Sinhala story Blog

මැයි 12, 2010

බ්‍යාමප්‍රභාව 4.18 -මං කිව්වා රූ රැජිනක් කෝච්චියේ එනවා කියල

Filed under: Uncategorized — sinhalashortstories @ 10:11 පෙ.ව.

ලන්ඩනයෙන් නැඟි කෝච්චිය මුහුද යටින් දුවද්දී සංජීවනී හොඳටම නිදි.

අවදියෙන් ඉන්න ඇය හිතාගත්තට පැද්දෙන වැනෙන තාලයක් නැතිවත් එය ගමන් කරන බව එයාගෙ ඇඟට දැනුන. ෆ්ලෝරියන්ගෙ ඇඟට හේත්තු වූ බව පවා ඇය නොදනියි. ඇය අවදි වෙයි බයෙන් ඔහු නිසොල්මන්ව සිටියත් මිනිත්තු දහයක් පහළොවක් යද්දීම ඇය තද නින්දේ පසුවන බව වටහාගත් ඔහු ආසනයේ මඳක් ලිස්සා ගොස් සංජීවනීගේ හිස තම උරහිසට වැටෙන සේ තබාගෙන නින්දට ගියේය.

පැරිසියේ දී කෝච්චියෙන් බැස්ස දෙදෙනා අයි‍ෆල් ටවර් එක මුළුමනින්ම පෙනෙන මානයක වූ එළිමහනේ කෝපි කඩයකට වැදී නොයෙක් හැඩයෙන්, නොයෙක් රසයෙන් වූ බේකරි කෑම රස බැලූහ. තම කටට කිට්ටු කරද්දී පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න යයි කියනා ෆ‍්ලෝරියන් ආහාරයෙන් කැබැල්ලක් කඩා ඔහුගේ කටට දමා ගනියි. ඇය ඉල්ලන්නටත් පෙර ඔහු රස බලන අහරෙන් කෑල්ලක් ඇයගේ මුව වෙත දිගු කරයි. කට ඇර එය ගිලින්නට හදනා විටම ඔහු එය වහා ඉවත් කරගෙන ඔහුගේ කටට දමා ගිලියි.

දෙදෙනාටම වටපිටාව අමතකය. පැරිසිය බලන්නට එන සංචාරකයෝ මෙන් ආර්ක් ඩ ට්‍රියෝම්ෆ් නැඟ පැරිසිය බලන්නට, ලුව්ර්ස් කෞතුකාගාරයේ මෝනා ලීසා බලන්නට හෝ පොම්පිඩූ කේන්ද්‍රයේ නවීන කලා කෘති නරඹන්නට යෑමට ඔවුනට ඕනෑකමක් නැත. ඔවුන් දෙදෙනා සවස් කාලයේ තවත් කෝච්චියක් අල්ලා ගන්නා තෙක් එළිමහන් සුවය වින්ඳහ.

ජර්මනිය බලා යන කෝච්චිය ඩොයිෂ භාන් දුම්රිය කවුන්ටරයේ කාල සටහනේ සඳහන් වූ ආකාරයට නියමිත තත්පරයටම වේදිකාවෙන් පිටත් වුනි. කිලෝ මීටර් දෙකක් පමණ දිර්ඝ දුම්රිය වේදිකාවෙන් කෝච්චිය ඉක්ම යන්නටත් පෙර සංජීවනී නැවතත් තද නින්දේ. මෙවර ෆ්ලෝරියන් තමන් කියවන්නට ගෙනා සඟරාව ඔඩොක්කුවේ දිගහැර ගෙනය. සිය උරහිසට හිස තබා නිදියන සුරතලිය ඔහුගේ සිත සතුටින් පුරවයි. සඟරාව කියවනවා වෙනුවට ඔහු තනිවම මුවඟ ඇ‍ඳෙන සිනාවෙන් පසුවෙයි.

පැයකට කිලෝ මීටර් 300 කට අධික වේගයකින් ගමන් කළ කෝච්චිය ඉඳහිට පැත්තකට ඇදී යද්දී පමණක් එය ගමන් කරන්නේ යයි හැ‍ඟේ. ඇසිපිය හෙළන්නට පෙර අනිත් පැත්තට ඇදෙන තවත් කෝච්චියක් පසුකරයි. කහ පාටින් පිරි අබ වතු යායවල් වේගයෙන් පසුකරගෙන යයි. තැනින් තැන රේල් පාරට මුහුණ ලා ක්ලයින් ගාඩ්න් නැමති කුඩා ගෙවතු දකිනු හැකිය. ඒවායේ උදළු ගාන, පැළ තවාන් කරන අය මෙන්ම කෝච්චිය යන පැත්තට හැරි ඇඳි පුටුවක් තබාගත්තෙක් බියර් කෑන් එකක් තොල ගාමින් විවේකයෙන් පසුවෙන අන්දම ද පෙනේ. පෙනෙන මානයක නිවසක් නොමැති මිටියාවත් මැදින් තනිවම හෝ සුනඛයෙක් සමඟ හෝ ඇවිදිනා අයෙක් දෙන්නෙක් ද පෙනී නොපෙනී යයි.

පැරිසියේ සිට මියුනික් එන්නට ඔවුන්ට ගත වූයේ පැය හයකි. මියුනික් සිට බොඩෙන්සී පැත්තට ඇදෙන, වැනෙන, හති දමන හා තැන තැන මඳක් නවතින දුම්රියක් ඔවුනට ලැබුණි. රේල් පාර අවට එක් රොක් වූ ගම්වැසියෝ උස් ගසින් පිරුණු කැලෑවේ තැනින් තැන අටවාගත් දූරදර්ශක කාච අමුණාගත් කැමරා වලින් පින්තූර ගනිති.

“මං කිව්වා රූ රැජිනක් අද මේ කෝච්චියේ එනවා කියල ගමේ අයට.”

ෆ්ලොරියන් ඔවුනට අත වනයි.

“ඔයත් අත වනන්න. නැත්නම් පත්තරේ වැටෙයි අහංකාරයි කියල.” ඔහු ඇයගේ අත ඔසවා කියයි.

පරිසරය දැකුම්කළුය. පිරිසිදුය. නගරයෙන් පැහැදිලිවම වෙනස් වූ ගැමි වාතාවරණය හුවා දක්වයි.

“මුළු ජර්මනියම දුම් ගහන කාර්මික රටක් කියල මම හිතාගෙන හිටියෙ.”

ෆ්ලෝරියන්ගේ පවුලේ අය හා කතාබහේ දී සංජීවනි කියා සිටියාය.

“මෙයා කොහෙද රට දැක්කෙ. නැඟ්ග වෙලාවෙ හිටන් නාර්කොලෙප්සිකාරයෙක් වගේ ගොරව ගොරවා බුදි. හරිම හුබ්ෂ්.” ෆ්ලෝරියන් සිය සහෝදර සහෝදරියන්ට කියයි.

“මොකක්ද ඒ?” සංජීවනී අසයි.

“හුබ්ෂ් කියන්නෙ හරි සුරුබුහුටියි.” ඔහු දඟකාර ලෙසින් කියයි.

“නෑ…අනික….?” ඇයගේ වාක්‍යය අතරමැද නැවතී ඇත. ඔවුන් ඇය දිහා බලාගෙන ඇය වාක්‍යය අවසන් කරන තුරු සිටියි. ජර්මන් භාෂාවේ වාක්‍යයක අවසානය ඉතා වැදගත්ය.

“ෆ්ලෝරියන් ඔයා මම කවුරු වගේ නිදාගත්තයි කියල ද කිව්වෙ?” ඇය මෙවර අසයි.

“මේ කැරින්. මගෙ හතරවෙනි ලොකු අක්කා. එයා තමයි පවුලෙ දොස්තර. කැරින් කියන්න මෙයාට.” ඔහු කැරින්ගේ කරවට අතක් දමාගෙන ඇය සංජීවනී අසලින් වාඩි කරවයි.

“නාර්කොලෙප්සි කියන ලෙඩේට මහ දවල්ට නින්ද යනවා.” කැරින් කෙටියෙන් කියයි.

“ජර්මන් වචනයක් ද?” සංජීවනී අසයි.

“නෑ. ජර්මන් වලින් කියන්නෙත් එහෙමයි. ලියන හැටි වෙනස්.”

හැමදාම දැන හඳුනාගෙන සිටියා සේ ෆ්ලෝරියන්ගේ පවුලේ අය පැමිණ සංජීවනී හා කතාබහේ යෙදෙති. දවස පුරාම කෑමක් බීමක් රැගෙන ලොකු කුඩා දරුවන් හා මහ ගෙදරට ගොඩ වදිනා ‍සහෝදර සහෝදරියන්ගේ නම් හා මුහුණු මතකයේ තබාගත නොහැකි වේ යයි සංජීවනී කලබල වුනාය. එහෙත් ඔවුන් නැවත නැවත තමන් කවුන්දැයි හඳුන්වා‍ දෙමින් ඇය හා කතාබහ කරති. ලංකාවේ විස්තර අසති. එංගලන්තයේ විස්තර අසති. එහෙත් ඇයගේ පෞද්ගලික වූ කිසිත් විස්තරයක් ඇසුවේ නැත.

ඊ ළඟ දිනයේ කැරින් පැමිණ ඉංග්‍රීසියෙන් නාර්කොලෙප්සියාව ගැන ලියූ විස්තර පත්‍රිකාවක් සංජිවනී අත තැබුවාය. එය කියවා බැලූ සංජීවනී මහත් පුදුමයට පත් වූවාය. තම දෙමාපියන් වසර විස්සක් නොදත් රෝගය, වෛද්‍යවරයෙක් හා වසර හතරකට වඩා විවාහ වී සිටියත් ඔහු හඳුනා නොගත් රෝගය, මේ විකට ගති ඇති ආධුනික සංගීතඥයා එක කෝච්චි ගමනින් අනුමාන කරනු ලැබීය. මෙතෙක් කාලයකට හරියාකාරව සංජීවනී දිහා බලා ඇත්තේ ෆ්ලෝරියන් පමණක් ද?

Advertisements

ප්‍රතිචාර 4 »

  1. බොහෝම ස්තුතියි හැමදාම කොටසක් දානවට.
    නැත්තන් මම සැහෙන සැරයක් එනවා, ඊලග කොටස දාලද බලනව, නැති උනාම හරිම දුකක් දැනෙනවා.

    ප්‍රතිචාර විසින් mier — මැයි 12, 2010 @ 2:48 ප.ව.

    • mier, සමාවෙන්න අළුත් කොටසක් නොදැම්මට. අද වොෂිංටන් ගිහින් එන්න වුනා. වැඩ ගොඩක් සහ දුර ගමනක්. ඉතින් මහන්සියි. පරණ ෆොන්ට් එකකින් (cps 165) ඔරිජිනල් කතාව ලිව්ව නිසා කොපි පේස්ට් කරන්න හෝ කොන්වර්ට් කරන්න ලේසි ක්‍රමයක් හොයාගන නැහැ. අළුතින්ම යුන‍ිකෝඩ වලින් වැරදිත් හරිගස්සලා ආයෙත් ටයිප් කරන නිසයි එක එක පෝස්ට් එක දාන්න කාලේ යන්නෙ. ඉතිරිය පරක්කු කරන්නෙ නැතිව දිගටම දාන්නම්.

      ප්‍රතිචාර විසින් sinhalashortstories — මැයි 13, 2010 @ 7:29 ප.ව.

      • ඔබ තුමිය මෙහෙම මහන්සි වෙලා අපිට ඉතාමත් රසවත් නවකතාවක් කියවීමේ අවස්ථාව ලබා දෙනවට බොහොම පින්, පොත් සිය ගානක් කියවලා තියෙන මගෙ හිත පුදුම විදියට බැදුනු කතාවක් මේක

        ප්‍රතිචාර විසින් mier — මැයි 15, 2010 @ 10:40 පෙ.ව.

  2. […] This post was mentioned on Twitter by Kottu. Kottu said: බ්‍යාමප්‍රභාව 4.18 -මං කිව්වා රූ රැජිනක් කෝච්චියේ එනවා කියල http://bit.ly/9JFWjW […]

    පින්ග්කිරීම විසින් Tweets that mention බ්‍යාමප්‍රභාව 4.18 -මං කිව්වා රූ රැජිනක් කෝච්චියේ එනවා කියල « Sinhala story Blog -- Topsy.com — මැයි 13, 2010 @ 2:45 ප.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: