Sinhala story Blog

අප්‍රේල් 19, 2010

4.7 -බට්ටිත්තෙක් කනවා ඊට වඩා

Filed under: Uncategorized — sinhalashortstories @ 8:51 පෙ.ව.

පිටරට කාලයක් ගෙවා ආපහු එන හැම කෙනෙක්ම වගේ හසන්තිත් ලංකාවට ඇතුල් වුනේ විපරීත සංස්කෘත කම්පනය පොදි බැදගෙන.

රටේ පෙනුමෙහි පමණක් නොව අගැයුම්වල ද ඇති වෙනස්කම් පැහැදිලිව දකින්න ඇයට ලැබුනෙ ගුවන්තොටුපලෙන් ගෙදරට යද්දීම. දුක හා සතුට දෙකින්ම වූ නුහුරු නුපුරුදු හැඟීම් බොහොමයකින් හසන්තිගේ හිත පිරී ඇත.

ආච්චිගේ වත පරඬැලක් සේ සිහින්ය. වාත්තම් කර නොගෙන තනිව වැසිකිලියට පවා යා නොහැකි තරමට ඇය දුබලය. කතාබහ ඉතා කෙටිය. ඇය නිදාගත් සෑම අවස්ථාවකම මේ ලෝකයෙන් එපිට වූ තව තවත් නොපෙනන ඈතකට ඇදී යන්නා සේ හසන්තිට දැණින. ආච්චී දවසෙන් වැඩි කාලයක් ගෙවා දැම්මේ නින්දෙන්ය. ගෙදරින් පිට කිසිම තැනක නොගිය හසන්ති ආච්චි හා හැම තත්පරයක්ම ගෙව්වාය. ආච්චී දිගු නින්දකින් පසු ඇස් විවර කර හසන්ති දකිද්දී ඇයගේ රැළි වැටුන මුහුණේ සතුටු සිනහවක් පැතිර යයි.

“තේකක් වත් කරන්න ද?”

ආච්චි හිස මඳක් සොලවා එපා කියයි.

“වේදනාවක් දැනෙනවා නම් නොකියා ඉන්න එපා.” හසන්ති ආච්චිගේ නහර ඉලිප්පී මස් දිය වී ගිය කෝටූ අත් පිරිමදිමින් කියන්නීය.

ආච්චි සිනහ මුහුණින්ම ඇස් නැවතත් පියා ගත්තීය.

“ආයෙත් නිදි?”

නිදන කාමරයට එබුණු චූටි මැණිකා අසන්නීය.

“ඔව්.”

හසන්ති වාඩි වූ උන් වේවැල් පුටුවෙන් නැඟිට චූටි මැණිකා පිටුපසින් ඉස්තෝප්පුවට ආවාය.

“ඔයා ආපු දවසේ ඉඳලාම හරි සතුටින්. අපිට කිව්වෙ නැතුවට බලන්න ආසාවෙන් ඉඳලා තියෙන්නෙ නේද?”

“කන්නෙ එහෙම හරි අඩුවෙන් නේද?” හසන්ති අසයි.

“බට්ටිත්තෙක් කනවා ඊට වඩා.” චූටි මැණිකා කියයි.

ඔවුන් දෙදෙනාම පාරේ යන එන අය දිහා බලා සිටියහ. ආච්චිගේ අවසන් මොහොත නුදුරුය. වේදනාවෙන් තොර අවසානයක් ආච්චි වෙනුවෙන් ප්‍රාර්ථනා කරන මේ දෙදෙනාට ඇයට වෙනත් ප්‍රතිකර්මයක් ඇතැයි සිතා සත්‍යය වසන් කරන්නට ඔවුන්ගේ වෛද්‍ය දැනුම ඉඩ නොදෙයි.

“අවසන් කටයුතු ගැන හිතන්න වෙයි?” චූටි මැණිකා රහසින් කියයි.

“ආච්චි මුකුත් කිව්ව ද ඔයාට ඒ ගැන?” හසන්ති ද අහන්නේ පහත් හඬිනි.

ඔවුන් දෙදෙනා හඬ නඟා කතා කළ ද ආච්චීට ඇසෙනු නැති බව දන්නා මුත් මේ කතාබහ සාමාන්‍ය හඬින් කරන්නට හිත් නොදෙන්නකි.

“වැඩි වියදම් කරන්න ඕන නැහැයි කියල දවසක් කිව්වා.” චූටි මැණිකා කියයි.

“ආච්චිගේ හැටි.” හසන්ති දුක් වූවාය. හැමදාම රුපියලක වියදමටත් තෙවරක් සිතා බලන ආච්චි රටට අණබෙර ගසා මළගමක් කරනු අකැමතිය.

හසන්ති නැඟිට නැවතත් ආච්චි නිදන කාමරයට පියමන් ගැන්නේ ඇයට දැනෙන වේදනාවක් ඇත්නම් එය සමනය කරනු සඳහා ලංකාවේ ලබාගත හැකි ඖෂධ මොනවාදැයි සිතමිනි. ආච්චී නිදන්නේ සුව පහසුවෙනි. ඇය තුලින් දිස්වන්නේ වේදනාබරිත මුහුණක් නොව සැනසුම පිරි පහන් බවකි.

ආච්චි ඇස් පියන් හැර හසන්ති දිහා බලයි. ඇයගේ රැළි ගැහුණ, දත් නොමැති මුව වෙව්ලන්නේ යමක් කියාගන්නටය. හසන්ති ආච්චිගේ හිස අද්දරින් කොට්ටයට ඔළුව තබා ගත්තේ කියන්න හදන්නේ කුමක්දැයි අසාගනු පිණිසය. ආච්චිගේ ඇඟ මඳක් වෙව්ලයි. හසන්ති ආච්චිව බදාගත්තේ සිය උණුසුමෙන් බිඳක් ඇයට දෙන්නටය. වෙව්ලන ගතින්, වෙව්ලන මුවින් කිසිවක් නොකියා ආච්චී සදහටම දෙනෙත් පියා ගත්තේ කිසිත් දවසක ආදරයෙන් තුරුල් වී නොසිටි සිය මිණිබිරිය තු‍රුලේය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: