Sinhala story Blog

මාර්තු 29, 2010

3.26 -මේ කරදර එක්ක මං කොහොම ද අපි දෙන්නා ගැන කතා කරන්නෙ?

Filed under: Uncategorized — sinhalashortstories @ 9:24 පෙ.ව.

රමේෂ් දිගින් දිගටම විභාගයන්ට පෙනී සිටියි.

ඒ සීමාවාසික පුහුණුවේ ආරම්භයත් සමඟ වෛද්‍යවරයෙකු ලෙසින් සේවාව අරඹනු පිණිස බලපත්‍ර ලබාගන්නටය. වෘත්තිය ගැන දැනුමට වඩා ඔහුට හදාරන්නට වී ඇත්තේ රටේ හා ප්‍රාන්තයේ නීති රීතීන්ය. වෛද්‍ය විද්‍යාව ලංකාවේත් කැනඩාවේත් එකමය.

“පාස් වෙන්න ඕන නෑ. සීමාවාසික අවශ්‍යතා සපුරන්න විභාගයට වාඩි වෙන්න විතරයි ඕන.”

තඩි පොතක් පෙරළමින් රමේෂ් කියයි.

“සීමාවාසිකයට විතරනේ ඒ. නමුත් ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්න කොට විභාග පාස් වෙලා තියෙන්න ඕනනෙ.”

රමේෂ්ට උදව් වනු පිණිස පොත් වලින් සටහන් හොයා දෙන හසන්ති කියයි. දෙදෙනාම පුස්තකාලයේ කොනක. ලංකාවේ විශ්ව විද්‍යාල පුස්තකාල විභාග සමයට අතුරු සිදුරු නැතුව පිරුණාට ඩැල්හවුසියේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පාඩම් කරන්නේ කොහේදැයි කියනු නොහැකිය. විසල් පුස්තකාලයට කෙනෙක් දෙන්නෙක් එන්නේ පොතක් ඩැහැගෙන පැන දුවන්නටය. ඉඳහිට එහෙමත් කෙනෙක් කන්වල රැඳි ශ්‍රවණ යන්ත්‍රානුසාරයෙන් සංගීතයට සවන් දෙමින් කොම්පියුටරයකට කොටයි. නැතහොත් පොතක ඔළුව ඔබාගෙන සිටියි. මෙහි වැඩි පිරිසකට ඇත්තේ තම නේවාසික කාමරවල හෝ එළිමහනේ ගහකට පිට දී නැතිනම් තණකොළ පිස්සක වැතිර පාඩම් කරන පුරුද්දය. වසන්තය නැවතත් උදා වි ඇත.

“ගනේෂන් ඇවිත් ගියා.” රමේෂ් සිහින් හඬින් කියයි.

“ගෙදරට?”

“ඔව්.”

“අප්පා මොකද කියන්නෙ?”

“එන්න එපා කියල කිව්ව. මිනිහා දත් කූරු කාලා ගියා.”

ගනේෂන් කොටි ත්‍රස්තවාදී ව්‍යාපාරයට ආධාර මුදල් එකතු කරන්නෙකි. ද්‍රවිඩ පවුල් සොයා කැනඩාව පුරා සැරිසැරීම ඔහුගේ පිළිවෙතයි. මුලින් හිතවත්ව කතාබහ කරන ඔහු පසුව කතාව චණ්ඩිකමෙනි. ද්‍රවිඩ ජනතාව පිරි පෙදෙසක නොවුන ද කෙසේ හෝ ඉන්නා තැන් සොයා ගෙන එන්නට ඔවුන් සංවිධාන වී සිටිති.

“අප්පා රස්සාවක් කරන්නෙ නැහැ කියල දන්නවා. මාත් තාම ඉගෙන ගන්න නිසා දැන්ම කරදර වෙන එකක් නැහැ.”

නිහඬව අසා සිටින හසන්තිට රමේෂ් කිව්වෙ කටහඬ ඇසෙන නෑසෙන ගානටය.

“රස්සාව කරන්න පටන් ගත්තාම?”

හසන්ති ඇහුවෙත් මුමුණලා. දෙන්න හෙමින් කතාව ලංකාවේ පුරුද්දට. ඇහෙන පේන පළාතක කවුරුත් නැහැ.

“නොදී හිටියොත් උන් ගහනවා. දුන්නොත් රටේ නීති කඩකළැයි කියල රටින් දොට්ට දායි.”

කිසිවක් නොකියා හසන්ති අසාගෙන සිටියි. රටින් පිට කළොත් ආපසු තමන් උපන් රටට යෑමට නොහැකි සරණාගතයන් ලවා මෙසේ නීති කඩ කරවීමට සමත් වූවෝ ත්‍රස්තවාදියෝම වෙති. ද්‍රවිඩ ජාතිකයෝ බුරුතු පිටින් කැනඩාවේ නැගෙනහිර පෙදෙස් වල වාසය කරති. ටොරොන්ටෝ ප්‍රාන්තයේ කඩපේළි අයිති කරගෙන සිටින ඔවුන් උපන් රටේ ප්‍රශ්න ‍නව නිවහනටත් රැගෙන විත්ය.

“පුංචි දරුවෝ දෙන්නෙක් උස්සන් ගිහින් ස්කාබොරෝවල.”

රමේෂ් පොත වසා දමා ඇත. ඔහුගේ වත විඩාවෙන් දුබලය. එය ගතේ විඩාවක් නොව මානසික තෙහෙට්ටුවකි. නිදහසක් නොමැති ලෝකයක ඉදිරි අනාගතයක් සැලසුම් කළ නොහැකි අධෛර්මයත් බවින් පිරුණු පශ්චාත්තාපය ඔහුගේ ගත පුරා දිවෙයි.

“මෙහෙ ඇවිල්ලත් නිදහසක් නෑ නේද?” හසන්ති කිව්වේ ද්‍රවිඩ ජාතිකයන්ට ඔවුන්ගේ අයම කරන කරදර ගැන රමේෂ් වෙතින් දැන සිටි හෙයිනි.

ලාංකික ද්‍රවිඩයන් හොයා යන සටන්කාමී ද්‍රවිඩ ත්‍රස්තවාදියෝ ඔවුන්ගේ පවුල්වලට, පිටරටවල හෝ ලංකාවේ ඉන්නා ඥාතීන්ට කරදර පමුණුවන බැව් කියමින් ආධාර ඉල්ලන්නේ සුහද බවෙන් නොවේ. පවුලක් හෝ ඥාතියෙක් නැතිනම් පමණක් ත්‍රස්තවාදියාට එරෙහි වන්නට කෙනෙකුට හැකිය. එහෙත් බොහෝ පවුල් මුහුණ පාන්නේ අනුන්ගේ සුවසෙත හා ජීවිතය තමන් පිට පැටවෙන බරටය.

“අවි ගත්තෝට විරුද්ධව කතා කරන්න ස්ටෙතස්කෝප් එකකින් පුළුවන් ද?” රමේෂ් අහිංසක හිනාවක් පෑවා.

හසන්ති ජයගත්තේ දුප්පත්කමයි. ඒ තනිකරම බුද්ධියට ප්‍රමුඛත්වය දීමෙනි. එහෙත් ඇය අද දන්නා පරිදි දුප්පත්කමට වඩා බරපතල බාධක සමාජයේ නිදහස සොයන්නා මුහුණ පායි. රමේෂ් මෙන්ම ඇයත් මෙම දුරු රටේ සුළු ජාතිකයෝය. එහෙත් තමාට වඩා රමේෂ් ඒ සුළු ජාතිකත්වය නිසාම ඔහු උපන් රටේ වූවාටත් වඩා දරුණු පීඩනයකට මෙහි දී ලක්වෙයි.

“මේ කරදර එක්ක මං කොහොම ද අපි දෙන්නා ගැන කතා කරන්නෙ?” රමේෂ් අසයි.

“ඉස්සරවෙලා විභාගෙ පාස් කරගන්නකෝ.” පොත ළඟ වූ ඔහුගේ දකුණත තම දෑත් මැදට කරගත් හසන්ති කියයි.

Advertisements

ප්‍රතිචාර 3 »

  1. nice story keep it up

    ප්‍රතිචාර විසින් Dar[K] — මාර්තු 29, 2010 @ 10:58 පෙ.ව.

  2. meka hari alut atdekeemak

    ප්‍රතිචාර විසින් indika kumara — මාර්තු 29, 2010 @ 11:10 පෙ.ව.

  3. yeh

    ප්‍රතිචාර විසින් Dar[K] — මාර්තු 29, 2010 @ 11:36 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: