Sinhala story Blog

මාර්තු 31, 2010

3.28 -ව්‍යායාම් වලට හොඳ බෙලි ඩාන්ස්

Filed under: Uncategorized — sinhalashortstories @ 6:47 ප.ව.

“මම යනවා පෝලන්තයට. එන්න මාත් එක්ක යන්න,” ඒ රුක්ෂානි.

“මට රටෙන් පිට ගියොත් ආයෙ එන්න දෙයිද?” ඒ සංජීවනී.

හවස්වරුවේ රුක්ෂානි සිය ලියකියවිලි කටයුතුවල නියැළෙයි. සංජීවනී රූපලාවන්‍ය සඟරා කියවයි. ලංකාවේ ගුවන් විදුලියට අන්තර්ජාලයෙන් සවන් දෙමින් ඔවුන් දෙදෙනා සවස් කාලය ගෙවා දැමුවේ අනාගත සැලසුම් ගැන කතාබහ නොකර. දැන් සංජීවනී රුක්ෂානිගේ නිවහනට පැමිණ මාස හයක් ඉවර වන්නට ළඟයි. පර්සි ඇය ඉන්නවා ද නැද්දැයි සොයා නොබලයි. නිවසේ ඇති දුරකතනය අමතන අයගේ දුරකතන අංක සටහන් වෙයි. තවම පර්සි ගෙන් ඇමතුමක් ඇවිත් නැත.

“ඔයාට පාස්පෝර්ට් තියෙනවා කිව්වෙ.”

“ලංකාවේ එක. තාම මෙහෙ පුරවැසිකම ගත්තෙ නැහැ.”

“පර්සිට මෙහෙ පුරවැසිකම තියෙනවා ද?”

“ඔව්.”

“ඔයා එයාව බැඳලා අවුරුදු තුනක් හිටියානෙ. එහෙම නැතුවත් මෙහෙ අවුරුදු හයක් හිටියොත් කොහොමටත් ගන්න පුළුවන්.”

“එයාව ගාව ගන්නෙ නැතුව කරන්න ඕන.”

සංජීවනී රැකියාවක් හොයා මුල් සතිවල හැම දිනයකම හැම තැනම ගියා. ඒත් සංජීවනී ගිය ගිය තැන් වලින් අහන්නෙ පළපුරුදුකම් ගැන. නැත්නම් අධ්‍යාපන සුදුසුකම් ගැන. ලංකාවේ උපාධිය සම්පූර්ණ නැහැ කියපු ගමන් ඒක හොයන තැනකින් හදන්නෙ එයාව ඉක්මණින් එතනින් පිට කරගන්න. දැන් ඒක හොඳට පුරුදු නිසා සංජීවනී විශ්වවිද්‍යාලයක ඉගෙන ගත්තා කියන එක ඉල්ලුම් පත්‍ර වල නොලියා හිටිය. සුදුසුකමක් හෝ පළපුරුද්දක් ලියන්න නැති ඉල්ලුම් පත්‍රයේ එයාට පුරවන්න තිබුනේ නම, උපන් දිනය, ලිපිනය, දුරකතන අංකය හා නීත්‍යානුකූලව රට තුල ඉන්න බව පමණයි.

පර්සි හොයාගෙන ආවේ නැහැ. පර්සි මොනවද කරන්නෙ බලන්න සංජීවනී ඒ පැත්තෙ ගියෙත් නැහැ. පර්සිට ලියලා තියලා ආපු පණිවිඩයේ රුක්ෂානිගේ ගෙදර යන බව කී නිසා ඔහු කලබල නොවෙනවා ඇති.

පත්තරවල තියෙන වේටර් වැඩට ඇති දැන්වීම්වලටයි, කඩවල නෝටිස් දැකලා ඒවටයි ගිහින් කතා කරාට කවුරුත් තනිකඩ තරුණ ඉන්දියන් කෙල්ලෙක් වැඩට ගන්න කැමැති නැති බව පෙනුන.

රුක්ෂානි ගෙදර එනකොට එයත් එක්ක කන්න කෑම උයා තැබීම සංජීවනී පුරුද්දක් කර ගත්ත. එයා කඩේ ගිහින් බඩු ගත්තෙ අස්ස රේස් දිනල ලැබුණු එයාගෙ සල්ලි වලින්. රස්සාවක් හොයා ගන්න සම්මුඛ පරීක්ෂණ වලට යන්න කියලා රුක්ෂානිත් එක්ක ගිහින් ඇඳුම් දෙක තුනකුත් ගත්තෙත් එයාගෙම සල්ලි වලින්. රස්සාවක්, ඉන්න තැනක්, ඥාතියෙක් කියල නැති වුනාට අතේ මුදල් ටිකක්, නීති නැති නිවසක් හා හිතවත් යෙහෙළියක් සිටින නිදහස් වතාවරණයක් ජීවිතේ මුල් වතාවට සංජිවනීට ලැබුන. ඒත් තියන සල්ලි ඉතාමත් ඉක්මණින් ඉවර වෙන බව පෙනුන නිසා සංජීවනීට මොනවා හරි රස්සාවක් හොයා ගන්න ඕනකමයි වැඩියෙන් තිබුනෙ.

“මොන ජාතියෙ බල්ලො ද ඔයා ඇවිද්දලා තියෙන්නෙ?”

“මීට කලින් බල්ලෝ ඇවිද්දවන්න ගිහින් නෑ.”

“මම හොයන්නෙ පළපුරුද්ද තියෙන කෙනෙක්. මගේ බල්ලාව යවන්න බැහැ නවකයෙක් එක්ක. මෙයා පටිය ගලව ගෙන දුවන්න දන්නවා. ආම්බාම් කරන්න පළපුරුද්දක් ඕනා.”

පත්තරේ දාලා තිබුණ දැන්වීමක් අනුව බල්ලෙක් ඇවිදින්න ගෙනියන කෙනෙක් හොයන තරබාරු ආච්චි එහෙම කියලා සංජීවනීට එයාගෙ සුරතල් බලුපැටියා ඇවිදින්න ගෙනියන රස්සාව දුන්නෙත් නැහැ.

ඒත් සංජීවනී දවස ගෙව්වේ වෙනදාට වඩා සිත සහනයෙන්. රෑ පංතියකට බැඳිලා මොනවා හරි ඉගෙන ගන්න කියලා රුක්ෂානි කියපු නිසා ඒ ගැනත් හොයලා බැලු නමුත් ඒත් ආයෙත් පාඩම් කරන්න තියා පොතක් අරින්නවත් එයාගෙ හිත කැමති නැහැ.

හැමදාම ජොබ් හොයන්න පත්තරේ මිලදී ගන්න යන කුටියේ සිටි තුර්කි ජාතිකයා සංජීවනීට හරි කැමති. ඇඟ එළියේ දාගෙන යන ඇඳුමින් නොසිටින නිසාත්, අනිත් අය ලෙස නොව තුර්කි ජාතිකයාට සුබ උදෑසනක් සිනහවකුත් එක්ක පතන එකම අය එයා නිසාත්.

“මිස් රස්සාවක් තාම හොයා ගත්තෙ නැද්ද?” ඔහු අසන්නේ කැඩිච්ච ඉංග්‍රීසියෙන්.

“තාම හොයනවා,” සංජීවනී සිනහවකින් පිළිතුරු දෙයි.

“මගේ දූලා දෙන්නට දෑවැද්ද හොයන්නයි මං මෙහෙ වැඩ. දෑවැද්දට සල්ලි එකතු කර ගත්තම මං ආපහු යනවා,” ඔහු කියයි.

“ඒ අයව මෙහෙ ගේන්නෙ නැද්ද?”

“මෙහෙ හොඳ නෑ. එහෙ හැදිලා තියන විදිය වඩා හොඳයි,” ඔහු කියයි.

පියාගේ මතයට දූලා දෙන්නා එකඟ වෙයිද? ඒත් නොදන්න නිදහසක් ගැන ආශාවක් ඇති වෙන්නෙ කොහොම ද?

සංජීවනීට තම පියා සිහිවිය. ඔහු ජීවතුන් අතර සිටියා නම් අද තත්වය වෙනස් වනු ඇත්ද? සිය මව හා මෙවැනි තත්වයක් ගැන කතාබහ කරන්නට හිතවත්කමක් දෙදෙනා අතර නැත. පර්සි අත්හැර ගිය බව දන්නේ නම් ආච්චී හෝ අම්මී කොහොමටවත් ඇය හා කතා නොකරනු ඇත.

පත්තරයත් රැගෙන සංජීවනී වටපිට බලමින් ඇවිද්දේ තම යෙහෙළියන්ගේ ජීවිත වලින් තම ජීවිතය කොතරම් වෙනස් දැයි සිතමිනි. දිනපතා එළිමහනේ ඇවිදින නිසා ඇයගේ සුදුමැළි වතට නැවතත් රන්වන් පාට වැටුණි. ඇයගේ බර යළි වැඩිවුනේද නැත. සිතේ සතුටක් නැතත් සිතේ දුකක්ද නොවීය.

රුක්ෂානි නිතරම ගමනේ. උදේට ජර්මනි ගිහින් හවසට පෝලන්තයට ගිහින් ඊ ළඟ දවසේ ස්පාඤ්ඤයේ. හැබැයි ගෙදර ඉන්න දවස්වල රෑ බෝ වෙනකම් කාර්යාලයේ නොසිට ඇය ගෙදර එයි. ලැප් ටොප් එකත් වයර්ලස් ෆෝන් එකත් ඇය අසල නිතරම. දකුණු කොරියාවට, ඉන්දුනීසියාවට මහ රෑ කෝල් කරන එක එයාගෙ පුරුද්ද. රුක්ෂානි ඇමෙරිකාවට ගියාම තමයි සංජීවනීට පාළු. ඇමෙරිකාවෙ එයා සතියක් දෙකක් ඉන්නවා. ඉඳහිට රුක්ෂානිගෙ දෙමාපියන් නිවසට ආවත් ඔවුන්ද රැඳී ඉන්නේ රැයක් දෙකක් හෝ සතියක් පමණි. ඒ දවස්වල රාත්‍රිය ඔවුන් දන්නා අඳුනන අය සමඟ ගතකර කන්න බොන්න ගිහින් ඔවුන් දෙදෙනා එන්නේ උදේ පාන්දර දෙකට තුනට.

“බෙලි ඩාන්සින් පංතියක් අලුතින් පටන් ගන්නවා. මෙන්න නොමිලේ පංතියකට ඇරයුමක්,” තුර්කි වෙළෙන්ඳා සංජීවනී අතේ සඟරාව සමඟ කඩදාසි කොලයක් තබයි.

“මම බෙලි ඩාන්ස් කරන්න දන්නෑ,” සංජිවනී එය ආපහු දෙන්නට තැත් කරයි.

“ගෑණු අයට විතරයි පංතිය. මං දන්න හොඳ ගුණවත් කාන්තාවක් පංතිය තියන්නෙ. නොදන්න සුදු අයට කියල දෙන්න පටන් ගන්න එකක්.”

“මට වාහනයක් නෑනේ යන්න එන්න,” ඇය නැවතත් ඔහුට කඩදාසිය බාර දෙන්නට දිගු කරගෙන සිටින්නීය.

“අර එහා හංදියේ තියන තුර්කි ඇඳුම් කඩේ උඩ තට්ටුවෙ. ඇවිදන් යන්න පුළුවන් දුර,” ඔහු එසේ කියා කඩදාසිය නැවතත් සංජිවනී වෙතම තල්ලු කරයි.

“ව්‍යායාම් වලට හොඳ බෙලි ඩාන්ස්,” නික්ම යන සංජීවනීට ඔහු හඬගා කියයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: