“විසිපස් වෙනිදා තියෙන්නෙ රන්පිටිගලගේ වෙඩින් එක.”
“මට යන්න ලැබෙන්නෙ නැහැ. මාවතගම කේස් එක එදාට අහන්නෙ. කීයට පටන් අරන් කීයට ඉවර වෙයිද කියන්න බෑ.”
“තනියම යන්න පුළුවන් ද මට? මමත් නොගිහින් එහෙනම් තෑග්ගක් විතරක් යවනවා.”
“සල්ලි දෙමු පස්සෙ ගෙදරට රෑට කන්න ආරාධනා කරලා. මිනිහා මේ දවස්වල හතර වටේටම ණය වෙලා මඟුල් කන්න. දැන් රිම් එකෙන් යන්නෙ කියලා කිය කිය යනවා අහන එකාටයි නැති එකාටයි.”
“පව්….ඔහොම පටන් ගෙන කවදා ණයෙන් ගොඩ එයිද?”
ඒත් සමන්තට එය ඇසුණේ නැත. ඔහු හිත වෙනත් මාතෘකාවකට බැස හමාරය. සිය අතැති රිදී පැහැති මොන්ට් බ්ලාන්ක් පෑන ඇඟිලි දෙක අතර කරකවමින් මුකුත් සටහනක් නොකළ ද ඔහු හිත තිබුණේ ඉතා ඈතය.
ප්‍රීනි තමා කියවමින් සිටි දිනපතා ඉංග්‍රීසියෙන් පළ කෙරෙන පුවත්පතක් නවා සිය උකුළේ තැබුවාය. මාස තුනක් ඉක්මවා තිබුණ ද ගැබ්බර බව තවම පිටතින් නොපෙනේ. අසල ඇති පුටුවක තවත් සිංහල ඉංග්‍රීසි දිනපතා පත්තර කිහිපයකි. එක් පත්‍ර සමාගමකින් පළ කෙරෙන තොරතුරු පමණක් නොකියවා හැම පැත්තම විමසා බැලීම මෙම නිවහනේ සිදුවෙයි. අහළ පහළ අය හවස් කාලයේ කියවා ඉවර කරන ලද පත්රයන් ඉල්ලා ගන්නට ඔවුන්ගේ නිවසට පැමිණෙති. ලංකාවේ අලෙවි වෙන එක් පත්‍රයක් කියවන්න අඩුම වශයෙන් තවත් පුද්ගලයෝ දහයක් විස්සක් සම්මාදම් වන්නෝය.
උසට ගොඩ නැඟී ඇති තාප්පය නිසා පාරේ යන එන අයගේ කතාබහ ඇසුණ ද ඔවුන්ව පෙනෙන්නේ නැත. සැමියා එක අතෙකත් බිරිඳ තවත් අතෙකත් බලාගෙන ඉතා සාමකාමී වාතාවරණයක පසු වූහ.
ඔහු සිත යොමුව තිබෙනා කාරණය ඇය දන්නේ නම් ඇය සිත සලිත වෙනු නිසැකය. එහෙත් ඇයගේ සිත එවන් කුකුස් හිතක් නොවේ. මංගල උත්සවයකට සහභාගී වන්නට සුදුසු අලංකාර සාරියක් ඇය රන්පිටිගලගේ මංගල්‍යයට සහභාගී වන්නට තෝරාගෙන තිබුණි. එය ඔවුන් රන්පිටිගල වෙත මුදලින් කරන ත්යාග්යයට වඩා බෙහෙවින් මිල අධිකය. දැන් මංගල උත්සවයට සහභාගී නොවන හෙයින් එය අඳින්නට තැනක් ගැනයි ඇය හිත විමසුම. සාරි හැට්ටයත් මහල ඉවරයි. ආයේ ඒකේ මිමි ගැබ්බර බව නිසා වෙනස් වෙන්න කළින් කොහේ හරි තැනකට ඇඳන් යන්න ඕන.
“මැඩම් මෙන්න ලියුම් ආවා.”
ගෙදර මෙහෙකාරිය ලියුම් කවර කිහිපයක් හා පාර්සලයක් ද ප්‍රීනි අත තැබීය.
“බයිසිකලේ බෙල් එක ගහනවා ඇහුනෙත් නෑනේ.”
“මම නිකමට වගේ පාර පැත්තට ඔළුව දානකොටමයි ලියුම් බයිසිකලේ ආවේ ඔන්න.” මාලි කියන්නේ ඇස් මුණ නොගැසීය.
“මෙයා බලාගෙන ඉන්නෙ ගමෙන් ලියුම් එනකන් ද? නැතිනම් ලියුම්කාරයාව දකින්න ද?”
වැඩකාරිය ගෙතුලට ගිය පසු ප්‍රීනි විමසයි. සමන්තගෙන් පිළිතුරක් නැත.
මඩ පැහැති ඝනකම කවරයකින් ආවරණය වුනු හතරැස් පෙට්ටියක් බහන ලද කුඩා පාර්සල් කවරයක් ද ලිපි අතර තිබුණි. අනෙක් ලිපි පසෙක තබා එය එවා ඇත්තේ කවුරුන් දැයි ප්‍රීනි විමසිලිමත් වූවාය.
දැන් ලෝකයේ ඇති නා නා මෝස්තරයන්ට අනුව කටයුතු කරන ලාංකික සමාජය ද සිය උත්සවයන් පවත්වන්නේ ලොව සියළු සිරිත් විරිත් හා විලාසිතා එක් කරගත් කැඳ හැලියක ආකාරයෙනි. ධනවතුන්ගේ වටිනා කාලය මුදල් හදල් ඉපැයීමට යොදවනු පිණිස ඉතිරි කර ඔවුන්ගේ මුදල් අතිරික්තය වියදම් කිරීමට සංග්‍රහ උත්සව සංවිධානය සඳහා වෙනම පිරිසක් රටේ බිහි වී සිටිති. එකිනෙකා පරදවා තරඟයට තම හැකියාවන් පෙන්වනු පිණිස මොවුන් ධනවතුන්ගෙන් හොඳ මුදලක් ලබා ගනිති. ආරාධනා පත් අද මුද්‍රණය වන්නේ ආනයන කරන ලද වටිනා කඩදාසි වල පමණක් නොවෙයි. ෂැම්පේන් බෝතල් අනුකරණයෙන් නිමැව ඇති ප්ලාස්ටික් බෝතල් වල, මල් මිටක් වටා ඇති රිබන් පටියක, ඇතුල හිස් කර සෝදා අතින් පින්තාරූ කරන ලද බිත්තර කටු වැනි දෑ ආරාධනා ලියන්නට අද පසුබිම් වෙති.
ඇරුණු පෙට්ටිය ඇතුලේ පිඟානක් නිමැවෙන පෝසිලේන් මැටියෙන් සකස් කර පාට කිහිපයකින් ඔප දමන ලද සිහින් හතරැස් තීරුවකි. නාන කාමරයේ බිත්තියේ අලවන්නට එය සුදුසුය. ආරාධනාව ලියැවී ඇත්තේ එහිය.
“අපිටත් ආරාධනා කරල ශාස්ත්‍රීගේ දුවගේ මංගල්‍යයට.”
සැමියාගෙන් පිළිතුරක් නැත. හිස ඔසවා ඒ දෙස බැලු ඇයට පෙනුනේ කල්පනාවක නිමග්නව සිටින සමන්ත.
“අපිටත් ආරාධනා කරල ශාස්ත්‍රීගේ දුවගේ මංගල්‍යයට.”
ඇය මඳක් හයියෙන් කීවාය. ඇයගේ උස් කටහඬ ඔහු සිටි සමාධියෙන් අවදි කරන්නට සමත් වුනි.
“මොකක්ද කිව්වේ?”
“අපිටත් ආරාධනා කරල ශාස්ත්‍රීගේ දුවගේ මංගල්‍යයට.”
මෙවර ඇය සාමාන්‍ය ස්වරයෙන් කීවාය.
“කවදද?”
“විසිපස් වෙනිදා…මේ මාසේ.”
ඔහු නොමනාපයෙන් ඈ දෙස බැලීය.
“දැන් එකපාරක් කිව්වෙ එදාට තමයි මාවතගම කේස් එක අහන්නෙ.”
ඇය ද නොසන්සුන් සිතින් ඔහු දෙස බලයි.
“ඔයා යන්න.”
ඔහු අතේ ඇති පෑනත් සටහන් කොළත් එක්කාසු කරන්නට වූයේ පුටුවෙන් නැඟිට යන්න සූදානමෙනි. මෙතැන නිවිහැනහිල්ලේ තව දුරටත් පසුවන්නට නොහැකි බව ඔහුට දැණින.
“අනුමානෙට පියුමි යයි. දේවින්ද තාම ලංකාවට ඇවිත් නෑනෙ. මට පියුමි එක්ක යන්න පුළුවන්. හරියටම යනවද කියල හොයාගන්න ඕන…නෑ, එයා නොගියත් යන්න ඕන. මම අඳුනන අය ඕන තරම් ඉඳියි.”
ඇය හුන් තැනින් නැඟිට ගියේ වහාම පියුමිට දුරකතන ඇමතුමක් ගනු සඳහාය. සාරිය අඳින්න වඩා හොඳ අවස්ථාව මේකයි. කලින් ආරාධනාව ලැබුන රන්පිටිගලගේ මංගල උත්සවයට සහභාගී වන්නට ගත් තීරණය තනියම යා නොහැකි නිසා තමා ප්‍රතික්ෂේප කළ බව ඇයට මතක් වුනේ වත් නැත.
අසුනින් නොනැඟිට යළිත් එහි හරිබරි ගැසුණ සමන්තට සිය භාර්යාවගේ තර්කයේ මිමිණුම් ඇසී මුහුණේ මඳ සිනහවක් පැතිර ගියේය. තමා අද හෙටම හාවඩ් විශ්ව විද්‍යාලය බලා ගුවන්ගත වන්නට පෙර නිරාකණය කර යා යුත්තක් ඇත. ඔහු යළිත් ඒ ගැන කල්පනාවට වැටුණි.
correct pronunciation of mont blanc is not මොන්ට් බ්ලාන්ක්. It sounds more like මොන් බ්ලොන්. Which is ‘white mountain’ in french.
ප්‍රතිචාර විසින් Grey — අප්‍රේල් 13, 2010 @ 3:05 පෙ.ව.
Grey, excusez- moi, je suis désolée d’avoir fait cette erreur.
ප්‍රතිචාර විසින් sinhalashortstories — අප්‍රේල් 15, 2010 @ 12:47 ප.ව.