Sinhala story Blog

අප්‍රේල් 30, 2010

බ්‍යාමප්‍රභාව 4.14 -හිනාවෙද්දි දෙන්නම හිනාවෙන්නෙ ඔය

Filed under: Uncategorized — sinhalashortstories @ 8:41 පෙ.ව.

රුක්ෂානි ලන්ඩනයෙන් එවා තිබුණ ආනියා හින්ඩමාර්ක් බෑග් දෙක ප්‍රීනිට තේරුම් ගත නොහැකිය. ඕක්ලේ නමින් වූ තඩි අත් බෑගය දරුවන්ගේ බඩු බාහිරාදිය දමාගෙන යන ගමන බිමන සඳහා යයි රුක්ෂානි ලියා එවා ඇත. එහි කිරි බෝතල් රඳවන්නට වෙන් වූ කොටස්ය. දරුවාගේ නැපිය මාරු කරනු පිණිස දරුවා තබන්නට කුඩා පැදුරක් ද වෙයි. මෙටැලික් රිදියෙන් හා රත්තන් පාටින් වූ මල්ල පවුම් 400 කට කිට්ටු බව ප්‍රීනි සොයා ගත්තීය.

දරුවන්ගේ බඩු දමාගෙන යන ගමනක් ප්‍රීනිට නැත. නිවුන්නු දෙන්නා තාම රැගෙන යන්නේ උවමනාවක් වුවොත් වෛද්‍යවරයකු ළඟට පමණි. ඒ නිසා ඕක්ලේ මල්ල හෑන්ඩ් බෑග් එකක් ලෙසින් පරිහරණයට ඇය තෝරා ගත්තීය. ඇයගේ පාවිච්චියට එවා තිබුණ කුඩා පන්කොළ පර්ස් එක දිහා විමසුම් සිතින් බලා සිටිය ඇයට ඕක්ලේ මල්ල පවුම් 400 කට ළං වෙද්දි මේක පවුම් 225 ක් වුනේ ඇයි දැයි කෙසේවත් සිතාගත නොහැකිය. මෙය ලංකාවේ සංචාරකයන් සඳහා විවෘතව ඇති ඕනෑම දේශීය අත්කම් කඩයකින් රුපියල් 200 කට ගතහැකි පන්කොළ පර්ස් එකක් වැනිය. ආනියා හින්ඩමාර්ක් කවුද කියලා මෙහෙ අය දන්නවායැ. මේ පන්කොළ පර්ස් අරන් ගිහින් මට මෙහෙ හැමෝම හිනාවෙයි. ඇය එයත් නැපි මාරු කරන පැදුරත් අල්මාරියේ පැත්තකින් තැබුවාය.

ක්ලැරින්ස් කවුන්ටරයෙන් ගත් සංජීවනී එවා තිබු නා නා ප්‍රකාර ක්‍රීම් බඳුන් වලින් ඇබිත්ත ඇබිත්ත රැගෙන ප්‍රීනි ඉතා ආසාවෙන් ඇඟ පුරා අතුල්ලන්නීය. මහත් වූ බඩ දැන් නැවතත් කුඩා වෙයි. කුසයේ ඇඳී ඇති හා කළවයන්හි පැතිර ගිය වයිරම් රටා මේ ක්‍රීම් වලින් මැකී යනු ඇතැයි සංජීවනී ලියා එවා තිබුණි. ඒ කෙසේ වෙතත් ක්‍රීම්වල මිහිරි සුවඳ දවස පුරා ඇඟ දැවටීම ප්‍රීනිව සතුටු කරයි.

දරුවන් ගැන ලියූ පොත් කිහිපයක් හසන්ති විසින් එවා තිබුණි. පාර්සලය අරින්නටත් පෙර ඒ පොත් බවත් එය එවා ඇත්තේ හසන්ති බවත් දන්නා ප්‍රීනිගේ මුවේ සිනාවක් නැඟිණ.

“අම්මිටයි අප්පච්චිටයි කියවන්න මෙන්න පොත් වගයක් එවලා හසන්ති.”

“මේ අයියා අඬන්න ගත්තම මල්ලිත් අඬන්නෙ ඇයි කියලා ලියලා තියෙනවා ද හොයන්න රානී.” වික්‍රම පරකඩුව පොතක් දිග හරියි.

“නිවුන්නු නිසා වෙන්නැති. නිවුන්නු ගැන ලියවෙච්ච පොතකුත් මේ තියෙන්නෙ.” ප්‍රීනිගේ අම්මාත් පොතක පිටු පෙරළයි.

“මේකෙ කියලා තියෙන විදියට අළුත උපන් ළමයි වටපිටාවෙ ඉන්න අය අනුකරණය කරනවාලු.” ප්‍රීනිත් පොතක් ඇරගෙන කියවයි.

“එහෙනම් අපිට තියෙන්නෙ අයියා ඇඬුව ගමන් අයියව වෙන පැත්තකට අරන් යන්න.” ප්‍රීනිගේ අප්පච්චි ඔහුගේ පොතින් දෙනෙත් මෑත් නොකරම කියයි.

“ආ..ඒක නම් හරි. හිනාවෙද්දි දෙන්නම හිනාවෙන්නෙ ඔය.” තමාගේ ඔඩොක්කුවේ වැතිර ඉන්නා මල්ලීත් සිය සැමියාගේ ඔඩොක්කුවේ ඉන්නා අයියාත් දිහා ආදරයෙන් බලා ප්‍රීනිගේ මව කියන්නීය.

ගෙතුලට දිවගිය ප්‍රීනි සමන්ත එවා තිබූ ඩිජිටල් කැම‍රාව රැගෙන දුව අ‍ාවේ සිනහාවෙන් පසුවන පුතුන් දෙදෙනාගෙ පින්තූර ගනු පිණිසය. නිතිපතා අන්තර්ජාලයෙන් පුතුන් දෙදෙනාගේ පින්තූර සමන්ත වෙත යවන්නට ප්‍රීනි අමතක නොකරන්නීය.

“බලන්නකො රානී. මේ පොතේ කියන්නෙ මේ වයසට හිනාවෙන්නෙ නැහැ කියල. මේ වාතේ පිටකරද්දිලු ඔය ඔහොම කට ඇද කරන්නෙ.”

වික්‍රම පරකඩුව පොත පසෙකින් තබා දරුවාව සිය උරහිසට තබා කෙළින් කරයි.

“මුත්තා සරම බේරගන්න හදනවා මල්ලි පැටියො.” රානි පරකඩුව ඇකයේ ඉන්නා දරුවාට සිය සුළැඟිල්ල තදින් අල්ලා ගන්නට දෙමින් සැමියාට විහිළු කරයි.

තම දෙමාපියන් හා දරු දෙදෙනා වටේ කැරකි කැරකී කැමරාව හා හපන්කම් දැක්වූ ප්‍රීනි අනතුරුව අසුනකට බර දී හසුකර ගත් ඡායාරූප නැරඹුවේ දරු දෙදෙනාගේ සුරතල් බෙදා ගන්නට සමන්ත නැති අඩුපාඩුව හිත කොනහද්දීය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: