Sinhala story Blog

මැයි 20, 2010

බ්‍යාමප්‍රභාව 4.24 -දුව, සංජීවනී? මේ අම්මි

Filed under: Uncategorized — sinhalashortstories @ 4:33 ප.ව.

වෙනත් නිවෙස්වල උදෑසන ඇති කලබලකාරීත්වය රුක්ෂානි, සාගර හා සංජීවනීගේ වහලට යට නැත. ෆැන්ටෑස්ටික් ගේම්ස් කොම්පැණියේ මුල් වාසස්ථානය වූ කාර්යාලය දැන් වසා දමා ඇත. රුක්ෂානි පරිගණක සෙල්ලම් ලෝකය හා එකතුවන්නේ අන්තර්ජාලයෙනි. ඇය යටතේ සේවය කරන ඉයන් සම්මන්ත්‍රණ හා සමුළු සඳහා යන්නට ඉතා කැමැත්තෙන් ඉදිරිපත් වූයේය. ලෝකය බලන්නට ඔහුට එය මහඟු අවස්ථාවකි. පිළිගැනීමේ නිලධාරිනිය තම මුනුපුරු මිනිපිරියන් හා කාලය ගත කරන්නට උවමනා යයි කියා විශ්‍රාම ගිහින්.

සාගර රුක්ෂානිගේ ගෙදර පදිංචියට ආවේ ඔහු සිටි ඇනෙක්සිය කුලියට දීලා. එංගලන්ත මෝටර් ක්ලබ් එකේ රැකියාවට ඔහු යන්නේ එකම තැනකට එකම වේලාවකට නොවේ. නිවසේවූ කාර්යාල කාමරයේ රුක්ෂානි වැඩ කරද්දී සාගරත් සංජීවනීත් ඇයට කරදර නොවන ලෙසින් නිහඬව හැසිරෙන්නට හුරුව සිටිති.

නිවසේ දී සංජීවනී වැඩි කාලයක් ගතකළේ ඇයගේ නිදන කාමරයේ. ඒත් අතීතයක දී මෙන් ඇය දවස පුරා නිදා නොගනියි. ඇයට තෝරා බේරා නිරාකරණය කරගන්නට ප්‍රශ්න රැසකි. අතීතයක මෙන් අද ඇය තනිවීද නැත. එදා මෙන් නොව මෙදා දිනයේ සිතේ තෙරපෙන සිතුවිලි බෙදාගත හැකියාව ඇයට ඇත. ගැටළු නිරාකරණයට අතදෙන්නට ඇය මිතුරු මිතුරියන්ට ඉඩදී ඇත. හෙමිහිට විකසිතවන මලක් සේ ඇය අන් අයට අගුල් දමා තිබූ හද සෙමෙන් විවර කරයි.

ලන්ඩනයේ උදෑසන ඇසෙන කලබලකාරී පරිසරයේ හඬ වටින් ගොඩින් නැඟෙයි. වරක් නාදවූ දුරකතනයට කවුරු හෝ දෙවරක් නාද වන්නට පෙර පිළිතුරු දුණි. සංජීවනී අවදිවී රූ රැක ගැනීමේ ක්‍රියා පිළිවෙත් අනුගමනය කරන්නීය. රූප ශෝභාවෙන් පරිනතව ඉන්න කොච්චර කාලයක් හා ශ්‍රමයක් වැය කරන්න ඕනෑදැයි නියමාකාරයෙන් දන්නා අය ගෙවනා වත රුවින් තබාගන්නට කැපවූ හැදියාවට සංජීවනී නැවතත් පිවිස සිටියි.

“සංජීවනී ඔයාට කෝල් එකක්. ලංකාවෙන්,” සාගර කාමරයේ දොරට තට්ටුවක් දමා හෙමින් කියයි.

“මට? ලංකාවෙන්?” සංජීවනී නියපොතු ආලේපන බෝතලය වසා දමා කකුලේ ඇඟිලි එකිනෙක අතර රැඳවූ පුළුන් සමඟම ඇ‍ඳෙන් බැස්සේ කතාකරන්නේ කවුදැයි සිතාගත නොහැකිව.

“හලෝ!??”

“දුව, සංජීවනී? මේ අම්මි,” නුහුරු කටහඬක් ඇය සවනට.

“අම්මි?!!”

“දුව දැන් ඔහෙ වේලාව කීයද?” සංජීවනීගේ මව අසන්නීය.

ලංකාවේ සිට ඇය ලන්ඩනයේ වාසය කරන සංජීවනී අමතන්නේ වේලාව අහන්නට නොවෙයි. එහෙත් දිගු කාලයක නිහැඬියාවෙන් පසු නැවත සංවාදයක් කෙසේ පටන් ගන්නද?

“උදේ අම්මි. හතාමාර විතර.”

“දුව ඉන්න ගෙදර ටෙලිෆෝන් නොම්මරේ රුක්ෂානිගෙන් ඉල්ල ගන්නයි මම කතාකළේ. එතකොට රුක්ෂානිගේ හස්බන්ඩ් කිව්වා දුවත් ඔහෙ ඉන්නවා කියල. හොඳ වෙලාවට එහෙනම් දුව එහෙ නැවතිච්ච දවසක මං කතා කළේ,” මව කියාගෙන යයි.

සංජීවනී නිහඬය. මව නොදන්නා සිද්ධි බොහොමයකි. කොහෙන් පටන් ගන්නද?

“ශ්‍රියාන් නැතිවුණා. අදට මාස තුනයි,” ඇය කියයි.

කවුද ශ්‍රියාන් කියන්නෙ? ඒත් සංජීවනී අහන්න ගියේ නෑ.

“එයාගෙ කළින් කසාදෙ ළමයෙක් ලන්ඩන් ඉඳලා මළගමට ආවා. මෙහෙ කවුරුත් නැති නිසා මටත් ඔහෙ එන්න කියනවා දැන්,” මව කිව්වෙ හෙමිහිට. ලැබෙනු ඇතැයි කියා විශ්වාසයක් නොමැති දෙයක් ගැන විමසන විදියට. ශ්‍රියාන් තම මව හා විවාහ වූ පුද්ගලයා බව සංජීවනීගේ මතකය අවදි වුණා.

“ආච්චියි සීයයි?” සංජීවනී විමසයි.

“ආච්චි නැතිවෙලා අවුරුද්දක්. සීයත් ආච්චි මළාට පස්සෙ සති දෙකකින් නැතිවුනානෙ,” මෙවර මව සමාව අයදින ස්වරයෙන් කියන්නේ ඇගේ දෙමව්පියන් නැති කණගාටුවටද නැතහොත් තම දියණිය හා මෙතෙක් කිසිම කතාබහක් නොකර සිටීමේ පසුතැවිල්ලටද?

සංජීවනී නිහඬයි. කොහෙන් පටන් ගන්නද? මෙතෙක් කාලයක් තමා ගැන කිසිත් සොයා නොබැලූ මව දැන් අමතන්නේ ඇය හා පර්සි සමඟ වාසයටදැයි අසන්නට වෙන්නැති යැයි ඇයගේ සිත අනතුරු අඟවයි. පර්සිගෙන් දික්කසාද වන බව ගැනත් ෆ්ලෝරියාන් හා විවාහ වන්නට යන සූදානම ගැනත් මව කුමක් සිතයිද? කුමක් කියයිද? මව ෆ්ලෝරියාන් හා තමා සමඟ වාසයට කැමැති වේද? ෆ්ලෝරියාන් තම මව හා එක නිවසක වාසයට කැමති වෙයිද?

“මම අම්මිට ආයේ කතා කරන්නම්. මට දෙන්න නොම්මරේ,” සංජීවනී සිය මවගේ දුරකතන අංකය ලියාගෙන කතාව නිම කළේ කිය යුත්තේ කුමක්දැයි තෝරා බේරා ගන්නට.

සංජීවනී අද වැඩට යන්නට නියමිත වූයේ දහවල් වරුවේ. ඇඳුම් කට්ටල ගණනාවක් ඇසුරුම් වලින් ඉවත් කර, ‍අඩුපාඩු සාදා, ස්ටීම් ස්ත්‍රික්ක යන්ත්‍රයෙන් මැද, පොඩි නොවෙන නොතැලෙන ආකාරයෙන් ප්‍රංශයට යන නිරූපිකාවන් සඳහා ගමන් මළුවල පැටවිය යුතුය. එහෙත් ගෙනියන ඇඳුම් කවරේදැයි තෝරා බේරා ඔවුන් වෙන්කරන තෙක් කාර්යාලයේ ඇයට වැඩක් නොමැත. ඇයට තව දුරටත් නිදන කාමරය තුළ රැඳී ඉන්නට සිත ඉඩ නොදේ. වෙනදා මෙන් සිතට අසතුට පිරෙද්දී නිදි‍මතෙන් ඇයගේ ඇස් අද පියවෙන්නේ නැත.

කාර්යාලයෙන් නොමිලේ ලැබුණ අලුත්ම අලුත් පූමා ට්‍රේනින් සපත්තු කට්ටලයකට දෙපතුල් ඔබා පටි තදකර ගැටගසා ගත් සංජීවනී පාරට බැස්සේ ප්‍රශ්න වලින් පලා දුවන්න නොව සිතේ නළියන අසහනකාරී සිතුවිලි වලින් මඳ විවේකයක් ගන්නට සිත වෙනතක යවන්නට. පළමු ගෙවල් පේලිය පසුවෙද්දී පපුව හයියෙන් ගැහුණත් ටිකින් ටික දුවන්නට පුරුදු ඇඟ ඇයට සරිලන රිද්මය සොයා ගති. ගතට වෙහෙසත් සිතට සතුටත් දැනෙද්දී මෙපමණ කාලයක් තමාට දුවන්නට හැකියාවක් තිබූ බවත් එයින් තමන් දැඩි සතුටක් ලබාගත් බවත් තමන්ට අමතකවී ගියේ මන්දැයි සිතමින් ඇය දුවන්නට වූවාය.

ප්‍රතිචාර 2 »

  1. කාලෙකට පස්සෙ නිදහසක් හම්ඹුනා. දැන් ඉතින් සමර් නිවාඩුවනෙ.
    පුරුදු විදියට ඉතින් බ්ලොග් කියවන්න ගත්තා මාසෙකින් දෙකකින් විතර…

    ප්‍රතිචාර විසින් indik — මැයි 21, 2010 @ 1:57 පෙ.ව.

  2. ammatath tamanta hama dema nati unata passe tamai duwawa matak welaa tiyenne . . . !!

    ප්‍රතිචාර විසින් දුකා — මැයි 21, 2010 @ 3:43 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: