Sinhala story Blog

මැයි 16, 2010

බ්‍යාමප්‍රභාව 4.21 -පර්සි කොහොම ද සැප සනීප?

Filed under: Uncategorized — sinhalashortstories @ 7:34 ප.ව.

පර්සිව හමුවන්න සංජීවනී ඔහු වැඩ කරන රෝහල වෙත ගියේ කැමැත්තකින් නොවේ.

නොකරම බැරි දෙයක්, තවත් කෙනෙකු වෙත බාර කරනු නොහැකි දෙයක් මෙන්ම තවත් කල් ඇරිය නොහැකි බව අමතක කරනු හෝ යටපත් කරගැනීමට නොහැකි වූ නිසා ඇය උදෑසන අවදි වී අද මේ ගමන එන්නට ඉටා ගත්තීය. එහෙත් රෝහලට පා තැබූ විගස හැරී ආපසු දුවන්නට ඇයට සිත්විණ.

“ඩොක්ට පර්සි ඉඹුලාන?”

“කවුද මේ?”

“මිසිස් ඉඹුලාන.”

“වාඩිවෙන්න ඔය පුටුවක. අපි එයාව හොයලා පණිවිඩය යවන්නම්.”

පිළිගැනීමේ නිලධාරිනිය පෙනෙන ලෙස ඒ අසල පුටුවක සංජීවනී වාඩි වූවාය. හිත තුල අප්‍රසාදය තෙරපෙයි. කට තිත්ත රහකින් පිරී ඇත්තා සේ ඇයට දැනෙයි. ගත අප්‍රාණිකය. පර්සි අද වැඩට ඇවිත් නැත්නම් හොඳ යයි ඇයට සිතුණි. ඔහු මුණ ගැහෙන්නට කිසිම පිරියක් ඇයට නැත.

ෆ්ලෝරියාන් හා ගිය ජර්මනි ගමනෙන් පසු ඇයට නාකොලෙප්සියාව නොහොත් නිද්‍රාලුව ඇති බව දොස්තරවරයෙකු හමුව හඳුනාගත් පසු සංජීවනී දැන් බෙහෙත් පෙති වර්ගයක් පාවිච්චි කරන්නීය. හිත කරදර හා වැඩ අධික කාලයේ දී පමණක් පෙති ගන්න යයි වෛද්‍යවරයා කීය. කාලයාගේ ඇවෑමෙන් එය නිෂ්ටාවටම සුව වී යා හැකි යයි ද ඔහු කීවේය. සංජීවනී අද ගමන පටන් ගන්නටම පෙර බෙහෙත් පෙත්තක් ගිල දැම්මේය.

පර්සි තරබාරුව ඇතැයි ඔහු දුටු සැණින් සංජීවනීට සිතිණ. සංජීවනී රූමතියක් බව ඔහුට ඇය දුටු සැණින් මතක් විය. කෙල්ලට රුක්ෂානි ළඟ අඩුපාඩුවක් නැතිව ඇති යයි ද එසැණින්ම ඇය පැමිණ ඇත්තේ ආපහු ගෙදර එන්න අහන්න වෙන්නැති යයි සිතා ඔහුගේ සිතට ආඩම්බරයක් ද ඇතිවිය. කිසිවක් නොකියා ඔහු සංජීවනී ළඟ ආසනයේ හිඳ ගත්තේය.

කතාබහක් පටන් ගන්නට දෙදෙනාම අදිමදිය. සියළු ප්‍රශ්නයන්ට හේතු කාරකය වූයේම මෙයම නොවේදැයි සංජීවනීගේ සිහියට නැඟුණි.

“මං ආවේ දික්කසාදයක් ඉල්ලුම් කරලා රැජිනගේ උසාවියෙ පෙත්සමක් දාන බව කියන්න.” සංජීවනී ඇසෙන නොඇසෙන සේ කටහඬ අවදි කරන්නීය.

ඔහු නළල රැළි ගන්වා රෞද්‍ර වූ ඇස් අයා ඇය දෙස බලා සිටියි. මේ පර්සි අපේක්ෂා කළ වදන් නොවේ.

“දැන් අපි වෙන්වෙලා අවුරුදු දෙකකටත් වැඩි. වෙන හේතු ඕන නැහැ. දෙන්නගෙම කැමැත්තට දික්කසාදයක් ගන්න පුළුවනි.” ඇය දිරිය ගෙන කීවාය.

“දෙන්නම කැමති කියලා කවුද කියන්නෙ?” ඔහු අසන්නේ ඇයගේ සිත රිදවන්නටය.

ඇය නිහඬය. පරණ කතා ඇද අතීතය වමාරන්නට ඇයට කිසිත් උවමනාවක් නොමැත. එහෙත් ඔහු තමා අත වරදක් ඇතැයි පිළිනොගනියි ද?

“මං උසාවි වියදම් ගෙවන්නම්. පෙත්සමෙන් පස්සෙ ඩ්‍රිකී නිසී ආවම අත්සන් කරලා යවන්න. ඊට පස්සෙ ඩ්‍රිකී ඇබ්සොලියුට් ආවම දික්කසාදය ස්ථිරයි.” සංජීවනී පහත් හඬින් කිව්වේ අහළ පහල අයට නෑසෙන පරිදිය.

“ඔයාට කැමැත්තක් කරගන්න. මට වැඩ තියෙනවා.” පර්සි ඉංග්‍රීසියෙන් කාමරයේ හැමට ඇසෙන පරිදි උස් ස්වරයෙන් කියා නැඟිට ගියේය. හැඬුම් ආවත් එය තද කරගෙන සංජීවනී රෝහලෙන් පිටත් වූවාය. දික්කසාදය ලැබේ නම් ඔහු සැලකූ ආකාරය කම් නැත යයි සිතින් කියා ගනිමින් ඇය වැඩ කරන ස්ථානයට යනු පිණිස ටියුබ් දුම්රියපොළක් සොයා ගියාය.

“ඩොක්ට පර්සි අයි මු බූලා නෑ වැඩ කරන්නෙ මේ රෝහලේ ද?” ඒ රෝහලේ ප්‍රධාන දුරකතන සන්නිවේදන මධ්‍යස්ථානයට පැමිණි ඇමතුමකි.

“ඔව්. ඉන්න මං සන්ධි කරන්නම්.”

“ඩොක්ට ඉඹුලාන මේ.”

“මම ෆ්ලෝරියන් රෝසන්බර්ග්. සංජීවනීගේ සබැඳියෙක්. ඇයට දික්කසාදය කරදරයක් නැතුව ඉක්මණින් දෙනවා නම් ඊට සරිලන වටිනාකමක් ඇති මුදලක් තෑගි කරන්න කැමැතියි.”

“ඔබ කවුද?” පර්සි අසයි.

“මම සංජීවනීගේ හොඳම යාළුවෙක්.” ෆ්ලෝරියාන් කියයි.

“කොහොම ද එයාව අඳුරන්නෙ?” පර්සි නැවතත්.

“ඇය වැඩ කරන තැනින්.” ෆ්ලෝරියාන් මෙවර ටිකක් අදිමදි කර කියයි.

“මං ඒ ගැන කල්පනා කරල බලන්න ඕන.” ඉහළ අත තමන් ළඟ බව දැනගත් පර්සි කියයි.

“මගේ මොබයිල් නොම්මරය ලියා ගන්න. තීරණයක් ගත්තාම මට ඇමතුමක් දෙන්න.” නොම්මරය දී ෆ්ලෝරියාන් ඇමතුම විසන්ධි කර මොබයිලය කැඩෙන්නට තරම් වේගයකින් මේසයට විසි කර දැමුවේ එය අල්ලා ගෙන සිටීම පවා හිරිකිත යයි දැනුනු නිසාය.

“ඩොක්ට පර්සි ඉඹුලාන, ඩොක්ට පර්සි ඉඹුලාන, කරුණාකර ඩිරෙක්ටර්ගෙ රූම් එකට යන්න.” රෝහලේ ඇමතුම් විකාශනය ඔස්සේ හඬ පැතිරුණි.

රෝහල් අධිකාරවරයාගේ කාමරයේ දොරට තට්ටුවක් දැමූ පර්සි ඇතුලතින් එන්න යයි කියන තෙක් පිටත හිටගෙන. ඇතුලත කාන්තාවකගේ සිහින් හිනා හඬත් එය පරදවමින් අධිකාරවරයාගේ ගොරහැඬි හිනාවත් ඇසේ. පර්සි නැවතත් මඳක් හයියෙන් දොරට තට්ටු කරයි.

“එන්න ඇතුලට. එන්න ඇතුලට.” අධිකාරීගේ ගොරහැඬි හඬ කියයි.

“ආ ඩොක්‍ට ඉඹුලාන. මෙන්න මේ අපේ පුතාගේ හොඳ යාළුවෙක් ඇවිත් ඩොක්ට මුණ ගැහෙන්න. දෙන්නා අඳුනනවානේ. මගේ කාමරයේ කතා කරගන්න.”

පුටුවේ හරිබරි ගැසී කළින් කතාබහේ සිනාවෙන් තවමත් මුව සරසාගෙන ඉන්නේ රුක්ෂානි. ඇය පර්සිට අතට අත දෙන්න නැඟිට්ටෙ නැහැ.

අධිකාරිවරයා දොරෙන් පිට වී එය වහන්නට පෙර ඔවුන් වෙත හැරුණා.

“මිස් රුක්ෂානිට අවශ්‍ය ඕනම දෙයක් අපි කරලා දෙනවා. එහෙම හරි නේද ඩොක්ට ඉඹුලාන?” ඔහු ගොරහැඩි ලෙසින් පිටකළේ ප්‍රශ්නයක් නොව ප්‍රශ්නාර්ථයකින් දෙන සැඟවුනු තර්ජනයකි.

“ඔව් සර්.” පර්සි හිස වනා එකඟ වෙයි. අධිකාරිවරයා දොර සෙමින් වසා ‍පිටව ගියේය.

“පර්සි, කොහොම ද සැප සනීප?” රුක්ෂානි තවත් හරි බරි ගැහිලා ආසනයේ පැල පදියම් වුනේ දිගු කතාබහකට සූදානමින්.

“සංජීවනී ඇවිත් දික්කසාදයක් ඉල්ලුවා.” පර්සි ජනේලයෙන් පිටත බලාගෙන කිව්වෙ රුක්ෂානිගෙ ඇස් මුණ නොගැසී.

“සංජීවනීට ගෙදර ඉන්න බැරිවෙන විදියට වැඩ කළේ ඔයා. රෑ නවතින්න ගෙදරට සුදු කෙල්ලක් අරන් ආපු බව මමත් දන්නවා. ඔයා සංජීවනීව ආපහු ගෙන්න ගන්න කිසිම උත්සාහයක් ගත්තෙ නැහැ. එයාගෙ දෑවැද්ද සම්පූර්ණයෙන්ම වියදම් කරෙත් ඔයා. උසාවි ගියොත් වන්දි ගෙවන්න වෙන්නෙ ඔයාට. සංජීවනී කරන්නෙ පොඩි රස්සාවක්. ඒත්…උසාවි ගිහින් දික්කසාදය දිගින් දිගට යන්න ඇද්දොත් වන්දි ඉල්ලන්න මම සංජීවනී වෙනුවෙන් හොඳ බැරිස්ටර් කෙනෙක්ට වියදම් කරනවා. අනික මේ හොස්පිටල් එකෙ ඩිරෙක්ටර්ට මං ඔයා සංජීවනීට සලකපු ආකාරය ගැනත් කියනවා.”

ගිනි පුපුරු මෙන් නළියන රුදුරු නෙතින් ජනේලයෙන් පිටත බලාගෙන ඉන්නා පර්සිට රුක්ෂානි ආවේගයක් නොමැති සාමාන්‍ය හඬින් කියාගෙන ගියාය.

“එකම දෙයයි ඔයා කරන්න ඕන. ඩ්ක්‍රී නිසී ආවම අත්සන් ගහල ආපහු යවන්න.”

පර්සි ඔළුව ඉතාමත් සෙමින් වැනුවේ ජනේලයෙන් පිටත බලා සිටි පැත්ත දෙසින් නෙත් ‍ඉවත් නොකර. රුක්ෂානි පුටුවෙන් නැඟිට කාමරයෙන් පිට වී ගියේ වෙනත් වදනක් නොදොඩාය.

Advertisements

ප්‍රතිචාර 2 »

  1. harima lassana kathawa,mama hemadama balagenama inne
    kathawa dalada kyala,

    ප්‍රතිචාර විසින් lankika — මැයි 17, 2010 @ 3:44 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: