Sinhala story Blog

ජූනි 1, 2010

බ්‍යාමප්‍රභාව 4.31 නිර්මල අත්දැකීමෙන් පස්සෙ බාල ඒවා බාරගන්න බෑනේ මමී 4.32 -එදාටත් වඩා දැකුම්කළු බ්‍යාමප්‍රභාවය

Filed under: Uncategorized — sinhalashortstories @ 9:56 ප.ව.

4.31 නිර්මල අත්දැකීමෙන් පස්සෙ බාල ඒවා බාරගන්න බෑනේ මමී

හිම කුණාටුවක් කඩා වැටෙන බව නොනැවතීම ගුවන් විදුලියේ ප්‍රචාරය වෙයි. හිමෙන් පිරෙන පාරවල් වලින් ඉවත්ව ගෙදර දොර කරා වහාම යන්නැයි සියළු නිලතල දරන්නෝ ගමන් මාර්ගවල රැඳී ඉන්නා වැසියන්ගෙන් ඉල්ලති. සුපර් මාකට් වල පාන් හා මස් මාළු ඉතා වේගයෙන් හිස් වන බව ඒ ඒ තැන් වල සිට ප්‍රචාරය කරන මාධ්‍යවේදීන් කාලගුණ තත්වයේ බරපතල බවෙන් අමුතු උද්‍යෝගයක් ලබා ඇති බවක් පෙන්වති.

අහස අඳුරුය. තමා පදවාගෙන යන වාහනය උණුසුම් කරන හීටරය නොනැවතී වැඩ කරයි. ගත දවටා ඇති වූල් කලිසමෙත් ඇඟලා සිටින කමිස දෙකත් හා ජර්සියත් අතරෙන් සීතලක් ඇඟට නොදැනුන ද පිටත දර්ශනය හිත ඇතුලේ සීතල ගැන ඇති සැකය අඩු නොකරයි.

වාහනයේ පිටුපස ළදරු ආසනයේ රඳවා ඇති දියණියගේ ඔළුව නිදිමතේ වැනෙයි. ඇය ඇස් ඇරගෙන ඉන්නට වෑයම් දරන්නීය. දවස පුරා ළදරු පාසැලේ කාලය ගත කරන හරිනි සරදා ඊට එන සෑම දරුවෙකු සමඟම සෙල්ලමට කැමතිය. සති අන්තය පාති සහ අප්පප්පා සමඟ ගෙවන්නට සඳුදා දිනයේ සිටම හරිනි සරදා ලක ලැහැස්තිය. දෙමාපියන් එනතුරු බලා සිටි තමාගේ අනාථ ළමා කාලය හසන්තිට සිහිවිය. සැමියා නැති ඇයට අද දැඩි ලෙන්ගතුවෙන් ඉන්නා දෙමාපියන් ලැබී ඇත.

ප්‍රාර්ථනා කරන්නෙ මොනවට දැයි ප්‍රවේශම් විය යුතු ද?

දවස් කිහිපයක් හිම කුණාටුව පැවැත්වෙන හෙයින් කඩ සාප්පු වසා දැමුවොත් කන්න බොන්න ඇති තරම් නිශ්චය කරන්නේ කෙසේද යන්න ගැන ලොකු සාකච්ඡාවක් වාහනයේ ගුවන් විදුලියෙන් ඇසෙයි. විදුලි බලය ඇණ හිටියොත් උයන්නේ නැතුව කෑමට ගත හැකි දේවල් ගැන ඔවුන් වාද කරති.

“බිත්තරයක් සැමන් මාළු ටින් එකකට දාලා ඉටිපන්දමක් උඩ තියන් උයන හැටි අපි මේ වෙළඳ නිවේදනයන්ට පසුව කියා දෙන්නම්.”

ඉවීම පිහීම කෙසේ වෙතත් විදුලි බලය නැති වුනොත් සීතලේ ගැහිල මැරෙන්නයි වෙන්නේ යන්න රියැදුරු ආසනයේ සිට ඇය සිතුවාය. කෑම සේරමත් එතකොට අයිස් පෙට්ටියෙ දැම්මා වගේ මිදෙයි. සීතලට කුටි ගැසුන හයිය පාන් පෙත්තක් ඇය සිතේ මැවී පෙනුනි.

සාමාන්‍යයෙන් ගෙදරට අවශ්යෙ කළමනා ගෙනෙන්නේ සෙනසුරාදාටය. ආහාර අඩු පාඩු සිතින් කල්පනා කළ ද හදිසි යමක් හිතට ආවේ නැත. උවමනා දැයක් මතක් වුවත් දැන් ඇස් පියවී නින්දට බැස ඉන්නා දියණිය ළදරු ආසනයෙන් ඉවත් කර කඩිමුඩියේ බඩු ගන්න දුවන්න නොහැකිය. පිටුපස බලන කණ්ණාඩියෙන් දියණිය ඇඟිල්ලක් කටේ රුවා ගෙන අනෙක් අතෙන් කණක් වසා ගෙන තද නින්දේ ඉන්නා ආකාරය පෙණින.

“විදුලි බලය නැති වුනොත් ජෙනරේටයක් හෝ වෙනත් නිවහන උණුසුම් කරන්න මාධ්‍යයක් නැතිනම් ගත යුතු පියවර ඊ ළඟට.”

විරාමයක් ගන්නා නිවේදකයා නැවතත් වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරයි.

“බිත්තරය උයන හැටි ඇහුනෙත් නැහැ.” ඇය තමාටම කියා ගත්තාය.

හැමදාම ඇහෙන වෙළඳ දැන්වීම් එක එල්ලේ ගලා ගෙන යයි.

“සැමන් ටින් එකේ මාළු රහ බිත්තර එක්ක කොහොම වෙයිද දන්නෑ.”
ඇය මැතිරීය.

“හීතලට රස්නෙ දෙන්න වෙන ආම්පන්න කිසිවක් නැත්නම් කරන්න තියෙන්නෙ ඇඟේ තියෙන රස්නය රැක ගන්න සිරුරු ළං කරලා තියාගන්න එකයි.”

නිවේදකයා හා නිවේදිකාව සිනහ වෙවී පවසති.

“තව මාස නවයකින් අපේ ජනගහණය වැඩි වෙයි ද? අපට කතා කර ඔබේ අදහස කියන්න.”

ඔවුන් අසන්නන් වෙත ප්‍රශ්නය ඉදිරිපත් කර තවත් විවේකයක් ගත්හ. අසන්නන්ගේ කතා බහ අහන්නට අකමැති ඇය රේඩියෝව වසා දැමුවාය.

ප්‍රශ්න මැදින් ඉදිරියට යන්න කවදත් සිද්ධ වෙලා තිබුන හින්ද හදිසි අවස්ථාවක කලබල නුවුනත් ජීවිතයේ නුපුරුදු බාධක ගොඩකට මුහුණ දීම තමන්ට දැන් හුරු පුරුදු යයි ඇය සිතුවාය. අතීතයක දී තමා ගත් තීරණ බලපෑවේ තම ජීවිතයට පමණි. එහෙත් දැන් දියණියගේ අනාගතය ඇත්තේ තමා අතේය.

සීතල පරිසරයත්, නිහඬව ඇදෙනා වාහනයත්, තමා එනතෙක් බලාගෙන ඉන්නා කිසිවකු නැති නිවහනත් ඇය සිත සසල කළේ නැත. ඉන් ඇයට දැනුනේ සහනදායී සාමකාමී මානසික තත්වයකි. උපන් රටෙන් බැහැර නාඳුනන ජනතාවක් ඉන්නා නොදන්නා දේශයක කාලය ගෙව්ව ද කවදත් තනිවම සියල්ලටම මුහුණ දුන් ඇයට ඉදිරි අනාගතය ද අමුතු අභියෝගයක් නොවන බව විශ්වාසය. අද ඇගේ සහයට රමේෂ්ගේ දෙමාපියෝ දෙදෙනාම එක පයින් ඉදිරිපත්ය. ඉඳහිටක මිස නිතර ඔවුන්ගේ උදව් නොසොයන්නේ ඇයගේ කැමැත්ත පරිදිය.

ඉමක් නොපෙනෙන අහසෙන් ලතාවකට වැටෙනා පුළුන් පොදවල් සේ හිම නොනැවතී පාවී පරිසරය වෙලා ගනියි. නිවස ඉදිරිපිට ගරාජයේ වාහනය නතර කර පසු ඇය දියණිය නින්දේ සිටිය දී ම එන්ජිම නතර කළාය. සිය පොත් පත් සහ අත් බෑගය දියණියගේ ළදරු ආසනය අසලින් තබා ඇය වාහනයේ දොර ඇරියේ සීතල සුළඟෙන් දරුවා අවදි වෙයි බව දැන දැනමය. වාහනයේ ඉදිරිපස ඇති එන්ජිම රත් කර තබනු පිණිස ඇති විශේෂ උපකරණයට වයර් සවිකර වහාම ඇය ඇහැරී හඬන්නට පෙර දියණිය නිවස තුලට ගෙන ගියාය.

සිහින් හඬෙන් දුරතකනය නාද වෙයි. සිය සැමියා ඔත්පලව ඉන්නා කාලයේ දී හඬ අඩු කළ දුරතකනය අදත් නාද වෙන්නේ එසේමය.

“හලෝ…”

“ගෙදර ආව ද බලන්න කතා කළේ…”

“දැන් තමයි ආවේ මමී.”

“දරුවා නිදි ඇති.”

“ඔව් මමී නිදිමතේම නාන කාමරයටත් ගියා. ඇස් පියාගෙනම ඒ වැඩෙත් කරල නිදි ඇඳුම් වලට මාරු කරල ඇඳට දැම්ම. දැන් හොඳටම නිදි. හෙට සේරම වැහුවොත් මමත් ගෙදර ඉන්නවා. එයාට එතකොට දවල් වෙනකන් හොඳට නිදා ගන්න ඇහැකි.”

“අප්පා හිටියා නම් ඔහොම හැමදාම අරන් යන්න….”

“මමී…. අපි…”

“ඔව්.. ඔව්.. මට සමාවෙන්න….”

“මම අඩුවක් කරන්නේ නෑ මමී.”

“මම දන්නවා දුව මම දන්නවා. ඒත් මේ වගෙ දවසක ගෙදරක පිරිමියෙක් ඉන්න ඕනනෙ.”

“නිර්මල අත්දැකීමෙන් පස්සෙ බාල ඒවා බාරගන්න බෑනේ මමී.”

බවලතා සෙමෙන් ඉකිබිඳිනා හඬ දුරකතනය විසන්ධි වන්නට මත්තෙන් ඇයට ඇසුණි. සිය පුතණ්ඩියගේ වැන්දඹුව ඔහුගේ ගුණ වයද්දී දරුවා වෙනුවෙන් නැවතත් විවාහ වන්නට කියා ඇයට බල කරන්නට හැකියාවක් ඇත්තේ කොයි නැන්දම්මාට ද?

4.32 -එදාටත් වඩා දැකුම්කළු බ්‍යාමප්‍රභාවය

සුදු පැහැති හමර් ලිමෝසීන් රථයේ වසන ලද ආකාස කවුළු තුලින් නිල් පැහැති අහසත් එහි පාවෙන පුළුන් පොද මෙන් වූ සුදු වළාකුළුත් පෙනෙයි. තිස් දෙනෙකුට සුව පහසු ලෙසින් වාඩි වී යන්නට කළු පැහැති සුඛෝපභෝගී ආසන ද, කළු දොරකින් සොයාගත නොහැකි ලෙස සැඟවුනු කුඩා සීතකරණයක් හා දණහිස දක්වා පමණක් උසැති කළුවර ලීයෙන් වූ මේස ‍හතරක් ද වූ වාහනයේ ඇතුලත ඇත්තේ සිතාගත නොහැකි තරම් මහත් ඉඩකඩකි.

සාගර තමා රැකියාව කරන එංගලන්ත මෝටර් ක්ලබ් එකෙන් මේ වාහනය ගෙනෙන ලද්දේ සංජීවනී ෆ්ලෝරියාන් හා අතිනත ගන්නා අද දිනය වෙනුවෙනි.

රුක්ෂානිගේ ලන්ඩන් නිවහන දවස් කිහිපයක සිට අමුත්තෝ එකතු වන කේන්ද්‍රස්ථානය බවට පත්වුනි. කැනඩාවේ සිට ලංකාව බලා යන හසන්ති ඇයගේ දියණියත් සමඟ මුලින්ම රුක්ෂානිගේ නිවහනට ගොඩවැදි අමුත්තන් වූහ.

ඊ ළඟට සමන්ත හා හාවඩ් බලා යන ප්‍රීනි ඔවුන්ගේ නිවුන් දරුවන් දෙදෙනා ද සමඟින් සංජීවනී හා ෆ්ලෝරියාන්ගේ එකතුවීමට ආසිරි පතන්නට රුක්ෂානිගේ නිවහනේ නැවතුනහ.

යෙහෙළියන් හතරදෙනාගේ කිචිබිචිය මැද කණක් ඇහී ඉන්නට නොහැකි යයි බොරුවට අමනාප මුහුණු පෙන්නා සාගරත්, සමන්තත් ෆ්ලෝරියාන් ද කැඳවාගෙන හැකි තරම් ගෙදරින් පිටත කාලය ගෙව්වේ කෙල්ලන්ගේ කතාබහට ඉඩදෙනු පිණිසය.

ෆ්ලෝරියාන්ගේ පවුලේ අය සංජීවනී කැඳවාගෙන මහ නිවසට එනතෙක් උත්සව පවත්වන්නට බලා සිටිති. අද දිනයේ ලන්ඩනයේ ලියාපදිංචි කරන කසාදය නීතිමය උවමනාවක් පිරිමසන අවස්ථාවක් පමණක් යයි ඔවුන් සිතූහ. ඔවුන් කිසිවෙක්ව ගෙන්නා ගන්නට ෆ්ලෝරියාන් ද අකමැති වූයේ විශාල පවුලක් එක දිනක දී එකතු කරගන්නට තවත් කාලයක් කසාදය කල් දමන්නට වේ යැයි බියෙනි.

පර්සි ඉඹුලාන දික්කසාදයට කරදරයක් නැතුව අත්සන් තැබුවා යයි සංජීවනී සිතයි. රුක්ෂානි තමා ගත් පියවර නිසා ඔහු බිය වී තම යෙහෙළියට දික්කසාදය දුන්නා යයි සිතයි. ෆ්ලෝරියාන් සංජීවනීට දික්කසාදය ලැබුණේ ඔහු පර්සිට දුන් අල්ලස නිසා යයි සිතා සතුටු වෙයි. එහෙත් ඔවුන් සියල්ලෝටම නොකියා සංජීවනී වෙනුවෙන් දික්කසාදය ලබාගත්තේ සංජීවනීගේ මව විසිනි.

ඇය ලන්ඩනයට පැමිණ සංජීවනී හමු වී ඇයගේ ආ ගිය තොරතුරු දැනගත් දා ඇති වූ මහත් කෝපය මුහුණින් නොපෙන්වුවත් පසු දිනයක ඇය පර්සිගේ දෙමාපියන් හමුවන්නට තනිවම ගියාය. සංජීවනීගේ දෑවැද්දට කොපමණ වස්තුවක් තෑගි කළේද යන්න පර්සිගේ දෙමාපියන් සේම ඇය ද දැන සිටියේය.

ඇයගේ පළමු සැමියා මරුමුවට පත්වුනේ ලෝකයට මුහුණ දෙන්නට කිසිම සැලසුමක් නොකර ඇයව තනිකර දමාය. දෙවැනි සැමියා ද තමාට තනිවම මහළු කාලය ගෙවන්නට සූදානමකට ඉඩ පාදා නොදී තමා හැර ගියා යයි සංජීවනීගේ මවට කේන්තිය.

අද සංජීවනීගේ මවට මව්පිය උරුමයෙන් හා දෙවන සැමියාගෙන් ලැබුණු මහත් ධනයකි. කැමති පරිද්දෙන් කිසිවක් කරන්නට ඉඩක් නොමැති ලෝකයක හැදී වැඩී ජීවිතයෙන් වැඩි කාලය ගෙවූ ඇයට අද තමා කැමති පරිදි සිය එකම දරුවාගේ යහපත පිණිස වැලහින්නියක් සේ එළව එළවා පහර දෙන්නට සිතේ හයියක් ඇත.

වන්දි ඉල්ලා නඩු කියන්නට තමා සූදානම් බව ඇය ඔවුන් ඉදිරියේ කියා සිටියේ සිත ඇතුලත බියෙන් වෙව්ලද්දීය. ජීවිත කාලයක් සිත තුල තෙරපෙන හැඟීම් වසන් කරන්නට පුහුණුව ලබා සිටි ඇය තුලින් බියක් පිටතින් නොදැක්ක ඉඹුලාන දෙමහල්ලන් තම පුතාගේ දික්කසාදය ඉක්මණින්ම ඉටු කරදෙන්නට එකඟ වූහ.

තනිවම නඟින්නට වෑයම් කළ හරිනි සරදාව උස්සා වාහනයට ඇතුල් කළේ හසන්තිය. අයියාව වඩාගත් සමන්තත්, මල්ලීව වඩාගත් ප්‍රීනිත් අනතුරුව වාහනයට ගොඩ වූහ. සංජීවනී හා රුක්ෂානි සුවඳ හමන විලවුන් වාහනයේ පතුරවා හරිමින් වාහනයේ හැම තැන ඇවිදින හරිනි සරදාව අල්ලන්නට යයි බොරුවට තැත් දැරූහ. නිල ඇඳුමින් වූ රියැදුරාට වචනයක් දොඩා වාහනයේ දොරවල් වහන්නට ඔහුට ඉඩ දී සාගර හමර් ලිමෝසීනයට ගොඩවිය.

අතරමඟ ඔවුන් සංජීවනීගේ මව නැවතී සිටි නිවසෙන් ඇයවත් වාහනයට නංවා ගත්හ. කතාබහට සවන් දුන් ඇය උතුරා ගිය ප්‍රීතියෙන් සංජීවනී හා ඇයගේ යහළු යෙහෙළියන් දිහා බලා සිටියා මිසක කතාබහට සම්බන්ධ නොවූවාය.

“දැන් ප්‍රීනි ඇමෙරිකා ගියාම ඔයාගෙ ගෙයි නඩුවට මොකද වෙන්නෙ?” සංජීවනී ඇසුවේ හසන්තිගෙන්.

“උත්පලායි වත්සලායි සුනාමියෙන් වෙච්ච විනාසේ දැකලා නඩුව ඉල්ලා අස්කර ගත්තනෙ.” උත්තර දෙන්නෙ හසන්ති නෙමේ ඇය වෙනුවෙන් පෙනී සිටි ප්‍රීනි.

“මං මේ සැරේ ලංකාවට යන්නෙ ගේ පොඩි මැණිකාටයි එයාගෙ බැංකුවෙ මහත්තයාටයි ලියල දෙන්න.” හසන්ති අළුත් තොරතුරක් එකතු කරන්නීය.

වජිරාගේ නිවහනෙන් ඇයත් සැමියාවත්, මංජුලාගේ නිවහනෙන් ඇයත් ඇගේ සැමියාවත් වාහනයට නංවාගත් පසු ඔවුන් සොයා ගියේ ෆ්ලෝරියාන්වයි.

“එයාවත් එක්කන්ම යන එක හරිද?” වජිරා අසයි.

“එයා නැතුව කාවද මෙයාට බන්ඳලා දෙන්නෙ?” රුක්ෂානි වජිරාගෙන් අසයි.

“මෙයා අහන්නෙ අත්සන් කරන්න කළින් දැක්කම කමක් නැද්ද කියලයි.” සංජීවනී සැවොම දන්නක් පහදන්නට අනවශ්‍ය උත්සාහයක.

“අයියෝ, ඔයා තාම ෆ්ලෝරියාන්ව දැකලා නැද්ද?” සාගර ඇහැව්වේ වාහනයේ උන් හැමෝගේම හිනහව මැද්දෙ. වැඩියෙන්ම මූණ රතුවුනේ සංජීවනීගේ අම්මිගෙ.

උත්සවයක ශ්‍රියාව ගත්ත ද චාරිත්‍රානුකූලව ඔවුන් අතින් ඉටු වූ එකම දෙයක් වත් නැත. විවාහ ලියාපදිංචි කරන කාර්යාලයේ නීතිමය වශයෙන් කසාදය ලියා අත්සන් තැබීම සංජීවනී හා ෆ්ලෝරියාන් සිදු කළහ. සාක්කි සඳහා අත්සන් ගහන්නට පිරිසෙන් කෙනෙක් තෝරා ගන්නට කෝටු නැති නිසා බීම පානයට ඇති ස්ට්‍රෝ අදින්නට ෆ්ලෝරියාන් යෝජනා කළේය. අනතුරුව ඔවුන් ෆ්ලෝරියාන් හා සංජීවනී ගිය මුල්ම අවන්හලට ගොස් දිවා ආහාරය ගත්හ. ජීවිතයේ ප්‍රථම වතාවට සංජීවනීගේ අම්මා තනිවම තමන්ගේ ආහාර වේල තීරණය කර ඉල්ලුම් කළාය. ස්පොටඩ් ඩික් අතුරුපස සඳහා ඉල්ලන්නටැයි ෆ්ලෝරියාන් සියල්ලන්ටම ආරාධනා කළේය.

විහිළු තහළු වලින් පිරි මේසය වටා අනේක කාරණා මුල් කරගෙන සව්දිය පුරන්නට වීදුරු කිහිප වතාවක් එසවුනි. ඔවුන් අතරින් වෙන් වී ගිය රමේෂ්ගේ මතකයටත් ඔවුන් තම තමන්ගේ වීදුරු උස්සා ආශීර්වාද කළහ.

“මතක ද ඒයි අපේ ශේක්ස්පියර් නාට්‍ය උළෙල?” වජිරා අහනවා.

“අපි නාට්‍ය ඉවරවුනාම වේදිකාවේ මැද වාඩිවෙල නැඟිටින්නෙ නැතුව හිටිය සතුට වැඩිකමට.” සංජීවනී ෆ්ලෝරියාන්ට විස්තර කරදෙයි.

“මතක ද සංජීවනී ක්‍රීඩා දිනයේ පළමුවැනි තැන දිනාගත්තු දවස?” මංජුලා අහනවා.

“මේ ගොල්ල තුන්දෙනාම මාව හොඳට ඇන්ඳුව ඒ දවස්වල දුවන්න බැරි අය වගේ.” ප්‍රීනි හදපිරි සෙනෙහසින් කියයි.

“අපි හතරදෙනාම දිනුවනෙ එදා.” රුක්ෂානි කියන්නීය.

“අද අපේ බ්‍යාමප්‍රභාව කොහොම ද දන්නෑ?” සංජීවනී අසයි.

ඔවුන් හට වූ බ්‍යාමප්‍රභාවේ අගය කියූ කුසුම් ගුරුවරිය මතක් කර ඇයටත් සැවොම එකතුව සව්දිය පිරූහ.

“අද අපිට යෙහෙළියෝ විතරක් නෙමේ යහළුවොත් එකතුයි. දරුවොත් එකතුයි. සංජීවනීගේ අම්මත් එකතුයි. අද අපි හැමෝටම එදාටත් වඩා දැකුම්කළු බ්‍යාමප්‍රභාවක් ඇති.”

හසන්ති එසේ කියද්දී හැමෝම තම තමන්ගේ වීදුරු නැවතත් එසැවූයේ සාමූහිකව බැබළෙන්නා වූ බ්‍යාමප්‍රභාවටත් සව්දිය පුරන්නටය. අවසානයේ සව්දිය පුරන චාරිත්‍රයට මූලික වූ බ්‍රිතාන්‍යයේ මහරැජිනටත් සව්දිය පුරන්නට සැවොම අමතක නොකළහ.

Advertisements

ප්‍රතිචාර 9 »

  1. මට කතාවෙ ගොඩක් හරිය මිස් වෙලා හීමීට ටික ටික කියවගෙන එන්නෙ. නිතරම කමෙන්ට් නොකලට දිගටම කියවනව.

    ප්‍රතිචාර විසින් isimbuwa — ජූනි 1, 2010 @ 10:30 ප.ව.

    • isimbuwa, ස්තූතියි කියවන්න එනවාට. කමෙන්ට් දමන්නෙ නැහැ කියවන වැඩි දෙනා! කතාව ලියපු මම ලියන එකෙන් සතුටක් ලැබුවා සේ කියවන ඔබත් කියවා රස විඳිනවා නම් ඒ ඇති. දකුණත ඉහළ පටුන වෙත ගිහින් මුල ඉඳලා මිස් වෙච්ච හරිය කියවන්නකෝ.

      ප්‍රතිචාර විසින් sinhalashortstories — ජූනි 2, 2010 @ 6:09 පෙ.ව.

  2. අපිත් එහෙමයි

    ප්‍රතිචාර විසින් නාමල් රාජපක්ෂ — ජූනි 2, 2010 @ 3:14 පෙ.ව.

  3. මේ වගේ ලස්සන කතාවක් රසවිදින්න සැලැස්සුව ඔබට බොහොම ස්තුතියි…

    ප්‍රතිචාර විසින් lankika — ජූනි 3, 2010 @ 10:20 පෙ.ව.

  4. asaneepa welaa idala dawas 5kata passe ada tamai saneepa une . . . onna okkotama kalin mage asama kataawa baluwa. . . kamak naha iwara wunu vidiha hodai . . ramesh marunu eka dukai tamai eth . . api hamoma kawada hari marenawane . .ay api maranayata ea taram baya wenne . . maranaya pilikul karanne . . ..
    bohoma sthoothiyi aruni . . .

    ප්‍රතිචාර විසින් දුකා — ජූනි 9, 2010 @ 1:19 ප.ව.

  5. ලස්සනයි කතාව.අරුනිගෙ බ්ලොග් වලින්ම කියවල තියන අරුනිගෙ කතාව මම මෙතන දකිනව. 🙂

    ප්‍රතිචාර විසින් samantha — ජූලි 17, 2010 @ 5:26 පෙ.ව.

    • samantha, අපි හැම අයෙක්ම ලියන්නෙ දන්න කියන පසුබිමින්. එහෙම බැලුවම සමානකම් පෙනෙනවා. නමුත් “අරුණිගෙ කතාව” දකින්නෙ “බ්ලොග් වලින්ම කියවල තියන” ටිකෙන් නිසා පමණක් නම් ලියලා නැති හරිය ගැන දන්නැතුව “අරුණිගෙ කතාව” අනුමාන කරන්නත් ඉක්මන් වන්න එපා!!

      ප්‍රතිචාර විසින් sinhalashortstories — ජූලි 18, 2010 @ 10:32 ප.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: