Sinhala story Blog

අප්‍රේල් 7, 2010

4.1 -පික්කු හරි දඟකාරයි. කියන දෙයක් අහන්නෙ නෑ

Filed under: Uncategorized — sinhalashortstories @ 8:59 පෙ.ව.

හො‍ටෙල් ග්‍රැන්වියා කියෝතෝහි නිදනකාමරයේ ජනේල‍ෙයන් ඈත එපිට පෙනෙනා මීදුමින් වැසී ඇති කඳුවැටිය නෙත් පිනවයි.

වේලාව උදෑසන හතට පහකි. රුක්ෂානි සුවපහසු යහනෙන් නැඟිට ඇඟමැලි කඩමින් හෝටලයේ උණුසුම් පිහිනුම් තටාකය වෙත ගියේ එය උදෑසන හතට විවෘත වෙද්දීම ව්‍යායාම පිණිස පිහිනන්නටය.

මීටර් 20 ක පිහිනුම් පාරවල් තුනක් ඇති ගෘහස්ත තටාකයේ පැත්තක ඇත්තේ යන්ත්‍රානුකරණ ව්‍යායාම උපකරණය. වතුරට පය ඔබා වතුරේ සීතල බැලූ ඇය ඇඟ පුරා දිව ගිය හිරිවැටිල්ලට සතුටු වූවාය. උණුසුම් කර ලද්දැයි කිවිව ද ජලය සීතය. දියට බැස පිහිනුම් තටාකයේ මහත් දුරක් හුස්ම ගැනීමට උඩට එන්නේ නැතිව යටින් පීනා යෑමට ඇය සමත්ය. කිසිවෙක් තටාකයේ නොවූවද තමාගේම පිහිනුම් පාරේ උඩටත් පහළටත් කිහිප වතාවක් ළය ආකාරයෙන් ද ඉන් අනතුරුව සමනළ ආකරයෙන් ද පිහිණූ ඇය අවසානයේ පසුපස ආකාරයෙන් වතාවක් දෙකක් ගියේ වහළේ ඇති විදුලි පහන්වල සිරි නරඹමින් සැහැල්ලුවෙනි.

ඇස් වලට ක්ලෝරීන් වැටීම වළකනු සඳහා රුක්ෂානිගේ ඇස් වටා ස්පීඩෝ ඇස් ආරක්ෂිත රැඳවුම්ය. කොණ්ඩය ස්පෑන්ඩෙක්ස් වලින් නිමැවූ පිහිනුම් තොප්පියකය. ආසියාවේ පිහිනුම් තටාකවල පිහිනන්නට තවමත් පිහිනුම් තොප්පියක් උවමනාය. එහෙත් අද හිසකෙස් වලට වැඩියෙන් කෘතීම ආලේපන යොදන්නේ එදා තල තෙල්, පොල් තෙල් හෝ බිල් ක්‍රීම් ගෑ ආසියානුවන් නොවේ.

රුක්ෂානි තුවාය තිබි සුදු ඇඳි පුටුව ළඟින්ම දියෙන් ගොඩට ආවාය. පඩි නොනැඟ ඇය තටාකයේ බැම්මට අත් තබා සිය කඳ ගොඩට ගත්තේ ඉක්මණින්ම තුවායෙන් හිරිගඩු පිපෙන වත පොරවා ගන්නටය.

“පික්කු…පික්කු….පික්කු…කොච්චි.. කොචිචි..”

ඇය වෙත කඩිසර ගමණින් පා තබන ෂෙල්ටි වර්ගයේ පියකරු බල්ලෙකි. උගේ දුඹුරු හා සුදු පැහැති ඝනට වැඩුණු ලොම් දිගය. දඟර නොවැටුණු නිතිපතා පීරා ඇති ලොම් ආදරයෙන් බලා ගන්නා සුනඛයෙකුගේ රඟ කියාපායි.

“පික්කු…පික්කු. කොච්චි නී ඔයිඩෙ.”

බල්ලා පසුපසින් ඉක්මන් ගමණින් එන අයිතිකරුවා ජපන් ජාතිකයෙකි.

රුක්ෂානි තමා ළඟට අවුත් ඇගේ කකුලක වතුර ලෙවකන පික්කුට අත මිට මොළවා ඉව කරන්නට දුනි. පික්කු එවර අත ලෙවකයි. පික්කුගේ කන් පිරිමැද සුරතල් කරද්දී ජපන් ජාතිකයා ඔවුන් අසලට පැමිණියේය.

“සමාවෙන්න.” ඔහු අත ඇති පටියෙන් බල්ලාව රඳවා ගත් ඔහු කඳ මඳක් නමා ආචාර කර කියයි.

“මියාමොටෝ ෂිගෙරු සාන්? ඔහායෝ ගොසයිමස්!”

“හයි. සුබ උදෑසනක්!”

“රුක්ෂානි අතුරුපාන. ෆැන්ටෑස්ටික් ගේම්ස්, ලන්ඩන්. මමත් අද වැඩමුළුවට සහභාගී වෙන්නයි ආවේ.”

“කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ද ආවේ?”

“නැහැ. මම නගෝයා ඇවිත් බුලට් ට්‍රේන් ගත්ත.”

“හයි..බුලට් ට්‍රේන්.”

“ඔව්. පිටත්වෙලා ටිකක් යනකම් ඒක ගමන් කරන බව තේරුම් ගියෙත් නැහැ.”

“වේගයෙන්. අධික වේගයෙන්.” ඔහු එකඟ වෙයි.

“පික්කු හරිම ලස්සනයි.” සුනඛයා තවත් රුක්ෂානිට ළංවී ඇඟට හේත්තු වෙයි.

“පික්කු හරි දඟකාරයි. කියන දෙයක් අහන්නෙ නෑ.”

ඔහු ඇය තම සුරතලා හා සුහද වෙනවාට අකැමති ද?

“සතෝෂි ටාජිරි සාන් අද වැඩ මුළුවට එනවා කියලා දැන ගන්න ලැබුණ.”

පික්කු වෙතින් අත ඉවත් කරගත් රුක්ෂානි කියා සිටියාය.

“හයි. එයා මගේ හිතවතා.” එය කියන්නට උවමනා නැති ලොවම දන්නා දෙයකි.

“ෆැන්ටෑස්ටික් කොම්පැණිය ඔබ දෙදෙනාවම හඳුනා ගන්න ලැබීම භාග්‍යයක් සේ සලකනවා.”

රුක්ෂානි වචන සීරුවෙන් යොදාගත්ත. ජපන් ජාතිකයා ලොව කීර්තියට පත් පරිගණක ක්‍රීඩාවේ ඉහළ පෙළේ වැජඹෙන තරුවකි. “නූතන යුධ සංග්‍රාම 2” ලෝකයේ වැඩියෙන්ම අලෙවි වන පරිගණක ක්‍රීඩාව බවට පත්ව ඇත. නින්ටෙන්ඩෝ වයි ක්‍රීඩා බොහොමයක ඇති සාර්ථකත්වය පිටුපස සිටියේ මියාමොටෝ ෂිගෙරුය. ෆැන්ටෑස්ටික් කොම්පැණිය ඔවුන්ට අතීතයේ සිටම ලොව වටා පරිගණක ක්‍රීඩා දියුණුවට අවශ්‍ය අංගෝපාංගයන් සොයාගැනීම් කරන්නන් හා නිපදවන්නන් සොයාදෙන ආයතනයකි. රුක්ෂානි ජපානයට පැමිණ සිටින්නේ තමාගේ නවතම සංකල්පයට මේ බලවතුන් පවත්වන වැඩමුළුවකින් අනුශාසනා හා අනුග්‍රහය ලබාගන්නටය. මෙතෙක් කලක් අනුන්ගේ ව්‍යාපෘතිවලට අත දුන් ෆැන්ටෑස්ටික් කොම්පැණිය රුක්ෂානිගේ සංකල්පයක් මත ඔවුන්ගේම නවතම පරිගණක ක්‍රීඩාවක් නිපදවන්නට ඉදිරිපත්ව සිටියි.

“අටට අපි හමුවෙමු.”

“හයි. අටට.”

මියාමොටෝ ෂිගෙරු පික්කුට පුටුව අසලින් වාඩිවන්නට තුවායක් එළා තබා ඒ දිහාට ඇඟිල්ලක් දිගුකර පික්කුට පෙන්වා පිහිනුම් තටාකයට බසින්නට සූදානම. සිය ස්වාමියාට අවනත වෙමින් පික්කු තුවායේ වාඩිවිය. ඌ නැවතත් නැඟිටින්නට පෙර කඩිනමින් රුක්ෂානි එතැනින් පිටත් වූවාය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: