ඉස්තෝප්පුවේ හාන්සි පුටුවක පත්තර කියවන ගමන් නින්දට වැටී සිටි වික්රම පරකඩුවට නිවසේ ගේට්ටුව ළඟ ටැක්සියක් නතර වෙනවා ඇසී ඇහැරුණි.
“සමන්ත පුතා?”
කරේ එල්ලා ගත් බෑගයකුත් සමඟ කලිසම් සාක්කුවල අත් බහාගෙන පඩි නැඟ ඉස්තෝප්පුවට ගොඩවුනු සමන්ත මොහොතක් කිසිත් කරකියා ගත නොහැකි අයෙකු සේ හිටගෙන සිට අනතුරුව බෑගය උනා පුටුවක් මත තබා තම මාමණ්ඩිය වෙත ගොස් දණ ගසා වැන්දේය.
“හදිසියෙන්ම ආපහු ආවේ? ගෙදර අයට කරදරයක්වත් ද?” මාමණ්ඩිය අසුනෙන් නැඟිටගෙන.
“නෑ නෑ ගෙදර කාටවත් කරදරයක් නෑ.” සමන්ත ගේ ඇතුලට ගෙනියන්න ටැක්සි රියැදුරා ඉස්තෝප්පුවට ගෙනා සූට්කේස් දෙක උස්ස ගත්ත.
“සුදු දුව ගිහින් උසාවි. අද නඩු දෙකකට ඉන්න නිසා දවල් කෑමටත් එන එකක් නෑ.”
වික්රම පරකඩුව ඉස්තෝප්පුවෙන් නික්ම යන සමන්තගේ රුවට කියා ඔහු පිටුපසින් ගියේ බිරිඳ සොයනු පිණිසය. සමන්ත හදිසියේම ආවේ ඇයි?
“සමන්ත ඇවිදින්.” මුළුතැන්ගෙට ඉතා කලාතුරකින් අඩිය තියන වික්රම පරකඩුව දොරෙන් හිස පමණක් ඇතුල් කර සිය බිරිඳ අමතයි.
“හදිසියක් ද?” රානී පරකඩුව සිය සැමියා විමසමින් කුස්සියෙන් එළියට පැමිණෙයි.
“පැය විසිහතරක් එන ගමන නොකියාම ආවාට එහෙම හදිස්සියක් නැහැයි කියන්නෙ. සුදු දුව මුකුත් කිව්වද?” ඔහු හඬ බාල කර බිරිඳගෙන් අසයි.
ඇයට කිසිත් කියන්නට ඉඩක් නොලැබුණි.
“අප්පච්චි, මං ප්රීනිව බලන්න යනවා. අපි එනකොට පරක්කු වෙයි.”
ඔහු දරුවන් දෙදෙනාව ද කර පින්නා ගෙනය. පසුදින රැයේ එතරම් නින්දක් නොලැබූ නිවුන් අයියා මල්ලි සමන්තගේ තුරුලේ තද නින්දේය.
“මේ දෙන්නත් අරගෙන යන්නෙ? ඊයේ රෑ හරියකට නින්දක් නෑ.” රානී කියයි.
“සමන්ත, දරුවන්ගෙ බෑග් එකක් තියනවා නැපී එහෙම තියන. ඒකෙම කිරි බෝතල් එහෙම දාගෙන යන්න.” වික්රම පරකඩුව කියයි.
“කිරි බෝතල්?” සමන්ත ඇහුවෙ දරුවෝ තවමත් කිරි බොනවයි කියල නොහිතපු නිසා.
“ඔව්. තාම කිරි බොනවා දෙන්නම. ඉන්න මං හදලා දාන්නම් බෝතල් දෙකක්.” රානී හැරුනා ආපහු කුස්සිය පැත්තට.
“රානී, අර ටැක්සි ඩ්රැයිවර්ටත් තේකක් හදලා යවන්න. ඉන්න සමන්ත මං අර නැපී මල්ල හොයලා දෙන්න. රානී, මෙයාල ටැක්සියෙ යන නිසා අර ගරාජ් එකේ තියන බේබි සීට් වලට අයියා මල්ලි දැම්මොත් හොඳයි නේද?” වික්රම පරකඩුව දැන් හොඳ අවදියෙන්.
සමන්ත දරුවො දෙන්න එක්කම පුටුවක වාඩිවුනා. කොල්ලො දෙන්න පොඩි වුනාට සෑහෙන්න බරයි. ටැක්සි රියැදුරා ගිහින් වායු සමනය කරන ලද වාහනේ ඇතුලෙ. ටැක්සියේ එන්ජිම තවමත් වැඩ කරයි. ඉක්මණින් තවත් ගමනක් යන්න තියෙනවා කියල සමන්ත ටැක්සිය රඳවාගත්තෙ ප්රීනිගෙ දෙමාපියෝ එක්ක කතාබහෙන් ගැලවෙන්නත් එක්ක. සමන්තගේ සිරුරේ තුරුලට වූ දරුවෝ ගුලි ගැහී නිදති. ඔහු දෙදෙනාගේම ඝනට හිසකෙස් වැවුන ඔළු දැනෙන නොදැනෙන සේ සිපගත්තේය.
මාලි තේ කෝප්පයක් ගිහින් දුන්නා රියැදුරාට. ප්රීනිගෙ අප්පච්චි සිය බිරිඳ රැගෙන ආ කිරි බෝතල් දෙක නැපී කිහිපයක් වූ මල්ලට දැම්මෙ මාලි ගෙයි පිටිපස්ස පැත්තට සමන්ත දිහා පුදුමයෙන් බල බලා යනකොට. බේබි සීට් එකට අයියා මල්ලි දා ගන්න සමන්තට උදව් කළේ ප්රීනිගෙ අම්මා.
“ප්රීනි කතා කළොත් මං එනකම් ඉන්න කියන්න.” සමන්ත එසේ පවසා අයියා රැගත් ළදරු ආසනය වාහනයේ පිටුපස අසුනේ රඳවයි.
“පුතා නැපී මාරු කරන්න දන්නවා ද?” වික්රම අසයි.
“අපි ආපහු එන්න ටිකක් පරක්කු වෙයි.” සමන්ත ඇහුව ප්රශ්නෙට පිළිතුරක් නොදී කිව්වෙ මල්ලිව රැගත් ළදරු ආසනය පිටුපස අසුනෙ අනිත් පැත්තෙ රඳවන ගමන්.
“කිරි බෝතල් තියන මල්ල ටැක්සියේ අමතක කරලා බහින්න එපා.” රියැදුරා සමඟ ඉදිරිපස අසුනේ වාඩි වූ සමන්ත වාහනයේ දොර වහද්දී රානී ඔහුට අවවාද කරයි.
ප්රතිචාරයක් ලබාදෙන්න