Sinhala story Blog

මැයි 21, 2010

බ්‍යාමප්‍රභාව 4.25 -හොඳ අයට නරක දේ වෙන්නෙ ඇයි?

Filed under: Uncategorized — sinhalashortstories @ 9:00 පෙ.ව.

රුක්ෂානි ‍ෆැන්ටෑස්ටික් ගේම්ස් කොම්පැණියේ සියළු අංශයක්ම පිටත වූ දැනුමැතියන් වෙත කොන්ත්‍රාන්තු දී කරවා ගන්නීය.

ගණකාධිකරණය, බදු ගෙවීම හා නිතිමය කටයුතු සඳහා වූ විශිෂ්ඨතම සේවාවක් ලබා ගන්නටත් එසේම ඔවුන්ට දෙන විශ්‍රාම වැටුප් හෝ බෝනස් දීමනා ගැන වද නොවී සිටින්නටත් ඇයට හැකිය. ඉටු කරදෙන එක් එක් වැඩයට යන වැය ඇය අන්තිම පැන්සයට දකියි. හැඟවුනු වියදම් ඇයට නැත. කොම්පැණියට බිල්ඩිමක් නැති නිසා විදුලි බිල්, වතුර බිල් මෙන්ම වැසිකිලි සෝදන්නට ගෙවීම හා වැසිකිලියේ තබන කඩදාසි ගන්නට යන මුදල් වැනි වියදම් ද සහමුලින් ඇය ඉවත් කර ගත්තිය. පදිංචි නිවසේ කාර්යාලය ඇති හෙයින් නිවසේ වියදම් වලින් කොටසක් ඇය බදු නිලධාරීන්ගේ අනුදැනුම අනුව කොම්පැණියේ වැයට ඇතුල් කරන්නීය.

සාගර ගෙට ගොඩ වෙද්දී රුක්ෂානිගේ කාර්යාල කාමරයෙන් ටෙනිස් තරඟයක හඬ ඇසුණි. තිබහට නොව කෙමෙන් සිසිල්වන පරිසරය නිසා සීතලවන ගත උණුසුම් කරන්නට ඇපල් යුෂ කෝප්ප දෙකකට කුඩා කුරුඳු පොතු කැබැලි දෙකක් කඩා දමා මයික්‍රොවේව් යන්ත්‍රයෙන් රත් කරගත් ඔහු ඒ කුරුඳු පොතු සුව‍ෙඳන් දුම් දමන කෝප්ප අතැතිව රුක්ෂානි සොයා ගියේය.

කාර්යාල කාමරයේ අමුතු පලසක් මත ඇය හිටගෙන. ඇයගේ ඔළුවේ රැඳි හෙල්මට් එකකි. බිත්තියේ එල්ලා ඇති සුවිසල් රූපවාහිනියේ ටෙනිස් පිටියකි. එහි තරඟයේ යෙදෙනා වෘත්තීමය ටෙනිස් ක්‍රීඩකයා හා තරඟ වදින්නේ රුක්ෂානිය. ඇය සිටගෙන ඉන්නා පලස හා පැළඳ සිටින හෙල්මට් එක දත්ත කොම්පියුටරයට යවයි. ඊට කවා ඇති පරිගණක ටෙනිස් සෙල්ලමේ යෙදෙන රුක්ෂානිගේ වත දහදියෙන් නෑවී ඇත.

ඇයට නොදැනෙන්නට දොර වසා දැමූ සාගර උණුසුම් ඇපල් යුෂ කෝප්පයක් කවුන්ටරයේ තබා සීතල ඇපල් යුෂ වීදුරුවකට වත් කරගෙන නැවත ඇය සොයා ගියේය.

“ගේ ඇතුලෙම, වෘත්තීමය ක්‍රීඩකයෙක් එක්ක තරඟ කරතෑකි.” තරඟය නැවතූ ඇය සාගරගේ කම්මුලට හාදුවක් දී සීතල ඇපල් යුෂ වීදුරුව අතට ගත්තීය.

ඇයගේ හිසින් ගලවා ගත් හෙල්මට් එක සිය හිසේ පළඳවා ගත් සාගර ටෙනිස් රැකට් එක සොයන්නට වටපිට බලයි.

“රැකට් ඕනත් නෑ.” රුක්ෂානි පරිගණකය වෙත පැමිණ තරඟයක් ආරම්භ කර පෙන්වයි.

බෝලය වැදෙන හඬ තාත්විකය. පලස මත අඩිය තබනා ආකාරය අනුව පිටියේ එහා මෙහා දිවීම හසුරුවා ගත හැකිය. හැරෙන උඩ පනින ආකාරය අනුව බෝලයට පහර දීම ස්වභාවික සේ රූපවාහිනිය දිහා බලන කල පෙනී යයි. එහෙත් රැකට් එකක් වෙනුවට අත් දෙකේ ඇත්තේ ඇඟිලි වලට සංවේදන වයර් සවි කරන ලද බොත්තම් එබිය හැකි ගැජට් එකකි.

“එළිමහනේ සෙල්ලම් කරන කොට දැනෙන සිසිල් සුවය කෝ?” සාගර අහන්නේ හෙල්මට් එක උනා දමමිනි.

“ලෙවල් එක ඉහළට දැම්මම හුළං තියන දවසක විදියට සෙල්ලම් කරතෑකි. බෝලෙ බර හිටන් වෙනස් වෙනවා.” රුක්ෂානි ඇපල් යුෂ වීදුරුවෙන් අඩක් බී හමාරය.

“රැකට් එක අල්ලන විදියත් ටෙනිස් ක්‍රීඩාවේ වැදගත් නේද?” අත්වල පැටලී ඇති වයර් මඟින් ඇලවුනු සංවේදන ස්ටිකර් ගලවමින් සාගර අසයි.

“සෙල්ලම් කරද්දි රැකට් එක ‍අල්ලන හැටි වෙනස් කරගන්න බොත්තම් ඔබලා පුළුවන්. ඔළුවට උඩින් එන බෝලෙට ගහන කොට හරි, නෙට් එක ළඟ දී ඩ්‍රොප් ෂොට් එකක් දානකොට හරි. මේ.. මෙන්න මෙහෙම.” ඇය සාගරගේ අතින් ගත් අත් පැළඳුමේ බොත්තම් ඔබමින් කොම්පියුටරයට දත්ත යවා පෙන්වයි.

“කොහොමෙයි ප්‍රතිවාදියාට ඇනුම්පද කියල මෙල්ල කරගන්න පාට් එක කරන්නෙ? ටෙනිස් කියන්නෙ බාගයක් ශාරීරික හැකියාව ඉතිරි බාගය ‍මානසික හැකියාව නේද?”

සාගර නිවෙන්නට කළින් තම ඇපල් පානය අතට ගෙන උගුරක් පානය කර අසයි.

“ඒකටත් ප්‍රතිවාදියාට අහඹු අඩුපාඩු දාලා ප්‍රෝගෑම් හදන්න පුළුවන්. ඒත් වෘත්තීය ක්‍රීඩකයෝ ඒකට යොදා ගන්න බැරිවෙනවා. කවුද කැමති පිටතින් නොපෙනෙන අඩුපාඩු හෙළි කරන්න.”

සාගර ‍පරිගණක ක්‍රීඩාව ගැන ලියැවුනු වෙළඳ විස්තර පත්‍රිකාව කියවයි. ‍එළිමහන් ක්‍රීඩා හා ප්‍රතිවාදියෝ අභිමුඛව යෙදෙන තරඟ හුරු පුරුදු වුවත් මේ පරිගණක ක්‍රීඩා ලෝකය ඔහුට නුහුරුය.

“ඉගෙන ගන්න අයටයි, වැරදි හදා ගන්න අවශ්‍ය අයටයි සෑහෙන්න ප්‍රයෝජනවත්.” රුක්ෂානි සිය බ්ලැක්බෙරියෙන් තමාට මඟ හැරුණු පණිවිඩ සොයා බලන්නීය.

“හ්ම්..ඔව්. ටෙනිස් ගහන්න ආස ඒත් ආබාධයක් නිසා දැන් සෙල්ලම් කරන්න බැරි අයට නම් සෑහෙන්න වටිනවා.” සාගර ඊට එකඟ වූයේය.

“ක්‍රීඩාවෙන් ඈත් නොවී ඉක්මණින් ආයෙ එන්න හැකියාව….” රුක්ෂානි වාක්‍යය අවසන් නොකර බ්ලැක්බෙරියේ පණිවිඩයක් දිහා ඇස්පිය නොගසා බලා සිටින්නිය.

“මොළේ රවට්ටන්න මේක හදලා තියෙන්නෙ.” සාගර කියුවේ සිනහවකින්.

“අපි ගොඩක් වෙලාවට උත්සාහ කරන්නෙ ඒකටම නේද?” ඇය ඇසුවේ බ්ලැක්බෙරියේ වූ පණිවිඩය කියවන්නට සාගර අතට දෙමින්.

සාගර පණිවිඩය කියවද්දී රුක්ෂානි සෙල්ලම වසා දමා අන්තර්ජාලයෙන් කැනඩාව බලා යන්නට ගුවන් ටිකට් පත් විමසන්නීය. ඇය කියැවූයේ හසන්ති විසින් එවා තිබූ පණිවිඩයකි. රමේෂ්ව සාගරට හඳුන්වා දෙන්නට තමා මෙතෙක් අතපසු කළේ ඇයි? කාලය යනු අපිට ඇතිවිට අප නොසලකා හරින නැතිවිට ඒ ගැන තැවෙන අල්ලා බැඳ තබාගත නොහැක්කක් නිසා ද?

“මේ ටෙනිස් ගේම් එක හදපු එක්කෙනා අතපය පාවිච්චි නොකර කෙළින්ම මොළයෙන් සංවේදනය ලබන්න පුළුවන් ගේම් එකකුත් හැදුව. ඒත් මොළය වැඩ කරන්නෙ නැත්නම්…” සිය වාක්‍යය නැවතත් සම්පූර්ණ නොකර ඇය සාගර වෙත හැරී පවසයි.

“ඔයා යන්න. මම දවස් තුන හතරකින් එන්නම්.” සාගර කිව්වේ බ්ලැක්බෙරිය නැවතත් රුක්ෂානි අත තබමිනි. අඳුනා ගන්නටත් පෙර නැතිවන රමේෂ් පිළිබඳ ඔහු රුක්ෂානි වෙතින් අසා දැනසිටි ගුණ බොහොමයකි. ඔහු හා මිතුරුදම් ඇති කරගන්නට නොලැබීම මහත් පාඩුවක් සේ සාගරගේ සිතට දැනුණි.

“හොඳ අයට නරක දේ වෙන්නෙ ඇයි?” සාගර ඉංග්‍රීසියෙන් වූ පිළිතුරක් අපේක්ෂා නොකරන කියමන පවසා හිස් වූ වීදුරුව හා කෝප්පය රැගෙන රුක්ෂානිට නිදහසේ ගමන සැලසුම් කරගන්නට ඉඩ දී කාර්යාලයෙන් පිටව ගියේය.

Advertisements

ප්‍රතිචාර 2 »

  1. m m m . . . .ekath honndhai . . e manussaya marenna kalin tawa hoda manussayek muna gassala hasanthi ea wage yaaluwo athare tani wenne naha kiyala make sure kara ganna eka . ..

    ප්‍රතිචාර විසින් දුකා — මැයි 21, 2010 @ 4:28 ප.ව.

  2. api balanawa dhgatama liyanna ……lassanata liyalaa thiyanawa…

    ප්‍රතිචාර විසින් ilandhariya — මැයි 22, 2010 @ 2:13 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: