Sinhala story Blog

මැයි 15, 2010

බ්‍යාමප්‍රභාව 4.20 -බබාව මිනිත්තු පහෙන් එළියට

Filed under: Uncategorized — sinhalashortstories @ 1:59 ප.ව.

තමාට ලැබුණ වැදගත් ආරංචිය හසන්ති සමඟ බෙදා ගන්නට රමේෂ් ඉක්මන් ගමණින් අයිසැක් වෝල්ටන් කිලාම් සෞඛ්‍ය කේන්ද්‍රයෙන් පිටත් වූයේය.

හසන්තිගේ බිල්ඩිමේ විදුලි සෝපානය ළඟ ඉහළට යන්නට රැස් ව සිටි පිරිස දැක, පැත්තක වූ දොර ඇර තරප්පු පෙළ නැඟ උඩට දිව්ව ඔහුට විදුලි සෝපානයට ඉස්සර වන්නට හැකිවුණි.

විද්‍යාගාරයේ දොර විවෘත කරද්දීම කලබලයෙන් ඔහු පසුකරගෙන ගිය ඉන්දීය පශ්චාත් උපාධි ශිෂ්‍යයාවක් එන්න එන්න මේ පැත්තෙන් කියා වේගයෙන් අඩි තියන්නේ රමේෂ් එනබව දැන සිටියා සේය. ඇයගේ කලබල විලාසය දැක කිසිත් නොඅසා ඇය හා යන්නට ඔහුත් අඩිය ඉක්මන් කළේය.

ඇතුල් කාමරයක දොර ඇරි වහාම රමේෂ් දුටු හසන්ති පුටුවෙන් නැඟිටින්නට තැත් කරයි. ඇය දෙපැත්තෙන් සිටගත් කාන්තාවන් දෙනෙකි.

“ඇම්නියොටික් ද්‍රාවණය පිටවුනා.” හසන්ති සෙමින් මිමිණුවාය.

“ඔයි වෙයි. ඔයි වෙයි.” කියමින් එක් ප්‍රථුල කාන්තාවක් හසන්ති අසලින් නික්ම ගොස් දුරකතනයක අංක කරකවයි.

“මම පොළව සුද්ද කරන්නම්. ඒ ගැන ‍ඔයා හිතන්න යන්න එපා.” බාල්දියක් හා බිම තෙත පොඟවන ස්පොන්ජ් කොස්සක් අතැතිව සිටි, සුදු විද්‍යාගාර කබායක් ඇඳි අනෙක් කාන්තාව හසන්තිට කියා කාමරයෙන් පිටව ගියාය.

රමේෂ් හසන්තිගේ නාඩි අල්ලා බලයි. ඇයගේ හද ගැස්ම වේගවත්ය. එහෙත් එය කලබල විය යුතු තත්වයක නොමැත.

“වේදනාවක් දැනෙනවා ද?” ඔහු අසයි. ඇය හිස සොලවා නැහැයි කියයි.

“ලේ?” ඇය නැවතත් හිස සොලවා නැතැයි කියයි.

“කලබල වෙන්න ඕන නෑ. මං හොස්පිටල් එක්කන් යන්නම්.” රමේෂ් අවට සිටි කාන්තාවන්ට ස්තූති කර හසන්තිගෙන් ඇවිදින්නට හැකිදැයි ඇසුවාය. ඇය හිසින් හැකියයි කියයි. විද්‍යාගාරයේ දොරෙන් එළියට යන්නට පෙර ඉන්දියන් කාන්තාව පැමිණ හසන්තිගේ හෑන්ඩ් බෑගය ඇය අත තැබුවාය.

හසන්ති කිලාම් රෝහලට පය තබනවාත් සමඟම ඇයට දරු ප්‍රසූතියේ ප්‍රථම වේදනාව ඇඟ පුරා දිව යන බව දැනුණි. ඇය රමේෂ්ගේ ඇඟට වාරු වූ වේගයට රමේෂ් තව පොඩ්ඩෙන් ඇද වැටෙන්නටත් ඉඩ තිබුණි.

රමේෂ්ව දුටු සැණින් ඔහු හා ඉන්නේ කවුදැයි හඳුනාගත් රෝහල් සේවකයෝ ‍රෝද පුටුවක් ගෙනැත් හසන්තිව එහි වාඩිකර දරු ප්‍රසූති තට්ටුවට ගෙන ගියේ රෝහලට ඇතුල්වන්නට කළ යුතු ලියාපදිංචියට ඇති පෝරම ගැන අහන්නේවත් නැතිවය. හසන්තිව රෝද පුටුවේ තල්ලු කරන රමේෂ් හමුවන ගැහැණු පිරිමි හෙදියන්ට කියන කරන දෑ ගැන අණ දෙමින් මාතෘචිකිත්සාගාරය වෙත කඩිනම් ගමනකින් යයි.

හසන්තිගේ දරුවා මාස තුනකට කළින් ලෝකයා දකින්නට තීරණය කර ඇත. රෝහලට ඇතුල් වූ පසු ඉතිරි පැය පහ කෙසේ ගෙවී ගියාදැයි හසන්තිට නිනව් නැත. රෝද පුටුවෙන් රෝද ඇඳකට මාරු වුණි. එක තැනක නොසිට කාමරයෙන් කාමරයට ඇයව ගෙන යන ලදි. බඩ මතුපිට සීතල ජෙල් ගා ස්කෑන් ගන්නවා ඇයට දැනුනි. කකුල් මේ ආකාරයට උස්සන්න යයි කියද්දී ඇය ඒ ආකාරයට කකුල් උස්සයි. දැන් පහතට දාන්න කියද්දී ඇය පහතට දමයි. දරුවාගේ හදවත ගැහෙනා වේගය විපරම් කරන්නත් හසන්තිගේ හදවත ගැහෙනා වේගය විපරම් කරන්නත් යන්ත්‍රයන්ට සවිකරන ලද වයර් ඇඟට අලවා ඇත. නිද්‍රා බෙහෙත් දෙන්නට අවශ්‍ය නම් ඊට සූදානම් බටය අතට සවිකර ඇත. එහෙන් මෙහෙන් කෙනෙක් දෙන්නෙක් ඔවුන් අසලට පැමිණ රමේෂ්ගෙන් තතු විපරම් කරනා බව ඇයට හැඟුණි.

“සිසේරියන් කරන්නෙ නැතිව ස්වභාවිකම ගන්න පුළුවන්. පැටියාට එන්න හදිසියි වගේ. මඟදි අපහසු වුනොත් සිසේරියන් එකකට යන්න ලැහැස්තියි. මොකද කියන්නෙ?”

වේදනාවේ දහඩියෙන් තෙත් වූ හසන්තිගේ නළල සිහිල් රෙදි කඩකින් පිසදමමින් රමේෂ් ඇය වෙත නැඹුරුව අසයි.

“එහෙම කරමු.” ඇය එකඟ වෙයි. පැන නැඟිය හැකි හදිසි කරදර ගැන ඇයට මේ අවස්ථාවේ සිහියේ නොවූවත් මෙතෙක් උගත් වෛද්‍ය දැනුමේ ප්‍රතිෂ්ඨාපිතය.

“මං කියන විදියට හැමෝම වැඩ කරන්න. බබාව අපි මිනිත්තු පහෙන් එළියට ගන්නවා.” යයි රමේෂ් කාමරයේ ඉන්නා අයට කියනවා හසන්තිට ඇසුණි.

එක උරහිසක් අසල සිටගත් හෙදියක් දැන් හුස්ම ගන්න දැන් තල්ලු කරන්න යයි හසන්තිට කියයි. හසන්තිගේ කකුල් දෙක ළඟ සිට රමේෂ් ද බබා එන්න ඉතාමත් ළඟයි කියමින් ඇයව දිරිමත් කරයි. ළඟින් ළඟ ඇතිවන ඇඟ හිරිවට්ටන වේදනාව මැදින් ඔවුන් කියන්න හසන්තිට සිහිනෙන් මෙන් ඇසුණි.

කාමරයේ දෝංකාර වන මුල්ම හැඬිල්ල පැතිර යද්දී බබා වඩා‍ගත් රමේෂ්ගේ සිරුර කොතරම් කේඩෑරී වී ඇත්දැයි හසන්තිට සිතුණි. ඔහු බබාගේ සියළු පරීක්ෂණ නිම කරද්දී ඒ සිතුවිල්ලෙන් ඔහු දෙස බලා සිටි ඇය පුදුම වූවාය.

“දුවෙක්. හසන්ති අපිට දුවෙක්.” රමේෂ් හසන්තිගේ ළයට දූ සිඟිත්ත ළං කරයි. දරු පැටියාගේ හැම අංගෝපාංගයක්ම ඉතාමත් කුඩාය.

ප්‍රසූති කාමරය අස්පස් වන්නට වැඩි වේලාවක් නොගියේය. එකා දෙන්නා සතුටු සිනාවෙන් ඉන් පිටව ගියහ. අඩු වයසින් උපන් දරුවා රඳවන්නට වායුසමනය කරන ලද වීදුරු තොටිල්ල ඇඳ අසලය. ප්‍රසූති වෙහෙසෙන් හසන්තිගේ ඇස් පියවෙද්දී ඇය හා ළඟින්ම වැතිර සිටි රමේෂ් දියණියව තොටිල්ලේ තැන්පත් කළේ පිය සෙනෙහස පිටාර ගලද්දීය. තමන්ට මෙලොව ලැබිය හැකි වටිනාම වස්තුව දායාද කළ හසන්තිගේ විඩාවෙන් නිදියන නෙත් ඇය අවදි ‍නොකර ‍සුමට ලෙසින් ඔහු සිඹගත්තේ ආදරය පිරි මහත් භක්තියෙනි. හසන්තිව සොයා ඇයට කියන්නට ගිය වැදගත් ආරංචිය ඔහුට ද අමතකය.

Advertisements

එක් ප්‍රතිචාරයක් »

  1. […] This post was mentioned on Twitter by Kottu. Kottu said: බ්‍යාමප්‍රභාව 4.20 -බබාව මිනිත්තු පහෙන් එළියට http://bit.ly/bAdFIA […]

    පින්ග්කිරීම විසින් Tweets that mention බ්‍යාමප්‍රභාව 4.20 -බබාව මිනිත්තු පහෙන් එළියට « Sinhala story Blog -- Topsy.com — මැයි 15, 2010 @ 4:34 ප.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: