ සිටි නිසා ඒ වේදනාව උහුලගන්න ඇයට හැකි වුනා. ඒත් හමුදාවට බැඳුනු ජගත් සොයා ගන්නට බැරි පිරිස අතරට එකතු වෙලා දැන් වසර තුනකටත් ආසන්නයි. තවත් නත්තලක් තනියම ගෙවන්න ජසින්තාට ධෛර්යක් තිබුණෙ නැහැ. අද පූජාවට කලින් පල්ලියට ඇවිදින් ජසින්තා දෙවියන්ගෙන් සමාව ඉල්ලා යාඥා කළේ තව දුරටත් ජීවත් වෙන්න බැහැ කියලයි.
පූජාවට සහභාගී වන බැතිමතුන් පල්ලියට එන්න පෙර එයින් පිටවෙන්න ඕන කියල ජසින්තට හදිසියේම මතක් වුනා. තමා දකින දන්නා නොදන්නා හැම කෙනෙකුගේම දෑස් පිරි අනුකම්පාව තව දුරටත් ඉවසා ගත නොහැකි යැයි සිතූ ඇය කඩිමුඩියේම දණ ගසා හිටි තැනින් නැගිට්ටා ය.
පල්ලියේ ප්‍රතිමා අසලින් මෑත් වුනු ස්වාමිගේ රූපයත් ඔහුට පිටුපසින් ආ හෙක්ටර්ගේ ඡායාවත් ජසින්තා ඇහැ කොණකින් දැක්කා ය. කවුරුත් වචනයක් පිට නොකළත් ඒ දෙදෙනා එන්නෙ තමා හා කතා කරන්න යැයි ක්ෂණයකින් ජසින්තාගෙ සිතට වැටුණි. දෙවියන් හමුවේ ඇය සමුගෙන හමාරයි. තම අධිෂ්ඨානය වෙනස් කිරීම දෙවියන්ට බාර කළ ඇය බංකු පේළිය අතරින් දිව ගියේ පල්ලියෙන් හැකි ඉක්මණින් පළා යන්න.
වින්සන්ට් මහත්තයා සීරුවෙන් අඩිය තිය තියා දේවස්ථානයේ පඩි පෙළ නැග්ගෙත්, කඳුළු පිරි බොඳ වූ නෙත් වලින් ඉමක් කොණක් නොදැක පඩි පෙළින් ජසින්තා බැස්සෙත් එකම මොහොතෙ. දෙවියන්ගේ එක් පුතකු ජීවිතය ආරක්ෂා කර ගන්නට තැත් ගත්දී, දෙවියන්ගේ දියණියක ජීවිතය නැති කර ගන්නට සූදානම් වුව ද දෙවියන්ගේ කැමැත්ත වුනේ මේ දෙදෙනා මුණ ගස්සවන්න වෙන්නැති.
හෙක්ටර් පූජ්යවරයාට කළින් බිම වැතිර සිටි දෙදෙනා ළඟට කිට්ටු වුනේ ය.
“වින්සන්ට් මහත්තයෝ… ජසින්තා නෝනා…”
පූජ්‍යවරයා වින්සන්ට් මහතාට ළං වූයේ වයසක උන්දෑගේ ජීවිතය ගැන සැකයෙන්. ජසින්තාට ඇසිපිය හෙළනවාත් සමඟම සිහිය ආපහු ආවා. තමන් විසින් බිම හෙලු වයසක මනුස්සයා බිම සිහිසන් නැතිව සිටියදී එතැනින් දිව යන්නට ඇයට හැකියාවක් තිබුණෙ නැහැ.
“නාඩි නම් වැටෙනවා. හුස්මත් ගන්නවා. මේ වින්සන්ට් මහත්තයෝ…” හෙක්ටර් ඔහුව අවදි කරන්න උත්සාහ ගත්තේ ය.
“සිහිය නැතිව යන්නැති. ජසින්තා, ඔය ළමය ළඟ ඕඩිකොලොන් බෝතලයක් තියනව ද?”
“නැහැ ස්වාමි.”
“වින්සන්ට් මහත්තයාව මෙහෙම බිම තියන්න බැහැ. තව ටිකකින් පූජාවට කාණ්ඩෙ එන්න පටන් ගනීවි. අපි තුන් දෙනාට පුළුවන් වේවි ද බලමු මේ මහත්තයාව ඇතුලට අරන් යන්න.”
හෙක්ටර් වින්සන්ට් මහත්තයාගේ කකුල් දෙකෙන් උස්ස ගත්ත. පූජ්‍යවරයා ඔහුගෙ ඔළුවට යටින් අතක් දමා උරහිසේ එක් පැත්තකිනුත් ජසින්තා උරහිසේ අනෙක් පැත්තෙනුත් ඉස්සුවා. වයසක වින්සන්ට් මහතාගේ සිරුර එතරම් බරක් වුනේ නැහැ. පල්ලිය පිටුපස බංකුවක ඔහුව රඳවා ඕඩිකොලොන් සොයා ගෙන එන්නට පූජ්‍යවරයා ඇතුල් කුටියකට පා නැඟීය.
දුබල සිරුරකට හිමිකම් කිව්ව ද වින්සන්ට් මහතාගේ මුහුණින් සිරියාවන්ත බව දිස් වුනේ ජසින්තාගේ දෑස නැවතත් තෙත් කරමින්.
“අනේ පව්.” ජසින්තාට නිතැතින්ම කියැවුණා ය. ඔහුගේ මුහුණට වැටී තිබුණ කෙස් රොදක් ඇඟිලි තුඩින් ඉවත් කළ ජසින්තා ඔහුගේ රැළි වැටුන සිනිඳු අත තම අත් දෙකෙන් ම අල්ල ගත්තා ය.
“මං මිස්ට වින්සන්ට්ව තනි කරල යන්නෙ නෑ.”
හිමිහිට ඇස් ඇරිය වින්සන්ට් මහතා මුව අග නලියන හිනාවකුත් සමඟ ජසින්තා දිහා බැලුවා ය.
“මොකද මට වුනේ?”
කම්මුල් දිගේ බේරුන කඳුළු වැල් මෙවර කඩා වැටුනේ තමා වෙනුවෙන් නොවේ කියල තේරුම් ගන්න ජසින්තාට තත්පර කීපයක් ගත වෙන්න ඇති.
“නැඟිටින්න හදන්න එපා. ඔහොම ඉන්න ටිකක් වෙලා. ස්වාමියි හෙක්ටරුයි එයි දැන්.”
පූජාවට ආ අය පල්ලියට ඇතුළුවීමට කලින් බංකුව මත ඉඳ ගන්නට තරම් සුවයක් වින්සන්ට් මහතාට ලැබුණ. පූජාව කෙරී ගෙන යද්දි වින්සන්ට් මහත්තයා සිතුවේ තමා ළඟින් ම නොසෙල් වී සිටිනා රූමත් කාන්තාව දෙවියන් විසින් එවන ලද රැකවල් දේව දූතිකාවක් කියා ය.
“මේ ළමයා මාව බලා ගත්තට දෙවියන්ගේ ආශීර්වාදය ලැබෙන්න ඕන.”
“මිස්ට වින්සන්ට් වැටුණෙ මම කලබලේට දිව්ව නිසානෙ. වැරැද්ද මගෙ අතේ.”
“මම හැමෝම පල්ලියෙන් පිටවෙනකම් ඉන්නවා ගෙදර යන්න. නැත්නම් ආයෙත් ඇද වැටුනොත්. එහෙම හොඳා නේද?”
“මමත් ඉන්නම් මිස්ට වින්සන්ට්ගෙ තනියට. මම ඉන්නෙ පල්ලියට ගොඩක් කිට්ටුව.”
“මේ ජගත් මහත්තයාගෙ නෝනා නේද?”
“ඔව්, මිස්ට වින්සන්ට්.”
“එව්ලින් මාව දාලා ගියාම මට තවත් ඉඳල වැඩක් නැතෙයි කියල හිතුනෙ. අපි දෙන්නට දරු මල්ලො හිටියෙත් නෑනෙ. අපි බැඳපු අළුත දරුවෙක් ලැබෙන්න ඉන්දැද්දී එව්ලින් කුස්සියෙ ලිස්සලා වැටිලා දරු ගැබ නැති වුනා. පස්සෙ දරුවො හදන්න බැහැ කියල දොස්තරවරු අපිට කිව්ව. ළමයි නැති වුණාට අපි දෙන්න ගොඩාක් කාලයක් සතුටින් ගත කළා. ඒත් එව්ලින්ව දෙවියන් වහන්සේ කැඳව ගත්තම මම තනිවුනා. මගේ වෙලාව තවම ඇවිත් නැහැ වගේ.”
මහල්ලාගෙ මුහුණේ සිරියාවන්ත හිනාවක් පැතිරිලා.
“ජගත් ගැනත් කිසිම ආරංචියක් නැහැ. දැන් අවුරුදු තුනකටත් ළඟයි. මම මෙහෙම බලාගෙන තව කොච්චර කාලයක් දුක ඉවසන්න ද?”
“ඔය ළමය, ගමේ අපි, රටේ ආණ්ඩුව දන්නෙ නැති වුනාට දෙවියන් වහන්සේ දන්නවා ජගත් ළමය ඉන්න තැන. ඒක දෙවියන්ගෙ කැමැත්ත.”
“ඉතින් මම විඳින දුකත් දෙවියන්ගෙ කැමැත්ත ද?”
“අපි හිතන්න ඕනා අපි ගැන විතරක් නෙමේ. ජේසුතුමා එදා කුරුසේ උස්සාගෙන ගියේ මුළු මනුෂ්‍ය සංහතියම බේර ගන්නනෙ. පළායාම දුර්වලයන්ට කරන්න පුළුවන් දේ. දුකට මුහුණ දෙන්න උත්සාහ කරන්න. අපට දෙවියන්ට ළං වෙන්න පුළුවනි.”
“කොහොම ද වින්සන්ට් මහත්තයාට දැන්?”
“ආ… ස්වාමි, මම මේ ජසින්තා නෝනා එක්ක කිය කියා හිටියෙ එන හැම දෙයකටම මූණ දෙන්න ශක්තිය මට දෙවියන් වහන්සේ දීලා තියෙනවා කියල.”
“ජසින්තාට කරදරයක් නැත්නම් අද මිස්ට වින්සන්ට්ව ගෙදර එක්ක ගෙන ගියොත් හොඳයි. රෑට සමහර විට මොනවා හරි ඕන වුනොත් එහෙම ඉස්පිරිතාලෙට වුනත් ටෙලිෆෝන් කරන්න පුළුවනිනෙ.”
“මට දැන් හොඳයි ස්වාමි. මේ නෝනාට කරදර කරන්න ඕන නෑ.”
“යමු. යමු. වින්සන්ට් මහත්තයෝ. මාත් මේ ගෙදර යන්නෙ ඔය පාරෙන් ම තමා. ජසින්තා නෝනගෙ ගෙදර හොඳට ඉඩකඩ තියෙනවා. නෝනාට කරදරයක් වෙන එකක් නෑ. අපේ උන්දෑවත් මම රෑට එහෙ එවන්නම්කො. මොනා හරි තියෙන දෙයක් එයා කරල දෙයි නෝනා.”
“ඔව් මිස්ට වින්සන්ට්. හෙක්ටර් ඒ පැත්තෙන් යන එකේ අපේ ගෙදර යමු. පාළුව මැකෙන්න අපි දෙන්නට කතා කර කර ඉන්න පුළුවන්නෙ.”
මෙය 1999 දෙසැම්බර් 13 වෙනිදා නවලිය පත්‍රයේ පළවුණි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න