Sinhala story Blog

අප්‍රේල් 26, 2010

බ්‍යාමප්‍රභාව 4.11 -පිදුරු සෙවිකල පැල්පතේ ඇති සාමේ නැත මහ මන්දිරේ

Filed under: Uncategorized — sinhalashortstories @ 9:20 ප.ව.

“ප්‍රංශ පොලනීසියාව පිහිටා ඇත්තේ ඔස්ට්‍රේලියා මහා ද්වීපයත් දකුණු ඇමෙරිකා මහා ද්වීපයටත් අතර මැද නිරක්ෂයට පහළිනි.

කොන්ඩෙ නැස්ට් සංචාරකයන් ලකුණු ඉහළින්ම ප්‍රධානය කරන සෙන්ට් රීගස් නවාතැන් අතිශයින්ම සුඛෝපභෝගීය. කුඩා කඳුවැටි පසුබිම් කරගත් පුංචි දූපත්වල මුහුදු වතුරේ ඉදිකර ඇති පිදුරු වහලින් නිමැවූ මඩු ආදරයෙන් බැඳුනු දෙදෙනෙකුට ලොව අමතක කර තනිවන්නට හැකි සුවිශේෂී සොඳුරු කැදැලි වෙති. මධුසමය ගෙවනු පිණිස එහි පැමිණ ඇත්තේ රුක්ෂානි හා සාගර දෙදෙනාය.

පිටතින් පිදුරු මඩුවක් සේ ඈතට පෙනුනත් ඇතුලත සුවිසල් සුවපහසු ඇඳ පුටුය. කාමරයටම වෙන් වූ බට්ලර් සේවකයෙක් ද වෙයි. රුක්ෂානිත් සාගරත් සතියේ වැඩි කාලයක් ගත කළේ තමන්ටම වෙන්වූ පිදුරු මඩුවේ එළිපත්තේ වාඩි වී නිල්මැණික් පාටින් දිදිළෙන මුහුදු වතුරට පාද ඔබාගෙන කතාබහේය.

“ගුවන් අනතුරට ලක්වුනු අයව හඳුනාගන්න දන්න ළඟම ඥාතීන්ගේ ජානු පරීක්ෂණ පවත්වද්දී සොයාගත්තු එකම මෘතශරීර කොටසකටවත් මගේ ජානු සම්බන්ධයක් තිබුණේ නැහැ.”

“ගුවන් සේවය මොකද කිව්වෙ?”

“අම්මියි තාත්තියි දෙන්නම ගුවන්යානයට ඇතුල් වුන බවට ආරක්ෂක කැමරා වලින් පැහැදිලිව සටහන් තියෙන එක ඇතියි කිව්ව.”

“ඔයා නෑදෑ වෙන කෙනෙක්ගෙන් ඇහැව්ව ද?”

“නෑදෑ වෙන කෙනෙක් නේද…” රුක්ෂානි සිනාවකින් කීවාය. “වැඩේ මේකනෙ සාගර, නෑදෑ සේරම වෙන කෙනෙක්නෙ දැන් බැලුවම.”

“අහන්න කෙනෙක් ඇත්තෙම නැද්ද?”

“ලොකු මැණිකාගෙන් හරි අමරදාසගෙන් හරි අහන්න හිතුව. ඒත් එයාල නොදන්නවා නම් එයාලට හරි දුකක් හිතෙයි.”

“ගුවන්යානයේ සිටි මඟීන් ගණනට හරියන්න මෘතශරීර හොයාගත්තැයි?”

“නෑ. හොයාගත්තු කොටස් වලිනුත් නොහඳුනාගත් දෙතුන් දෙනෙක් හිටියා.”

“සමහර විට ඔයාගෙ අම්මිවයි තාත්තිවයි හොයා ගන්නත් බැරි වෙන්නැති.”

“ඒක නිසාම තමයි මම කාගෙන්වත් අහන්න ගියෙ නැත්තෙ.”

“ස්මාරකයේ නම් ගැහැව්ව ද?” ඔහු අසයි.

“නෑ. නම් දැම්මෙ නෑ.” ඇය කියයි.

ඔවුන් දෙදෙනාම රැළි නොපෙරෙළන මුහුද වතුරට සමාධි වැද සිටිති.

“මගෙ තාත්තා ගරාජ් එකක අයිතිකාරයෙක්. හෘදයාබාධයකින් තාත්තා හදිසියේම නැතිවෙද්දී ගරාජ් එක අයිය බාරගත්ත. අක්කලා දෙන්නව බන්ඳලා දීලා අයියා බැඳලා අම්මාවත් බලාගෙන මහගෙදර පදිංචිය. මට ඒ ලෙවල් කරන්න කිසිම හිතක් තිබුනෙ නැහැ ඒ දවස්වල.”

කාටවත් කියා නැති තම කතාව බෙදාගනු පිණිස සාගර කටහඬ අවදි කරයි.

“කාර් වලට ආසාව ගරාජ් එකේ දී ලැබෙන්න ඇති.”

“ඔව්. එන හැම වාහනයක් ගැනම මං දන්නවා ඔක්කොම විස්තර. කාර් පිස්සෙක්.”

“රටින් පිටවුනෙ ඇයි?”

“අවුරුදු පහළොවකට විතර කළින් ඉන්දියාවට ගියා අම්මලත් එක්ක වන්දනාවේ. යනකොටම පනින්න තමයි ලෑස්තිවෙලා ගියෙ. ඉන්දියාවෙන් කෝච්චියකට නැඟලා පකිස්තානයේ හයිඩ්‍රාබාද් වෙනකම් යන්න ටිකට් එකට සල්ලි තිබුණ. ලෝක සිතියම ඉගෙන ගත්තෙ මඟදී. දන්න තැනක නමක් ඇහුනම එහෙ තමයි යන්නෙ කියලා නැඟ්ගා එක්කන් යන ඕනම වාහනයකට. කන්න කවුරු හරි දුක හිතිලා දුන්නම කෑවා බිව්වා. බර වැඩක් කරල දීලා අතට කීයක් හරි හොයාගත්ත අවස්ථා එමටයි. සමහර වෙලාවට උදේ පාන්දර සීතලේ ගැහි ගැහී කාර් හෝදලා දීලාත් සල්ලි හොයාගත්ත. වැඩිය කතා නොකර ඉන්න කොට මොන ජාතියේ ද කොහෙන්ද ආවේ කියලත් කවුරුත් අහන්නෙ නෑ. රැවුලයි කොණ්ඩෙයි වැවෙන්න ඇරියා තුර්කිය පහුවෙනකම්.”

“නැගෙනහිර යුරෝපයේ දී පාස්පෝට් ඇහැව්වෙ නැද්ද?”

“මොන පාස්පෝට් ඇහිල්ලක් ද? යුරෝපයේ දී මං ගියේ නගරවලින් ඈත්වෙලා. ගොඩාක් දුෂ්කර පැතිවල පයින් ඇවිද්දා, බඩු ‍කෝච්චිවල නැඟලා ගියා. සර්බියාවට බෝම්බ දානකොට උන් එක්ක හැංගිලා හිටියා වතුර නැති පිහිනුම් තටාක වලට බැහැල. තවත් වතාවක් බෝක්කුවක් යට රෑ නවතින්න ගිහින් එතන හිටපු හංගේරියන් අහිකුණ්ඨිකයෝ මාව එළවා ගත්ත. සොහොන්වල නිදාගත්ත මහජන උද්‍යාන වලින් එළවනකොට. වචන දෙක තුනක් හැම තැනින්ම අල්ල ගත්තට කතා කළේ නොකරම බැරිනම් විතරයි.”

“දන්න අය කොහේවත් රටක නැතුව එහෙම යන්න හිතුනෙ ඇයි?”

“රුකී, හැමදාම දන්න අය ලණු දුන්න මිසක් අතක් දුන්නෙ නැහැ කකුල් දෙකෙන් නැඟිටින්න. කකුල් දෙක ගහල හිටගන්න හදන හදන හැම පාරටම කළේ පයින් ගහල පෙරලන එක විතරයි. සේරම දමල ගහල උන්නත් එකයි මැරුණත් එකයි කියල කොහොම හරි එංගලන්තයට එන්නයි ඕන වුනේ.”

“ඇයි එංගලන්තයට?”

“අපේ බණේ අධිරාජ්‍යවාදයේ වැරැද්ද නිසා අපිට මෙහෙම වෙලා තියෙනවා කියන එකනෙ. ඉතින් මං එංගලන්තයට ආවේ අධිරාජ්‍යවාදියාගෙන් පළිගන්න.”

“පළිගන්න? ඒ කොහොම ද?”

“හොරෙන් ඇවිත් අධිරාජ්‍යවාදියාගේ සම්පත් ටිකක් අරන් යන්න.”

“අන්තිමට අරන් ගියේ නෑ.”

“නෑ, ගියේ නෑ. ප්‍රංශ පැත්තෙ ඉන්ග්ලිෂ් චැනල් එක ළඟ බඩු බාන්න රස්සාවක් ලැබුන. සති තුන හතරක් තිස්සෙ අනිත් පැත්තට යන එක ගැන ප්ලෑන් ගහද්දි සුද්දෙක් ඇවිත් වාහනයක් අනිත් පැත්තට අරන් යන්න පුළුවන් ද ඇහුව. මිනිහ මිසිස් එක්ක නිවාඩුවකට ඇවිත් මිසිස් පැරිස්වල නතරවෙලා. වාහනේ ආපහු අරන් යන්න පුළුවන් ද කියල මගෙන් ඇහුවේ මිනිහට ගිහින් මිසිස්ව ආපහු යන්න කැමති කරවාගන්න කාලේ ඕන නිසා. වාහනේ මෑන්ගෙ අයියගෙ.”

“වාහනය බාර දෙන්න තරම් විශ්වාසයක්?”

“වාහනේ ගිහින් බාර දුන්නොත් බර අදිනවා වෙනුවට වඩා හොඳ රස්සාවක් දෙන්නම් කියලාත් කිව්වා. අනික ඒක රක්ෂණය කරලා තියන නිසා මං හොරකම් කරත් අයිතිකාරයට පාඩු නැහැ. මට තමයි අහුවුනොත් හිරබත්.”

“ඉතින් ඊ ළඟට…”

“අයියා පුපුරු ගගහා ඉන්නවා කාර් එක එද්දි. දෙන්නම සවුතැම්ප්ටන්වල කෝකියො. මල්ලි නැතුව වැඩ වැඩි අයියට. මං එතන වැඩට උදව් කළා මල්ලි මිසිස් එක්කගෙන ආපහු එනකම්.”

“මිසිස් ආව ද?”

“ඔව්. දෙන්න එක්කම ආවා. මං ඊ ළඟ දවසෙම එතනින් අයින් වුනා.”

“ඇයි ඒ?”

“අයියටයි මල්ලිටයි වගේම මිසිස්ටත් තියෙන්නෙ මාර කටවල්. අහන් ඉන්න බෑ රණ්ඩු අල්ලනකොට. අළුත් වචන ශබ්දකෝෂයක් පිරෙන්න එක දවසින් ඉගෙන ගත්තා.”

“ලන්ඩන් මෝටර් ක්ලබ් එකට ගියෙ කොහොම ද?”

“තැන් තැන්වල එක එක ජාතියේ සුළු වැඩ කරලා අන්තිමට මෝටර් ක්ලබ් එකට ඩ්‍රැයිවර් ‍කෙනෙක් හොයද්දී මං ගිහින් ඉල්ලුව. අළුත්ම අළුත් සුවඳ ගහන ජැගුවාර් එකක් පාර්ක් කරන්න කියල යතුර අතට දුන්න. ඉතුරු එකම තැන සාමාන්තරව ගහන්න පුංචි ඉඩකඩක්. බයේ ගැහි ගැහී ඒත් එකපාරින් දැම්ම ඉඩට. රස්සාව ලැබුණ වාහනෙන් බහින්න කළින්.”

“ජැගුවාර් එක රතු බර්ගන්ඩි වයින් පාට එකක් ද?”

“හරියටම හරි.” ඔහු සිනා සී ඇය තුරුල් කර ගත්තේය.

“ඔයා අර කෝකියො දෙන්න ගැන කියද්දි ලංකාවෙ සිංදුවක් මතක් වුනා.” ඇය තුරුලේ උණුසමට තවත් ගුලි වී ඔහුගේ ගෙල යටින් හිස රඳවා ගත්තීය.

“මොකක්ද සිංදුව?” ඔහු මුමුණයි.

“පිදුරු සෙවිකල පැල්පතේ නැති සාමේ නැත මහ මන්දිරේ…”

“ඉතුරු ටිකත් කියන්න.”

“ඉතුරු ටික දන්නෑ…”

“පිදුරු සෙවිකල පැල්පතේ ඇති සාමේ නැත මහ මන්දිරේ
ටිකිරි හසරැලි බොළඳ සිතිවිලි මෙහි තිබේ හොඳ ආදරේ”

“බොරු හරියක් එකතු කලා නේද?”

“නෑ ළමයෝ ඒ සිංදුවමයි. මුළු සිංදුවම කියන්න ද?”

සිසිර සේනාරත්නයන්ගේ ගීතයක් ප්‍රංශ පොලනීසියාවේ සෙන්ට් රීගස් නවාතැන් පිදුරු මඩුවක ආදරවන්තයෝ දෙදෙ‍ෙනකුගේ මුවින් ගැයෙනු ඇතැයි මහාවිශාරදයානෝ කිසි දිනෙක නොසිතන්නට ඇත.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: