Sinhala story Blog

මැයි 4, 2010

බ්‍යාමප්‍රභාව 4.15 -අපි බහාමාස්වල පදිංචියට යනවා

Filed under: Uncategorized — sinhalashortstories @ 10:20 පෙ.ව.

“අපි බිස්නස් එක විකුණලා විශ්‍රාම යන්න ලෑස්තියි,” සම්මන්ත්‍රණ කාමරයේ උන් වයසකම තැනැත්තා ළඟ පෙනෙන උපැස් යුවල ගලවා අතේ රඳවා ගෙන රුක්ෂානිට කිව්වේ කතාබහ පටන් ගන්න.

“තවම විකුණන බව කාටවත් කියලා නෑ,” තරබාරු වූ දෙවැනි අයිතිකාරයා ද කතාවට එක්වෙයි.

“ඔයාට මුලින්ම කියන්නෙ මේක විකුණන එකත් ඔයාටම බාර දෙන්නයි,” ෆැන්ටෑස්ටික් ගේම්ස් අයිතිකරුවන් අතර තුන්වැන්නා වූ අනිත් දෙදෙනාට වඩා වයසින් බාල සුද්දා ඇඟිලි බැඳගෙන කතාවට සම්මාදම.

රුක්ෂානි කිසිවක් නොකියා සවන් දෙන්නීය. ආනන්ද අතුරුපාන ගණුදෙනු හෝ ගිවිසුම් ගහද්දී තමන් කිසිවක් නොකියා මහත් වේලාවක් අනුන් කියන්න අසා සිටියෙකි. සමහර හමුවීම්වල දී ඔහුව නොදන්නා අය මේ ආසියානුවාට අපි කියන දෙයක් වැටහෙන්නේ නැත්දැයි සිතුණු අවස්ථා බොහොමයකි. ඒ නිසා තව තවත් පැහැදිලි කර කියන්නට උත්සාහ කරන ඔවුන් අතින් ඉදිරිපත් කරන්නට ‍නොසිතූ කරුණු කාරණා බොහොමයක් දැන ගන්නට ආනන්දට හැකිවිය. ඒ හුරුව වඩවා ගත් රුක්ෂානි ද ඔළුව වනමින් මේ විශ්‍රාම යන්නට සූදානම් වන බ්‍රිතාන්‍ය උසස් පෙළේ රදළයින්ගේ බහට නිහඬව සවන් දෙන්නීය.

තරබාරු අයිතිකාරයා ඔහු ඉදිරිපිට ඇති ලාභ පාඩු ගණන් ලියන ලද ආයතනයේ පිරිවැය වාර්තාවක පිටු පෙරළන්නේ එයින් කියන්නට යමක් සොයාගන්නට මෙනි.

“අපේ ආයතනය සෑහෙන දුරකට වැඩි දියුණු වුනේ මිස් අතුරුපාන ආවට පස්සෙ. ඉතින් අපි ඒක සැලකිල්ලට ගන්න ඕන,” ඔහු අවසානයේ වාර්තාවේ කොළ පෙරළීම නවත්වා කියයි.

“සුදුසු මිල තීරණය කළාට පස්සෙ අපි විකුණන බව ප්‍රසිද්ධ කරන්නෙ,” වයසින් වැඩි අයිතිකරුවා කියයි.

“මිස් අතුරුපාන බිස්නස් එකත් එක්ක ඉන්නවා ද නැද්ද කියන එක විකුණන ගණුදෙනු වලට ඇතුලත් කරන්න අවශ්‍යද? නැත්නම් ලොකු සහනාධාර පැකේජ් එකක් ලබාගෙන මිස් අතුරුපානත් වෙනත් ආයතනයකට යන්න කැමතිද?” තරබාරු පුද්ගලයා අනිත් දෙදෙනා දෙස බලමින් කියන්නේ තමන් වැරදි මඟක යන්නේ නැති බවට ඔවුන්ගේ අනුමැතිය ලබනු සඳහාය.

“දැන් තීරණය කරන්න ඕන නෑ. අපි මේ අදහස් විමසා බැලීමක් පමණයි අද කරන්නෙ,” ‍වයසක සුද්දා රුක්ෂානිට කිසිත් කියන්නට ඉඩ නොතබා කියාගෙන යයි.

“අපි බහාමාස්වල පදිංචියට යනවා. දේශගුණය හොඳ නිසා. ආදායම් බදු වාසිත් නිසා,” තුන්වැන්නා කතාව පටන් ගත්තේය. “ඉක්මණට විකිණීම වැදගත්. වැඩි ලාබයක් ලබන්න කාලයක් වෙළඳපොලේ ඉදිරිපත් කරලා තියෙනවාට වඩා,” ඔහු කියා සිටියි.

“ඉක්මන් වුනාට පාඩු නොවෙන්න,” වයෝවෘද්ධයා කියවන උපැස් යුවළ යළි රඳවා ගෙන පිරිවැය වාර්තාවේ පිටුවක් දිහා ඇස් යොමු කරයි.

“ඔයාගෙ නිෂ්පාදනවල අයිතිය වෙනම විකිණීම හෝ තබා ගැනීම ඔයාගෙ කැමැත්ත,” එක් අයෙක් කියයි.

“මෙතන දිගටම ඉන්නවාද නැද්ද කියන එක වගේම,” අනෙකා ද හවුල් වෙයි.

ඔවුන් සියල්ලයන්ම මඳ නිහැඬියාවක නියැළුනහ. රුක්ෂානි ආයතන වෙනුවෙන් මහත් කාර්යභාරයක් ඉටු කරදී ඇත. එය ආයතනයේ කිසිවකුටත් රහසක් නොවේ. ඇය ඒ සඳහා සැලකිය යුතු වේතනයක්ද, ගමන් බිමන් වැය ඇතුළු කිසිවකුගෙන් අවසර නොගෙන ඉහළ වියදම් දැරීමට බලතලද සතුවෙයි. නමුත් අයිතිකරුවන්ට ඔවුන් කැමැති පරිදි ඇයගෙන් කිසිත් නොවිමසා ආයතනය විකුණා දැමීමේ අයිතිය ඇත. එය මෙම සම්මන්ත්‍රණ මේසය වටා රැස්ව ඉන්නා හතරදෙනාම දනිති.

“ෆැන්ටෑස්ටික් ගේම්ස් මම මිල දී ගත්තොත්?” ඇය කටහඬ අවදි කරයි.

වැඩිමහල්ලා කණ්ණාඩි කුට්ටමට ඉහළින් ඇය දෙස බලයි. තරබරු දෙවැන්නා වාර්තා පොත් සියල්ලම එකතු කර ගනියි. පුදුමයට පත් ඔවුන් අතර සිටි බාලයා රුක්ෂානි දිහා ඇහිපිය නොගසා බලා සිටියේ තමාගේ මුව විවර බව නොදැන.

“මගේ දෙමාපියන්ගෙ ගුවන් අනතුරට මට ගුවන් සේවයෙන් වන්දි මුදල් ලැබුණ. ඒ වගේම මට උරුමයෙන් ලැබිච්ච දෙමාපියන්ගෙ ධනය එක්ක ඔක්කොම එකතු කරලා මට ෆැන්ටෑස්ටික් ගේම්ස් මිල දී ගන්න හැකියාව ඇතිදැයි සොයලා බලන්න සතියක් දෙන්න,” ඇය කියයි.

ඇය දක්ෂ තැනැත්තියක් බව ඔව්හු දනිති. එහෙත් ඇය මෙතරම් ධනවත් යුවතියක් යයි ඔවුන් කිසිදා නොසිතුවකි. එකිනෙකාගේ මුහුණු බලාගත් ඔවුන් කතා බහෙන් තොරව එකඟතාවයට ආහ.

“සතියක් යනකම් අපි කිසිම තීරණයක් නොගෙන ඉන්නම්. අපිත් බලාපොරොත්තු වෙනවා මේ ගැන මිස් අතුරුපානත් කාටවත් නොකියයි කියල.”

රුක්ෂානි අසුනින් නැඟිට්ට සැනින් ඔවුන් තිදෙනම අසුන්වලින් නැඟිට ඇයට අතට අත දුන්හ.

“බහාමාස්වල මොන දූපතටද යන්නෙ?”

ඇය දොර අසල නැවතී අසුන්ගත් ඔවුන් වෙත හැරී අසයි. ඇයගේ ධනවත්කම ගැන තවමත් විමතියට පත්ව සිටින ඔවුන් නිහඬයි.

“නැසෝ ද? බිමිනි ද?” ඇය අසයි.

“ග්‍රෑන්ඩ් බහාමාස්,” තුන්දෙනාම එකවර කියූහ.

ඇය සම්මන්ත්‍රණ කාමරයේ දොර වසා පිටත්ව ගිය පසුත් ඔවුන් ආපසු වාඩිගත් අසුන් වලම නිහඬව වාඩිවී ඉලක්කයක් නොමැතිව බලාගත් අත බලාගෙන සිටියහ. වෙනස්වන ලෝකය ඔවුනට වටහා ගත නොහැකියි. ඔවුනට විශ්‍රාම යන්නට සුදුසු කාලය නිසැකව පැමිණ ඇත.

ප්‍රතිචාර 4 »

  1. Very interesting story.

    ප්‍රතිචාර විසින් Jayakody — මැයි 4, 2010 @ 9:01 ප.ව.

  2. Just want to say what a great blog you got here!
    I’ve been around for quite a lot of time, but finally decided to show my appreciation of your work!

    Thumbs up, and keep it going!

    Cheers
    Christian, iwspo.net

    ප්‍රතිචාර විසින් Preecyjep — මැයි 15, 2010 @ 7:01 ප.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: