Sinhala story Blog

මාර්තු 28, 2010

3.25 -ඔයාට හොඳටම ෂුවර් ද?

Filed under: Uncategorized — sinhalashortstories @ 7:33 පෙ.ව.

වට පිටාවෙන් අඳුර ළඟා වුවත් වේලාව හවස හතරයි.

සීත කාලය උදා වෙද්දී පැයක් පස්සට දාන එංගලන්තය යළි වසන්තයේ දී පැයක් ඉස්සරහට ගනියි. ඒ කෘෂිකාර්මික පරිසරයක කිරි ගවයන්ගේ පහසුව පිණිස යයි ටෙලියෙන් කියැවෙනවා සංජීවනී අසා සිටියාය. තවත් අයෙක් ඒ පාසැල් දරුවන්ගේ උදෑසන ගමන හිරු එළියේ කිරීමට අවශ්‍ය නිසා යයි කියයි. ඇමෙරිකාවෙ ඉස්සරහට පස්සට වෙනස් කරන නිසා අපිත් වෙනස් කරනවා ද යයි තවෙකෙක් ප්‍රශ්න නඟයි. නිවේදකයන්ගේ පැහැදිලි කිරීම් හරියාකාරව සංජීවනීට වැටහුනේ නැත. ලංකාවේ හෙන්දිරික්කා මල් පිපෙන වෙලාව කියන්නෙ හවස හතරට. ඒක හොඳට හිරු එළිය තියෙන වෙලාවක්. ලන්ඩනයේ තේ වෙලාවත් හවස හතරට. ඒ සීතල කාලයේ කළුවර වැටුනට රස්නෙ කාලයේ හිරු අහසේ මුදුනින් ඉන්න වෙලාවක්.

සංජීවනී දවල් කාලයේ ගියා කෙන්සින්ටන් උද්‍යානයේ ඇවිදින්න. හෙන්දිරික්කා මල් දවල් කාලේ පිපිලා තියෙනවා දැක්කෙ එතැන. සීතලට පොළව හිමෙන් වැහෙන්න ආසන්නව තියෙද්දිත් කෙන්සින්ටන් උද්‍යානයේ මල් පාත්ති වල මල් පිපිලා තියෙනව. ඈත අතීතයක රදළ ප්‍රභූන් විනෝදයෙන් කාලය ගෙව්ව හයිඩ් පාක් එකෙන් කොටසකුත් ඊට අයිතියි. සිරුරු මුළුමනින්ම ආවරණය කරන ලෝගු අන්දවා ක්‍රීඩාංගණයට එවන දරු දැරියෝ අත් වැසුම් හා තොප්පි බිම හළා දුව පනිති. කුඩා දරුවන් රැගත් තරුණ අම්මලා එක් රොක් වන්නේ ඩයනා කුමරියගේ සිහිවටන ක්‍රීඩාංගනයටයි. ඩයනාගෙ විවාහ උත්සවය ලංකාවෙ දී නැරඹුව දවස සංජීවනීට අද වගේ මතකයි.

උදෑසනටත් රාත්‍රියටත් උයලා, ගෙදර අස්පස් කරනවා හැරෙන්න සංජීවනීට කරන්න දෙයක් නැහැ. ටෙලිය ඉස්සරහින් වාඩිවෙලා හිටියත් බොහෝ අවස්ථාවල එයාගෙ හිත දිව යන්නෙ වෙන වෙන පැති වල. අලස උදාසීන දවසක් නිමා කරන ඇය නැවතත් මුහුණ දෙන්නෙ තවත් එවැනිම දවසකටයි.

ටෙලියෙන් බලාගෙන තව තවත් කෑම ජාති හදන්න සංජීවනී පුරුදු වුනේ කම්මැලිකම නැති කර ගන්න. නැතුව කෑම උයන්න ආස නිසා නෙමෙයි. රෝහලේ වැඩ නිමකර රෑට ගෙදර එන පර්සි ඇඟපත සෝදා ගෙන රෑ කෑම කන්නෙ කිසිම කතා බහක් නැතුව. මොකක් හරි ඇහුවොත් ඔව් නෑ බෑ කියල උත්තර දෙනවා. සංජීවනී දිග කතාබහකට පැටලෙන්න එනවා කියල හිතුනොත් මහන්සිය පිට දාල කතාවෙන් ගැලවෙනව. උයපු කෑම වල රහ ගුණ කියන්නවත්, කෑම හදල තිබ්බට ස්තූතියක් කරන්නවත් එයා මහන්සි වුනේ නැහැ. සංජීවනී උයන ආහාර කෙමෙන් කෙමෙන් රසෙන් පිරුණට ඒ බව යාන්තමෙන් හරි දැනුන වගක් පර්සිගෙ හැසිරීමෙන් පෙනෙන්නෙ නැහැ. කෑම කාලා ඉවර වුනාට පස්සෙ නිදා ගන්න යනකම් පර්සි ටෙලිය ඉස්සරහ තමා. හොඳටම අඳුරේ ඇති නිවහනේ ටෙලියෙන් පමණක් එන ආලෝකය ඉදිරියේ බුම්මට්ටො දෙන්නෙක් වගේ දෙන්නා දෙපැත්තක ඉන්න එක දවසේ නිමාව දකින පුරුද්දක් වුනි.

පර්සි රුක්ෂානිගේ නිවසේ සාදයට පසු දිනයේ සිට සංජීවනී හා කතා කිරීම තවත් අඩු කර ඇත. වචනයක් දෙකක් හෝ හුවමාරු වන්නේ එහෙමත් දිනයකය. ඔහු සෙනසුරාදා සිය දෙමාපියන් හා ගත කිරීම නොනවත්වා කරගෙන ගියේය. සංජීවනී දිගටම නිදා ගත්තේ ආගන්තුකයන්ට වෙන්වුනු කාම‍රයේය. ප්‍රිනිගේ විවාහ මංගල්‍යයට සහභාගී වී පැමිණ දැන් වසර දෙකක් ළං වෙයි.

දිනක් උදෑසන පර්සි “මට කෑම හදන්න එපා” කියා නිවසෙන් පිටව ගියේය. එදින රාත්‍රියේ නිවසට අවුත් ස්නානය කර නිදා ගත් හේ ඊ ළඟ දිනයේ ද අහර නොගෙනම නිවෙසින් පිටව ගියේ වචනයක් හෝ නොදොඩා ය. එදා දහවල බඩු ගෙනෙන්න කඩයට යන්න සැරසී මුදල් සොයන්න ගිය සංජීවනී දුටුවේ මුළුතැන්ගෙයි කවුන්ටරය මත වූ වෙනදා පර්සි මුදල් නෝට්ටු දමා යන මල් පෝච්චිය හිස් බවයි.

කෑම පොතේ හැටියට උයන්න පටන් ගත්තට පස්සේ සංජීවනී පිළියෙල කල කඩ කෑම අනුභව කරන එක ඉබේටම වගේ අඩු කළා ය. ටෙලියෙන් බලා බලා සටහන් ලියා ගත් කොළ කෑලි දිහා බලමින් ආහාර පිසිද්දී වෙනදා වගේ රත් කරන ගමන් අහුරක් දෙකක් කටට දා ගන්න ඉඩක් ලැබුනේ නැහැ. උයා පිහා අවසන් කළාම සිතටත් ගතටත් දැනුන ප්‍රීතිය වගේම ආහාර සුවඳෙන් රවට්ටලා තිබුන හිතට බඩ ගින්නක් ආවෙත් නැහැ. තනියම කෑම පිඟානක් බුදින එක මිනිසා වැනි සමාජශීලී සත්වයෙකුට සහජයෙන් ම තියෙන්නක් නෙවෙයි. පොඩ්ඩක් පිඟානකට බෙදාගෙන ඒක අතින් එහාට මෙහාට තල්ලු කරලා ඉතිරි කෑම භාජන වලට දාල සීතකරණයට ඇතුල් කරන්න ඇය පුරුදු වුනේ ඒ කිසිවෙක් පසු දවසක නොකන කෑම එක පාරටම අහක දාන්න බැරි ආහාර හිඟ රටකින් ආවේනික වූ හැදියාව නිසා පමණයි. අන්තිමට සීතකරණයේ කෑම දාපු අසුරණ පෙට්ටි කෙමෙන් කෙමෙන් ගොඩ ගැහෙන්න පටන් ගත්තා.

අළුත් එළවළු, මාළු ගේන්නෙ නැතුව ගෙදර පෑන්ට්‍රියේ කබඩ්වල තිබිච්ච සේරම කෑම බීම උයලා ඉවර කරන්න සති දෙක තුනක් ගියා. තවමත් පර්සි ගෙදරින් යනවා, එනවා, නානවා, නිදා ගන්නවා. අයෙත් ඒ ටිකම කරනවා. කිසිම කතා බහක් නැහැ. කෙමෙන් කෙමෙන් නිහඬ බවට හුරු වෙච්ච සංජීවනීත් කතා බහක් නොකර හිටියා. සති දෙකක් තුනක් යනකොට සීතකරණයේ තිබුන කෑම සේරම කාලා ඉවර වුනේ හෝ විසි කරලා දැම්මෙ සංජීවනී.

ප්‍රීනියි හසන්තියි ලන්ඩනයෙන් ගියාට පස්සෙ තමා මේ. යන්න කලින් දා තිබුණ සාදයේ දී පර්සි කලිසමේ හිටන් මත්පැන් හලා ගන්න තරමට බීලා හිටියා කියලයි සංජීවනී තවමත් හිතාගෙන ඉන්නෙ. පර්සි හිතන් හිටියේ තමා විවාහ වුනේ අහිංසක, කිසි කෙනෙක් දිහා ඔළුව උස්සලා බලන්නෙත් නැති කෙල්ලක් එක්ක කියල විශ්වාස කරල තමා රැවටුන බවයි. රූමත් බව සැලකූ පර්සි ළමා නිළියක් වුනාට තරුණ වයසේ දී රඟපාපු නැති සංජීවනී ගැන දැන් හිතාගෙන ඉන්නෙ මහ නැට්ටිච්චියක් කියල. යෙහෙළියන් එක්ක ප්‍රීතියෙන් ඉන්න හැටි දැකීම පර්සිට රුස්සන්නෙ නැහැ. එයා කැමති වුනේ ඇඬුම්බර මුහුණකට. එදා සාද‍ෙයන් පස්සෙ පර්සි එයාගෙන් ඈත් වෙන්න හදන එක සංජීවනීට ප්‍රශ්නයක් වුනත් ඒකට හේතුව දැන ගන්න අවස්ථාවක් එයාට ලැබුනෙ නැහැ. පර්සි තමන් හිතා ගත්ත විදියට සංජීවනි ගැන හිතාගෙන හිටිය මිසක් ඒ ගැන සංජීවනී එක්ක කතාබහ කරන්න උත්සාහයක් ගත්තෙත් නැහැ.

“ෂැම්පු ඉවරයි. දත් මදින්න ටූත් පේස්ට් නැහැ.”

පර්සි වැඩට යන්න කළින් සංජීවනී ඔහුට කියයි.

“ගිහින් ගේන එකනෙ.” ඔහු ඇය දෙස නොබලාම පිළිතුරු දෙයි.

“මල් පෝච්චියට සල්ලි දාලා නැහැනෙ.”

ඇය මිමිණුවේ රහසින්. මුදල් ගැන කතා කිරීමට සංජිවනී ලැජ්ජයි. නැහැයි කියල ඉල්ල ගන්න එක එයාට කොහෙත්ම දිරවන්නෙ නෑ.

“මල් පෝච්චි වලට සල්ලි ඉබේ වැටෙන්නෑ. ඔයා ගෙනාපු සල්ලි දැන් කාල බීල ඉවරයි. සල්ලි ඕන නම් ගිහින් රස්සාවක් හොයා ගන්න එකයි ඇත්තෙ. මගෙන් බලාගන ඉන්නෙ නැතුව.”

සංජිවනී පුදුම වෙලා බලා හිටිය. පර්සි දොරත් වහාගෙන ගෙයින් පිටවෙලාත් පැය භාගයක් විතර යනකම් ඇයට විශ්වාස කරගන්න බැරි වුනා මොකක්ද ඒ කතාව කියලා. ඇයට දෑවැද්දක් සඳහා විවාහයට කීයක් දුන්නා දැයි ඇය කිසි දිනෙක විමසා නැත. ඒ මුදල් සියල්ල කෙළින්ම ආච්චී සහ සීයා විසින් දෙන ලද්දේ පර්සි අතටයි. දැන් ඔහු තමාට රස්සාවක් හොයා ගන්න කියන්නේ ඇයි?

සංජීවනී නා ගත්තෙත් නෑ. දතකට මැද්දෙත් නෑ. ගේ ඇතුලේ කිහිප සැරයක් ඇවිදලා රූකඩයෙක් වගේ අස් කරන්න තිබුන දෙයක් එහාට මෙහාට කරා. කන්න බොන්නත් එයාට අමතක වුනා. දවස පුරාම ඇඟට නොදැනෙන පණ නැති ගතියක් තිබුණ. ටෙලිය දාගෙන ඒ ඉස්සරහ වාඩි වෙලා එහෙමම නිදා වැටුන. හවස් වෙලා දොර අරින සද්දෙට තමයි එයාට නැවත ඇහැරුනේ.

පර්සි ගෙට ඇතුල් වුනේ තවත් කෙනෙක් එක්ක කතාබහේ යෙදී. දොර වහලා සංජීවනී දිහා බලල අප්‍රසාදයෙන් ඔහු ආපු අයත් එක්ක ටෙලිය නිවාගෙන සාලේ පහු කරගෙන ගියා.

සංජීවනී නිවිච්ච ටෙලියෙන් දැක්කෙ එයාගෙ අවුල් වෙච්ච කොණ්ඩය. ඇස් ළඟ එකතු වෙලා නින්දෙන් පස්සෙ සුදු පාටට කබ. නා ගත්තෙත් නැති නිසා එයාගෙ දහඩිය ගඳ එයාටම දැනුන. පර්සිව හොයාගෙන නිදන කාමරයට පැත්තට යනකොට කාමරයෙ දොර වහල. ඇතුලේ කතාබහ කරන්නෙ, හිනා වෙන්නෙ කෙල්ලක් කියන එක වැටහෙන විට සංජිවනී තවත් පුදුමයට පත්වුනේ නැහැ.

සංජීවනීගේ ඇස් වලින් කඳුළු වැගිරෙන්න ගත්තෙ එයාටත් නොදැනීම. අමුත්තන්ට වෙන්වුනු කාම‍රයේ එයා ගිහින් ඇඳට වැටුණ. දවස පුරාම මුකුත් කාපු බීපු නැති ඇය නින්දට වැටුන ද නැත්නම් කලන්තෙ දැම්ම ද කියලත් කියන්න අමාරුයි.

සංජීවනී උදේ ඇහැරුනේ දොරවල් වහගෙන පර්සියි එයා එක්කන් ආපු අයයි පිටවෙලා යද්දී.

“රුක්ෂානි…”

“හලෝ සංජිවනී. කොහොමද ළමයෝ කාලෙකින්?”

“රුක්ෂානි…..”

“ඇයි? කරදරයක් ද? මං එන්න ද? ඔයා මෙහෙ එනව ද?”

“මට එන්න විදියක් නෑ.” ඇය කියා ගත්තෙ අමාරුවෙන්.

රුක්ෂානි පැය භාගයෙන් සංජීවනීගේ ගෙදර දොරට තට්ටු කරනවා.

“මොකද වුනේ?”

සංජිවනී ආයෙත් ඇඬුවේ නැහැ. පර්සි සුදු කෙල්ලක් හා පැමිණ නිවසේ රෑ ගතකොට උදෑසන දෙදෙනාම පිටව ගිය බව ඇය රුක්ෂානි හා කිව්වෙ වෙනකාට හරි වෙච්ච දෙයක් කියන ගානට. තමාට රස්සාවක් හොයා ගන්න කී හැටිත් වියදමට ගෙදර පැන්සයක් වත් නැති බව ඇය කිව්වෙ ටැබ්ලොයිඩ් පත්තරයක ප්‍රවෘත්තියක් කියවන ගානට.

“ඔයාට මොකද කරන්න ඕනා?”

“මට රණ්ඩු අල්ලන්න ඕනා නැහැ රුක්ෂානි. මට යන්න තැනක් හොයල දෙන්න.”

“එහෙම දාලා ගියොත් ඔයාට මොනවා වත් හම්බ වෙන්නෙ නෑ.”

“මට පර්සිගෙන් මොනවාවත් ඕන නැහැ.”

“සල්ලි බැංකුවෙන් ගන්න කාඩ් එක, චෙක්පොත?”

“මට ඒවා නැහැ. මං ඉල්ලුවෙත් නැහැ. ගෙදර වියදමට දුන්නු මල් වාස් එකට දාපු සල්ලි ටික ඇති නිසා.”

“ඔයා ගියොත් ආයි එන්න දුන්නෙ නැත්නම්?”

“මට ආයිත් එන්න ඕනා නැහැ. මම ට්‍රයි කරා රුක්ෂානි. මගේ වැරැද්ද වෙන්න ඇති. ඒත් මුකුත් කතා කරන්නෙ නැතිවුනාම දැනගන්නත් බෑනේ. එයාට දැන් මාව දකින කොටත් තරහයි වගේ.”

“ඩැඩීයි මමීයි මේ දවස්වල ලීෂන්ස්ටයින්. ගෙදර හිටියත් අහන්නෙ නෑ මොකද කියලා. ඔයාට අපේ ගෙදර ඉන්න කැමති කාලයක් පුළුවන්.”

“මම මොකක් හරි රස්සාවක් හොයාගත්තම ඉන්න තැනකුත් හොයාගන්නම්.”

කුසලතා තියන, සුදුසුකම් හා අධ්‍යාපනය තියෙන අයත් රස්සාවල් හොයාගන්නයි නවාතැන් හොයාගන්නයි ලන්ඩනයේ විඳිනා වද සංජීවනී නොදනී. රුක්ෂානි ඒ ගැන කියන්නට ගියේ නැත.

ඇඳුම් කීපයක් පමණක් බෑගයකට දමාගත් සංජිවනී ඇයගේ කණකර ආභරණ ද ඊට එබුවාය. කුඩා මල්ලකට ගෙනියන සියල්ල තෝරා පුරවා ගන්නට ඇයට හැකිවිණ. ඇය එනකොට ගෙනා වැඩි දෙයක් නොවීය. ඇය තමන් වෙනුවෙන් පමණක් කියා මිල දී ගත්තකට නිවහනේ වූයේ රූලාවන්‍ය පිළිබඳ සඟරා කිහිපයකි.

“ඔයාට හොඳටම ෂුවර් ද?” රුක්ෂානි නැවතත් අසයි.

සංජීවනී ඔළුව ඉහළටත් පහළටත් දමයි.

අතේ ඇති වයර්ලස් ෆෝනයෙන් කාර්යාලයට කතා කල රුක්ෂානි දිනයේ ඉතිරිය නිවාඩු ගන්නා බව දැන්වීය.

“නෑ නෑ මට කරදරයක් නෑ. යාළුවෙකුගෙ හදිසි අවශ්‍යයතාවයක්.”

තව ප්‍රශ්න කිහිපයකටත් උත්තර දුන් පසු ඇය වයර්ලස් ෆෝනය පොකට් බුක් එකට එබුවෙ සංජීවනීට උදව් කරන්නෙ කොහොමද කියලා හිතාගන්න බැරුව.

“ඔයාගෙ සල්ලි කොටස අපි බැංකුවට ගිහින් ගමු. අර අස්ස රේස් වලින් දිනපු සල්ලි. පෙනල්ටි එකක් ගෙවන්න වෙයි. දාලා තියෙන්නෙ අවුරුද්දෙන් අවුරුද්දට අළුත් වෙන්න.”

“සේරම ගන්න එපා. ටිකක් තිබුනම ඇති. ඔයාගෙ ගෙදර ඉන්නවාටත් කීයක් හරි දෙන්න.”

“මේ මොන පිස්සු කතා ද? මගේ ගෙදර ඉන්නවට ඔයා ගෙවන්න ඕන නැහැ.”

සංජීවනී වටපිට නොබලාම මල්ලත් උස්සා ගෙන පිටවන්නට ලෑස්තිය.

“පාස්පෝට් එක කෝ?”

“බෑග් එකට දැම්මා.”

ගෙදර දොර වහල යතුර දොර ළඟ තියෙන පාපිස්ස යටින් හංගලා දෙදෙනාම පිටත් වුනහ. සංජීවනී ගෙදරින් පිටවුනේ සැහැල්ලු සිතකින්. දාලා යන්න ගෙනාපු දෙයක් නැති වුනාම පිටවෙලා යන්නත් දුකක් නැහැ වගේ.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: