Sinhala story Blog

මැයි 14, 2010

බ්‍යාමප්‍රභාව 4.19 -ලෝක පාලනයට පරිගණක ගේම්

Filed under: Uncategorized — sinhalashortstories @ 9:44 පෙ.ව.

ඕදිරිස් හිරමනය කොතැන දැම්මා දැයි සොයා ගන්නට සංජීවනීත් රුක්ෂානිත් පැය දෙකක පමණ කාලයක් ගෙවා දැමූහ.

අළුත් බවේ ඔප මැකී නොගිය පළතුරු යුෂ කරන යන්ත්‍ර, ආහාර කලවම් කරන යන්ත්‍ර, පාන් අනන යන්ත්‍ර, ආහාර කැබලි කරන යන්ත්‍ර වැනි කුඩා විදුලියෙන් ක්‍රියා කරවන ආම්පන්න ගණනාවක් කබඩ් වල තැන්පත් වී තිබුණි. ඒවා සියල්ල අස්සේ මුල්ලකට වී හැංඟී විදුලියෙන් නොමැතිව අතින් භාවිතා කළ යුතු කොකිස් අච්චුවත් ඕදිරිස් හිරමනයත් විය.

“මං පොල් ගෙඩි තුනක් ගෙනාවා.”

සාගර ඝන රෙදි මළු දෙකක පිරුණු අඩුම කුඩුම උස්සාගෙන ගෙට ගොඩවදිමින් කියයි.

“සාගර මෙහෙදි පොල් අරන් තියන හැඩයි.” සංජීවනී කියන්නේ පොල් ගෙඩියක් අතට රැගෙන වතුර කැළතෙනවා ඇසේදැයි බලන්නට එය හොළවමිනි.

“මං ඉස්සර සේරම උයන්න ලෑස්ති කරලා පොල් ගෙඩිය පැලුවාමයි නරක් වෙලා කියල දැනගන්නෙ.” සාගර පොල් ගෙඩිය පළන්නට පිහියේ මුවහත නැති පැත්තෙන් තට්ටුවක් දෙයි.

“ඔයාල පොල් අරිනවා ද? මං කවදාවත් පොල් අරිනවා දැකල නෑ. මං එනකම් පොඩ්ඩක් ඉන්න, පොඩ්ඩක් ඉන්න.”

කිහිල්ලේ ගසා ගත් රතු වයින් බෝතලයක් ද, එම අතේම තවත් සුදු වයින් බෝතලයක් ද, අනිත් අල්ලේ සමබර කරගනිමින් නොවැටී යා සේ උසුලා ගත් එකිනෙක මත පැටවුනු කඩදාසි පෙට්ටි කිහිපයක් ද රැගත් ෆ්ලෝරියන් ගෙට ගොඩවැදුනේ සාගරට ඇරුණු දොර රුක්ෂානි අතින් වැහෙන්නට පෙරය.

සංජීවනී ෆ්ලෝරියන් අතැති මුදුනත වූ පෙට්ටිය ගෙන හැර බලයි. ලන්ඩනයේ හාර්වි නිකොල්ස් වෙතින් ගත් පෙට්‍රෝසියන් රෝයල් ඔසෙට්‍රා කැවියාර් සහිත රවුම් කුඩා නිල් පැහැති ටින් එකක් ආරක්ෂාවට වූ කෙඳි ගොඩක් මැද.

“රොටි එක්ක කන්න කැවියාර්!” එය රුක්ෂානිට පෙන්වන සංජීවනී කියයි.

“රෝයල් ඔසෙට්‍රා!” රවුම් නිල් ටින් පෙට්ටිය හඳුනාගත් රුක්ෂානි කියයි.

“මගේ අනඝි කෙල්ලට අනඝි කෑම දෙන්න ඕනානෙ.” ෆ්ලෝරියන් රතු වයින් බෝතලය රුක්ෂානිට දී සුදු වයින් බෝතලය සීතකරණයට දමයි.

“වොස්නෙ ක්ලොස් ඩෙ රියාස් ග්‍රොස්.” බර්ගන්ඩි වයින් බෝතලයේ නම කියවා රුක්ෂානි ප්‍රශ්නාර්ථයෙන් ඇහි බැමි ඉහළට යවයි.

“නම විහිළුවක් වගේ නිසයි ගත්තෙ.” ෆ්ලෝරියාන් කියන්නෙ එහි හොඳ නරක තමන් නොදන්නා බව තහවුරු කරන්නට උරහිස් ද හකුලවමිනි.

“ට්‍රෆල් බ්‍රී චීස් එක්ක කට දවන කට්ට සම්බල් ගාපු රොටි, මාර රහයි. කියලා වැඩක් නෑ.” සාගර තවත් පෙට්ටියක් ඇර අතට ගත් කේජු කෑල්ල දිහා බලා කටට උනපු කෙළ ගිලියි.

“මෙයා ලෝලාගෙ කුස්සියෙන් කෝප්ප කේක් හිටන් අරන් ඇවිත්.” ‍විවිධ පාටින්, විවිධ රසයන්ගෙන් හැඩවුනු කුඩා කේක් කෝප්ප බලන්නට හැමෝම සංජීවනී වටා එකතු වූහ.

“ඉක්මණට අරිමු පොල් ගෙඩිය.” සාගරට කේක් දැකලා බඩගින්න වැඩිවෙලා ද කොහෙද. “මේ තියන්නෙ වඳුරාගෙ මුහුණ.” ඔහු ෆ්ලෝරියන් වෙතට පොල් ගෙඩිය විස්තර කර දෙයි. “මේ ඇස්. මේ කට. ඇස් දෙක ඉස්සරහට තියලා කට තමන්ගේ පැත්තට හරවලා මේ දාරයට තදින් පහරක් දුන්නම…” ඔහු පිහියේ මොට පැත්තෙන් දාරයට පහරක් දෙයි. “…මෙන්න මේ විදියට ගානට දෙකට පැළෙනවා.”

ඝනකම කට්ට ඇති පොල් ගෙඩිය එසේ පින්තූරයක මෙන් දෙකට බෙදී යාම ෆ්ලෝරියන්ට විජ්ජාවකි. සාගර එක් බෑයක් අරගෙන ඕදිරිස් හිරමනයෙන් පොල් ගාද්දී ෆ්ලෝරියන් අනිත් බෑය හැම අතටම හරවමින් හැඩ බලයි.

“හිරමන නැති කාලේ මම පොල් සම්බෝල හැදුවේ ගෑරුප්පුවෙන් හූරලා.” සාගර හිරමනය කරකවමින් කියයි.

කට්ට ‍සම්බෝලයට උම්බලකඩ එකතු කළ සංජීවනී කුඩා ගල් වංගෙඩියත් එය කොටන්නට කුඩා ලී මෝල් ගහත් ෆ්ලෝරියන් ඉදිරියෙන් කවුන්ටරය මත තබයි. ඔහුගේ අතක් වංගෙඩිය වටා යවා අනිත් අතින් කොටන ආකාරය ඇය පෙන්වා දෙන්නීය. ෆ්ලෝරියන්ගේ ඇස් රතු වන්නට තත්පරයක් ගතවූයේ නැත. ඉතිරිය කොටන්නට සංජීවනීට සිදුවිය.

රුක්ෂානි කුරහන් පිටි හා ලුණු භාජනයකට දමා ඔලිව් තෙල් බෝතලයක් ද ඇරගෙන සාගර ගෑ පොල් ඊට එකතු කරයි. පොල් ගා අවසන් කළ සාගර කෑම මේසයට පිඟන්, වීදුරු, අත පිස්නා හා හැඳි ගෑරුප්පු තබයි.

“මට වැදගත් ආරංචියක් බෙදා ගන්න තියෙනවා.” රුක්ෂානි රොටි ඇනීම සංජීවනීට බාර දෙමින් කියයි.

“අපිටත් වැදගත් ආරංචියක් කියන්න තියෙනවා.” ෆ්ලෝරියන් කියද්දී සංජීවනීගේ මුහුණ සතුටින් පිරී ඉතිරී යයි.

“ඔයා ඉස්සෙල්ලා.” සංජිවනී රුක්ෂානිට ඉඩ දෙන්නීය.

“ෆැන්ටෑස්ටික් ගේම්ස් දැන් අයිති අපිට.” රුක්ෂානි කිව්වේ සාගර ළඟට අවුත් ඔහුගේ බඳ වටා අතක් යවමිනි.

ෆ්ලෝරියන් ඔවුන් දෙදෙනාට අතට අත දෙයි. සංජීවනී රුක්ෂානිව බදාගෙන සතුට ප්‍රකාශ කරන්නීය.

“අපි දෙන්න තීරණය කළා සංජීවනීගේ දික්කසාදයට ඉල්ලුම් කරන්න. ඒක ලැබුනම අපි දෙන්න විවාහ වෙනවා.” පොල් එකතු කර රොටි අනන සංජීවනීගේ බඳවටා අතක් යවා ඇයව තම තුරුලට ගත් ෆ්ලෝරියන් කියයි.

සාගර වයින් වීදුරු වලට ෆ්ලෝරියන් ගෙනා බර්ගන්ඩි වයින් වත්කර දුන්නේය. ඔව්හු සවිදිය පුරමින් අනාගතයට ජය පැතූහ.

“අන්තර්ජාලයෙන් දික්කසාදය ඉල්ලුම් කරන්න පුළුවන්. රැ‍ජිනගෙ උසාවි සේවයට ගිහින් ඩී8 ඉල්ලුම් පත්‍රය දාලා, නයිසයි තීන්දුවක් අරගෙන ඊ ළඟට පූර්ණ නයිසයි ආඥාව ලැබුනම ඔක්කොම හරි.” ෆ්ලෝරියන් පැහැදිලි කරන්නේ එය ඉතාමත් සරල ක්‍රියාපටිපාටියක් සේය.

පර්සිගේ හැටි දන්නා සංජීවනී නිහඬය. දික්කසාදයට සරිලන හේතු උසාවිය පිළිගනු ඇත. එහෙත් පහසුවෙන් එය ලබාගැනීමට පර්සි හා හැකිවේවිදැයි සංජීවනීට සැකයි.

“අපි එයාට සල්ලි දීලා හරි කැමති කරවා ගනිමු.” සංජීවනී වෙත ළං වූ රුක්ෂානි හෙමිහිට සිංහලෙන් මිමිණුවාය.

“රුකී අළුත්ම ගේම් එකකට අත දාන්නයි යන්නෙ.” සිය වයින් වීදුරුව ඔසවා රුක්ෂානිගේ නව වෑයමට සව්දිය පුරා සාගර පවසයි.

“‍ලෝක පාලනයට පරිගණක සෙල්ලමක්.” සංජීවනී අනා පැතලි කරදුන් රොටිය තැටියේ පුච්චමින් රුක්ෂානි විස්තර කරයි.

“පොඩි අයට නෙමේ එහෙනම්?” ෆ්ලෝරියන් ද රොටියක් බෝල කරන්නට උත්සාහයක.

“කැමති ඕන කෙනෙකුට. ලෝකෙ ඕනම රටක පාලනයට. චන්දය දිනලා තෝරලා පත්වෙන්න තරඟ කරන රට ගැන දැනුමකුත් ඕනා. තරඟ කරන අනිත් අය තමයි චන්දෙ දෙන්නෙ. ජනප්‍රිය ද කියලා තීරණය කරන්නෙ. දක්ෂකම් වඩවා ගන්න එක එක සමාජ සේවා දිනාගන්නත්, මහජන ගැටළු වලට විසඳුම් එහෙම තෝර ගන්නත් ඉඩ ලැබෙනවා සෙල්ලම් කරගෙන යනකොට. එක එක ලෙවල් වල දී දිනා ගන්න විදියට ලකුණු වැටෙන්නෙ.” රුක්ෂානි පිසුණු රොටි පිඟානක ගොඩ ගසයි.

“රට රටවල් වල තියන නීති, ඒ ඒ රටට ආවේනික මහජන මත ගැන විස්තර ගොඩක් හොයා ගන්න වෙයි.” අතේ ඇති රොටි බෝලය කෙල්ලො දෙන්නාට නොපෙනෙන්නට සාගර සමඟ පාස්කර ගනිමින් ෆ්ලෝරියන් කියයි.

“මුලින් වැඩ ගොඩක් කරන්න වෙනවා. ඇත්ත.” රුක්ෂානි සංජීවනීගේ අතින් ගත් අන්තිම රොටිය තැටියේ රඳවයි.

සංජීවනී හිස් භාජනයට වතුර මඳක් පුරවා අත් සෝදා ගත්තීය. දැන් රොටි බෝලය සාගර හා පාස් කරමින් සිටි ෆ්ලෝරියන් එයට කුමක් කරනුදැයි සිතාගත නොහැකිව නිරුත්තරය.

“දේශපාලනය උගන්වන්න හොඳ ගේම් එකක් වෙයි.” සංජීවනී කෑම මේසයේ පුටුවක් ඇද එහි වාඩි වෙමින් කිව්වාය.

සංජීවනී පිටුපසින් මේසයට ළං වූ ෆ්ලෝරියන් ඔහු අත වූ ‍රොටි බෝලය සාගර වෙත විසිකර ඉක්මණින් සංජීවනී ළඟින්ම පුටුවක් ඇද වාඩි වූයේය. හුස්නෙන් නැඟිටි සාගරගේ මුහුණේ සිනාවකි. ඔහු රුක්ෂානිට උදව් කරන්නට යන වෙසින් ගොස් රොටි බෝලය කුණු බාක්කියට දමා අ‍ාවේය.

රොටි පිඟාන හිස්වන්නට වැඩි කාලයක් ගෙවී ගියේ නැත. කට්ට සම්බෝල නොපෙනෙන තරම් ඇබිත්තක් ‍රොටියේ තවරා ගත් ෆ්ලෝරියන්ගේ ඇස් වලින් බේරෙන කඳුළු මැද්දේ ඔහු පසු බැස්සේ නැත. ටිකින් ටික තවරා ගන්නා ප්‍රමාණය වැඩි කරන්නට ඔහු උත්සාහ ගති. වයින් වීදුරු හිස් වන්නට විය. කැවියාර් ඩිංග රස බලන්නට පමණකි. කේජු ගෙඩියේ නිමාවත් සමඟ අන්තිම රොටිය හතරට කඩා ඔව්හු බෙදා ගත්හ.

සීතල වූ සුදු වයින් බෝතලය හා කෝප්ප කේක් ද රස බලමින් ඔවුන් හතරදෙනා අනාගතය සැලසුම් කරමින් රෑ පහන් වෙනතුරු කතාබහේ යෙදී සිටියහ.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: