Sinhala story Blog

මැයි 18, 2010

බ්‍යාමප්‍රභාව 4.23 -කෘට්ස්ෆෙල්ඩ්-ජේකොබ්

Filed under: Uncategorized — sinhalashortstories @ 9:51 පෙ.ව.

හසන්තිගේ දූ සිඟිත්ත නැඟිට්ටේ කිරි බොන වේලාව ළං වෙද්දීය.

ඇයගේ ඇඳුම් මාරු කර, සෝදා පිරිසිදු කර කිරි පෙවූ විගස ගුඩුස් අරින්නටත් පෙරම ඇය යළිත් නින්දට වැටෙයි. අඩු වයසින් උපන්නාට දරු පැටියා කිසිම උපද්‍රවයක් නැති නිරෝගී වාසනාවන්තියකි.

රමේෂ් බබා උපන් දා හසන්තිට කියන්නට ආවේ ඔහුට ලැබුණු පත්වීම ගැනයි. ඔහු අද නාරි හා ප්‍රසව වෛද්‍ය අංශයේ වැඩ බලන ප්‍රධානියාය. වසරක සේවයෙන් පසු එය ස්ථාවර පත්වීමක් වන්නේය.

හසන්ති දරු ප්‍රසූතිය නිසා විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු වලින් මාස තුනක නිවාඩුවක් ලබා සිටින්නීය. රමේෂ් දවසේ වැඩ අවසන් වි ගෙදර දුව එන්නේ දියණිය හා කාලය ගෙවනු පිණිස උද්දාමයෙනි. ආහාර ඉක්මණින් ගිල දමා, ස්නානයෙන් පසු ඔහු නින්දට වැටෙන තෙක් දරුවා සමඟ කාලය ගෙවයි. අප්පා එනතෙක් නිදියන දියණිය ද ඔහු පැමිණි පසු අවදියෙන් ඔහු රෑ නින්දට වැටෙන තෙක් ඇහැරගෙන හුරතල් වෙමින් සිටින්නීය.

දහවල් කාලයම අහස ඝන වැහි වළාකුලින් පිරී තිබුණි. හතර වටින් ඉක්මණින් කරුවල වැටුණා යයි හසන්ති සිතුවද වේලාව දකිද්දී හවස හතහමාරත් පසුව ඇත. රමේෂ් ගෙට ගොඩ වූයේ එක්ස්-රේ කඩදාසි, පරිගණකයෙන් මුද්‍රණය කරන ලද ලිපි සහ පොත් කිහිපයක් අතින් කටින් එල්ලාගෙනය. ඔහු කටින් එල්ලා සිටි විශාල ලියුම් කවරය හසන්ති අතට ගත්තේ දියණියවත් වඩාගෙනමය.

“අම්මයි අප්පයි එනවා තව ටිකකින්.” ඔහු පොත්පත් පැත්තකින් ගොඩ ගසයි. ටයි පටිය උනා, ඇඳුම් එකින් එක ගලවමින් ඔහු නාන කාමරයට ගියේ ඉස්පිරිතාලයෙන් ආ පසු ස්නානය නොකර කිසිවිටෙක දියණිය වඩා නොගන්නා හෙයිනි.

“රෑ කෑමටත් ඉඳිවී ද?” හසන්ති වතුර ගලා යන සද්දය මැද්දෙන් හයියෙන් අසයි.

“නෑ. නෑ කාලා ඉවර වෙලා එන්න කිව්වෙ.” ඔහු සබන් පෙන සෝදා හරියි.

හසන්ති නාන කාමරයෙන් ඉවත් වන්නටත් පෙර ඔහු ස්නානය ඉවර කරයි.

“අපි දෙන්නත් කමු.” ඔහු කියන්නේ වෙනදා නින්දට අඳින සරම වෙනුවට පහසු දිගු කලිසමකට බැසගෙනය.

දියණිය රමේෂ්ගේ උරහිසට බර දීගෙන නෙත් අයා ඔවුන් ආහාර ගන්නා ආකරය බලා සිටින්නීය. අත කටට යන, හකු හෙළවෙන, ගිලින යනාදී හැම ඉරියව්වක් ගැනම ඇයගේ පුංචි දෙනෙත් සුපරීක්ෂාකාරීය. හසන්ති රමේෂ් අත ඉන්නා දියණිය වෙත හුරතල් වදන් කියයි.

ඔවුන් කෑ බී කෝප්ප පිඟන් අස්පස් කරන්නටත් පෙර ‍නිවසේ සීනුව නාදවෙයි.

“ඕව පස්සෙ අස් කරන්න හසන්ති.” රමේෂ් දරුවාත් වඩාගෙනම පුටුවෙන් නැඟිට්ටේය. හසන්තිගේ ඉඟවට අත යවා ඇය ද තුරුල්ලට ගත් ඔහු දොර අරින්නට ගියේ ඇයට ගැල වී යා නොදී තදින් අල්ලාගෙනය.

අම්මා හා අප්පා අත දරුවාට හුරතල් බස් කියද්දී රමේෂ් තමන් ගෙනා ලියකියවිලි හා පොත් පත් සාලයේ වූ කූඩා ටීපෝවේ පිළිවෙලකට තබයි.

“අම්මා, අප්පා වාඩිවෙන්න. මං කියලා ඉවර වෙනකම් ප්‍රශ්න අහන්න එපා. මේක කියන්න ලේසි දෙයක් නොවේ.” රමේෂ් බර කටහඬින් කතාව පටන් ගනියි.

හසන්තිගේ ඇස් ලියකියවිලි දෙසට යොමුවේ. ඒවායේ ශීර්ෂ කියැවූ ඇයගේ ඇස් විසල්ය.

“හරිනි සරදා රාජරත්නම් ඔයාගෙ අප්පා වැඩි කලක් ජීවත් වෙන්නෑ පැටියෝ.” රමේෂ් කතාව පටන් ගත්තේ එලෙසයි. අම්මා අප්පාගේ අත අල්ලා ගෙන තක්බීරිව සිටින්නීය.

“සැකයක් නැතිවෙන්න හරියටම දැනගත්ත. මට කෘට්ස්ෆෙල්ඩ්-ජේකොබ් රෝගය හැදිලා. ටෙස්ට් සේරම සම්පූර්ණයි. පටන් ගත්ත දවස අනුමාන කරන්න බැහැ. රෝග ලක්ෂණ පෙනෙන්න පටන් ගත්තට පස්සෙ මාස 6 ක් තමයි වැඩියෙන්ම ජීවත් වෙන්නෙ.”

අම්මා පුටුවෙන් නැඟිටින්නට තැත් කරයි. අප්පා ඇයට නැඟිට යන්නට ඉඩනොදෙයි.

“සුව කරන්න බෙහෙත් තවම හොයාගෙන නෑ අම්මා.”

“හැදෙන්නෙ කොහොම ද?” හසන්ති උගුරෙන් වචන පිටකළේ අසීරුවෙන්. පිටතට ඇහුනෙ කෙඳිරියක්. ඒත් රමේෂ් උත්තර දුන්නා.

“ජානුවල සංකලනයක්. ඒත් ඒක හරි පොඩි කොටසක වෙනසක්. මට හැදුන නිසා හරිනිට හැදෙන්නෙ නෑ. මීට කලින් අපේ පවුලක කෙනෙකුට හැදුන බවක් අපි දන්නෙත් නෑ.” ඔහු පොතක් අප්පා අතට දෙයි.

“සීඝ්‍රයෙන් වර්ධනය වන දිමෙන්තියාව…” අප්පා පොත නොහැරම මතුරන්නට ගන්නේය.

“ඔව්. ඇල්සයිමර්ස් වගේ හැබැයි ඊට ඉක්මණින් පැතිරෙනවා. මොළේ තියන නිරෝගී පටක අස්වාභාවික ප්‍රෝටීන් ජීර්ණය කරන්න බැරිව ඉක්මණින් වියැකෙන දිරාපත්වන එකයි ලෙඩේ.” රමේෂ් මෙවර දියණිය හසන්ති අතට දී අම්මා අසලින් ගොස් වාඩි වෙයි.

“අම්මා තමයි ලෝකෙ ඉන්න හොඳම අම්මා.” ඔහු සිය මව ඉදිරියේ දණ ගසා ඇයගේ ඔඩොක්කුවේ හිස තබා ගනියි.

“මේ ලෙඩේ කාගෙවත් වැරැද්දක් නෙමෙයි. අහඹු සිදුවීමක්. තැවිලා දුක්වෙලා හොඳ වෙන්නෙ නෑ. මට ඕන ඉතිරි කාලය…

තද කරගත් ඉකි පිටවන්නට උත්සාහ දරන මවගේ ඉළඇට කූඩුව වේවලයි. ඇයගේ ඇස්වලින් කඳුළු පෙරී රමේෂ්ගේ හිසට බිංදු බිංදු වැටෙනවා ඔහුට දැණින. එහෙත් ඔහු හිස එසවූයේ නැත. ඇය මුහුණ බැලුවොත් ඉතිරිය කියාගත නොහැක.

…ඉතාමත්ම කෙටි ඉතිරි කාලය මට මගේ ජීවිතය දුකින් ගෙවන්න බැහැ. හරිනි සරදා, හසන්ති, අම්මා, අප්පා එක්ක මට හැකි තරම් දවසක් සතුටින් ඉන්න ඕන.”

හසන්තිගේ කට වියළිය. ඇඟ අප්‍රාණිකය. ඇය දරුවා අතින් වැටේයයි බියෙන් ඇයව සෝපාවේ තැබුවාය. රමේෂ් අත දිගුකර හසන්තිවත් අම්මා හා අප්පා වාඩි වී සිටි පුටු දෙක ළඟට ඇද ගත්තේය. ඔහු තවමත් දණගහ ගෙනය. හසන්තිත් ඔහු අසලින්ම බිම වාඩි වූයේ හිටගෙන ඉන්නට වාරු නැතිව ගිය හෙයිනි.

“ඉක්මණින් වැඩි වෙන කොට මට දිව පැටලිලා, දිව ඉදිමිලා වගේ ලිස්සන වචන කියන්න වෙන්නෙ. කතා කරන්න බැරි වෙයි. ඔයාලව අඳුරගන්න බැරි වෙයි. අධිමූර්ඡාවකට යයි. ඊට කලින් මේ ටික කියා ගන්න ඕන.” ඔහු හිස මවගේ ඔඩොක්කුවෙන් ඉවත් කර ටීපෝව මඳක් තල්ලු කර හසන්ති අසලින්ම බිම හිඳ ගත්තේ අම්මාත් අප්පාත් ඉදිරියෙනි.

“මම අමාන්තදින් ගන්නව. ඒක ප්‍රතිකර්මයක් නෙමෙයි. ඒත් දැනට තියන හොඳම උපකාරය. ජීවිතයේ වටිනාකම කියන්න බැහැ. ඒත් අධිමූර්ඡාවට ගියාම “නැවත පණ නොදෙනු” කියන පිළිවෙත පාවිච්චි කරන්න මම ලියවිල්ලක් සකස් කළා.”

ඔහු විශාල ලියුම් කවරය ඇර ලියැවිල්ල එළියට ගනියි.

“මගේ මොළය වැඩ කරන එක නවතින මොහොත වෙනකම් ඒ තියන ඩිංගෙන් හිතන්න, කොහොමින් හරි අදහස් හුවමාරු කරගන්න, ජීවිතයේ සතුට දකින්නයි මට ඕනා. මට පසුතැවෙන්න ඉඩක් දෙන්න එපා. වේදනාව නැති කරන බෙහෙත් පාවිච්චි කරල හරිනි සරදා එක්ක, හසන්ති එක්ක, අම්මා අප්පා එක්ක ඉන්න හැකි දවසක් ඉඳලා බැරිම දවස ආවම මගේ “නැවත පණ නොදෙනු” ලියවිල්ල ක්‍රියාත්මක කරලා මට සැනසි‍ල්ලෙ යන්න දෙන්න.”

රමේෂ් හසන්තිගේ අත අල්ලාගෙන ඇයත් සමඟ හිටගෙන බඳ වටා යැවූ අත් දෙකින්ම ඇය තමා වෙත තදින් තුරල් කර ගත්තේය.

“අප්පා, අම්මා, හසන්ති, මට ධෛර්යයක් නැහැ ඔයාලගෙ උදව්ව නැතිව. නිර්භීතකමක් නැහැ මට. මරණය ගැන බයයි. මගේ ඉල්ලීම බය නැතිව මුහුණ දෙන්න කරන උත්සාහයක් විතරයි.”

එදා රාත්‍රියේ රමේෂ්ගේ අම්මා හා අප්පා ඔවුන්ගේ නිවසට නොගියහ. සෝපාවේ නින්දට ගිය දියණියව ඇයගේ තොටිල්ලේ නිදි කරවා ඔවුන් රෑ පහන් වනතෙක් තේ බොමින් කතා බහෙන් තොරව රමේෂ් දුන් ලියකියවිලි හා පොත්පත් කියැවූහ.

රෝහිණී රාජරත්නම් කුස්සිය අස්පස් කරන්නට හසන්තිට උදව් දී අප්පා හා රමේෂ්ට නොපෙනෙන්නට හසන්තිව වැළඳගත්තේ ගිලෙන්නට යන අයෙක් දිවි බේරාගන්නට අල්ලා ගන්නා තදින්ය. කඳුළු පිරි දෙනෙත් වූවද ඇය හෝ හසන්ති හෝ රමේෂ් ඉදිරිපිට දී හඬ‍ා වැටෙන්නට තරම් ආත්මාර්ථකාමී නොවූහ.

Advertisements

ප්‍රතිචාර 7 »

  1. harima dukayi…….me kathaawa digatama kiyawapu nisaa da mandaa, mea charithath jeewitheata lan welaa………………..

    ප්‍රතිචාර විසින් sudham — මැයි 19, 2010 @ 9:36 පෙ.ව.

  2. ඇයි ඔයා මේ දේ කලේ අරුණි. . . ඇයි . . අයි . . අයියෝ . . . ඇයි මම අදම මේ ඉතුරු ටික කියවනන් ගත්තේ. මගේ උගුර හිරවෙලා. ඇස් දෙකේ කඳුලු බොඳවෙලා.

    අද සති අන්තය . .

    ආපහු මම බොහෝ වෙලාවට අන්තර්ජාලයට එන්නේ ඉරිදා. (අතරින් පතර ඇවිත් යනවා ත් හිටපු ගමන්)

    මෙච්චර ලස්සන අවසානෙකට කතාව අරන් ඇවිත් කඳුලු ගඟක අපිව ගිලල්වන්න හදන එකට මම නම් ඔයාට කොහොමටවත් සමාවක් දෙන්නේ නෑ . . . . . (ඒ කියන්නේ අද දවසේ තීරණය අනුව මම මේ පොත මම එලිදක්වපු දවසට අරගෙන මගේ පොත් එකතුවේ තියා ගන්නේ නෑ . . අනාගතයේ මේ තීරණය වෙනස් වෙන්න ඉඩ තියෙනවා.

    ප්‍රතිචාර විසින් දුකා — මැයි 20, 2010 @ 8:23 පෙ.ව.

  3. පොතේ කාව හරි මරන්න ඕන කම තිබ්බ නම් අර පර්සියාව මරන්න තිබ්බනේ . . රමේෂ්ව නැතුව . . . හොඳ වෙලාවට ඔආගේ දුරකතන අංකයක් වත් නෑ නැත්නම් කෝල් කරලා බනින්න වටින වැඩක් . . .

    ෂිහ් . .හරිම සවුත්තුයි කරපු වැඩේ

    ප්‍රතිචාර විසින් දුකා — මැයි 20, 2010 @ 8:26 පෙ.ව.

  4. langadi kohedi hari kiyewwa mama, wayasata yana jaana sAkAsma hoya gena kiyalaa… bAriweida anaagathea dawasaka anna ea jaana sAkAsmen prathikarmayak karalaa wath apita Rameshwa bearaganna…..

    Aththamayi akkea, apitath mea duka daraaganna amaarui, rameashgea gedara ayata wageama…

    ප්‍රතිචාර විසින් sudham — මැයි 20, 2010 @ 9:04 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: