Sinhala story Blog

මාර්තු 27, 2010

3.24 -ටෙම්පල් වීදියේ නයිට් මාකට් යමු?

Filed under: Uncategorized — sinhalashortstories @ 8:22 පෙ.ව.

හොංකොං නගරයේ කොවුලූන් වරායේ සිට නගරය දිහා බලන කල හැම තැනම තම සේයාරුව දකිනු හැකි කණ්ණාඩි ඇත.

අහස සිපගන්නා තරමට උස්වූ ගොඩනැඟිලි පිටත ඇති කණ්ණාඩිවලින් තම රුව නරඹා පැන දුවන්නේ මළවුන්ගේ අවතාර වෙති. චීන සංස්කෘතිය මළවුන්ගේ අවතාරවලට බෙහෙවින් ගරු කරති. එසේම බිය වෙති. ‍චීනයෙන් පැහැදිලිවම වෙනස් ධනවාදී ආර්ථික වැඩ පිළිවෙතක් අනුගමනය කරන හොංකොං නගරයේද චීන සංස්කෘතියේ මළවුන්ගේ අවතාරවලට තැනක් දී ඇත්තේ ආර්ථික රටාව වෙනස් කළද සංස්කෘතික ඇදහීම් වෙනස් කරනු නොහැකි යයි කියා පෑමටද?

රුක්ෂානි හොංකොං අවුත් සිටින්නේ ෆැන්ටෑස්ටික් ගේම්ස් විසින් චීන සමූහාණ්ඩුව හා කරන ව්‍යාපෘතියක කතාබහට. චීනයේ දී හමු නොවී හොංකොං වල දී හමුවන්නේ නැත‍හොත් ව්‍යාපෘතිය පටන් ගන්නටත් පෙර ඊට අගුල් වැටේ කියාය.

“චීනය හරියට ගැටවර වියේ ඉන්නා කෙනෙක් වගේ. කෙළින්ම එපා කිව්වොත් තරහ වෙනවා. වයස හරි නැති නිසා කියන දේ අහන්නෙ පිළිගන්නෙ නැහැ. සමාජවාදී ක්‍රමයෙන් ඈත් වෙලා ධනවාදී ක්‍රමයකට බහින අවදානම් ගැටවර වයස. ඒ නිසා තදින් නොසිට ටිකක් ඉඩ දීලා ටිකක් සැර වෙන්නයි ඕනා.”

ඒ ආනන්ද අතුරුපාන රුක්ෂානිට දුන් උ‍වදෙසයි. මේ දිනවල රුක්ෂානිගේ මවත් පියාත් හොංකොං වල රුක්ෂානි නැවතී සිටිනා හෝටලයේම කල් ගෙවති. සතියක් මෙසේ ඔවුන් රුක්ෂානි සිය ව්‍යාපාර හමුව අවසන් කරන තෙක්ම ඇය හා රැඳී සිටිති. ආනන්ද අතුරුපානට චීන ව්‍යාපාරිකයන් හා වෙළඳ ගනුදෙනු බෙහෙවින් හුරුයි. අලුත් නීති සමූහයක් යටතේ මෙන්ම පාරම්පරික වූ ව්‍යාපාරික රටාවක් යටතේ කටයුතු කරන කල අලුත් නීති මොනවා ද පාරම්පරික රටාව මොනවා දැයි දැන හැඳිනීම අවශ්‍යයයි.

“චීන්නු ඉස්සර වෙලාම කරන්නෙ තමන්ගෙ කැත සහෝදරියෝ බන්දලා දෙන එක. විකුණගන්න බැරි ව්‍යාපාර වලට ආයෝජන කරාට පස්සෙ තමයි ආදායම් ලැබෙන වාසි ව්‍යාපාර වලට පාරවල් ඇරෙන්නෙ.”

“ඩැඩී සවුත්කොරියා කෙනෙක් අහනවා අපි කියන ගණන් වලට වඩා වැඩියෙන් සල්ලි එව්වම මොකද වෙන්නෙ කියල? ඒ කතාව දෙතුන් පාරක් මගෙන් ඇහැව්වා. ඇයි ඒ?”

“රුකී, සමහර රටවල් වලින් නීත්‍යානුකූලව සල්ලි පිට කරගන්න අමාරුයි. ඉතින් වැඩියෙන් ගෙව්වම ඔයාලට තියෙන්නෙ ඒ වැඩිපුර එවන සල්ලි දාන්න ඕනා එයාගෙ කොයි රටේ බැංකු ගිණුමට ද කියලා අහන එක.”

ආනන්ද අතුරුපාන පොත් නොලියයි. විශ්ව විද්‍යාලයක දේශන නොපවත්වයි. අද ඔහු කිසි රජයකට උපදෙස් දෙන්නට නොයයි. තම දැනුම තම ආයෝජන කටයුතු වෙනුවෙන් පමණක් යොදන ඔහු අනුන් වෙනුවෙන් ආයෝජන නොකරන තනි පුද්ගලයෙක්ව ඇත. ඔහුගේ දැනුම ප්‍රායෝගිකය. මුදල් ගෙවා එය ඉගෙන ගන්නට තැත දරන්නෝ විටින් විට ඔහුට සම්මන්ත්‍රණ අමතන්නටය, විශ්වවිද්‍යාල දේශන පවත්වන්නටය කියා ආරාධනා කරති. එහෙත් ඒ කිසිවකට අත නොගසන ඔහු සිය මොළය තම දේපල වර්ධනයට පමණක් සීමාකර ඇත. සිය බිරිඳ හා ලෝකය පුරා සුවිසල් හෝටල්වල කරක් ගසන ඔහු ධනය සුරක්ෂිත තැන්පතු පෙට්ටියක බහලා තබන්නෙක් නොව එය සිය සුඛෝපභෝගී දිවිය ගෙවීමට යොදා ගන්නෙකි.

රුක්ෂානි සිය මව හා පියා සමඟ දහවල් ආහාරයට එක් වූයේ ඩිස්කවරි බොක්කේ වූ ඩී ඩෙක් අවන්හලේය. තැනින් තැන වූ පාම් ගස් අතරින් පතර කිරි සුදු පාට කුඩ ආවරණ වෙති. හතරැස් මේසයට රවුම් ඇන්දකින් යුතු වේවැල් පුටු තබා ඇත. පැති අටකින් වූ කුඩ යටින් හතරැස් මේස හා රවුම් පුටු එකතු වූ කල ඇති ජ්‍යාමිතික සුන්දරත්වයට පසුබිමින් නිල් පැහැති නිශ්චල මුහුදද එක් වී සිරියාවක් ඇති කරයි.

“අපේ හොටෙල් එකේ හොඳ මසාජ් සේවයක් තියනවා.”

රුක්ෂානිගේ මව පවසයි. ඇය අතේ ඔවුන් නැවතී සිටින හෝටලය ගැන විස්තර පොතකි.

“ඔයාට මතකනෙ ලංකාවේ ගිහින් කරගත්ත හරිය.”

රුක්ෂානිගේ පියා ඇය වෙත හැරී අසයි.

“මොකක්ද වුනේ?”

ඒ රුක්ෂානි. ඇය ඉදිරියේ වූයේ ෂැන්හයි ඩම්ප්ලින්ග්ස් පිරි බට ලීයෙන් තැනුනු රවුම් පෙට්ටියකි.

“ඩැඩී එපා කියද්දි අපි හිටිය හික්කඩුව හෝට‍ලයෙන් මම මසාජ් එකක් ගත්ත. මම හිතුවෙ ආයුර්වේද මසාජ් කියන කොට අපේ අය හොඳට දන්නවා ඇති කියලයි.”

රුක්ෂානිගේ මවත් පියාත් ඩිම් සම් නැමති කැන්ටොනීස් කඩචෝරු කෑහ. ඒවා ද මේසයට පිරිනැමුනේ බටලීයෙන් තැනුනු රවුම් පෙට්ටිවල.

“රෑ වෙනකොට අත් නිල් ගැහිල. හරියට ගහක බැඳල හොඳ කස පාරක් දුන්න වගේ.”

රුක්ෂානිගේ පියා කතාව රස කරයි.

“මට ඊ ළඟ දවසේ නාලා ඔළුව පිහද ගන්න අත් දෙක උස්සන්නත් බැහැ රිදුන.”

රුක්ෂානිගේ මවට දැන් එම රිදුම අමතකය. ඒ කතාව කීම සතුටකි.

“ලංකාව තාම සංචාරකයන්ගෙන් මුදල් හොයන හැටි දන්නෙ නැහැ.”

ආනන්ද කීවේ ඩී ඩෙක් එකේ වටපිට බලා නොයෙක් ආකාරයන්ගෙන් මුදල් වැඩියෙන් අය කරගන්නා ක්‍රම දකිමිනි. එකම සේවයට වඩාත් වෙනස් වූ මට්ටම් වලින් මුදල් අය කරත හැකි ආකාර සංචාරක සේවය තුල එපමණය. එදිනෙදා ජීවිතයේ එවැනිම වූ සේවයකට මුදල් වැය කිරීම කිහිප වතාවක් විපරම් කරනා අයද සංචාරයක යෙදෙනා කළ එම සේවයට අතිවිශාල මුදලක් ගෙවන්නේ විපරමින් තොර සතුටිනි.

“ටෙම්පල් වීදියේ නයිට් මාකට් යමු?” රුක්ෂානිගේ මව සිය සැමියාගෙන් අසයි.

“යව් මා තයි,” රුක්ෂානිගේ පියා පිළිතුරු දෙයි.

“ඩැඩී දැන් චීන කතා කරන්නත් දන්නවා ද?” රුක්ෂානි විමසයි.

“ටෙම්පල් ස්ට්‍රීට් නයිට් මාකට්.” ආනන්ද අතුරුපාන මෙවර චීන නම ඉංග්‍රීසියෙන් කියයි.

“ඒකේ තියෙන්නෙ පිරිමි අයට බඩු නේද?” රුක්ෂානි මවගෙන් අසයි.

“අත බලා ශාස්ත්‍ර කියන අයත් ඉන්නවා,” ආනන්ද රුක්ෂානිට කිව්වේ මව දෙසට ඉඟි කරමිනි.

“රෑට මහපාරේ ඔපෙරා සිංදු කියන අයත් එනවා,” රුක්ෂානිගේ මව ඔහුගේ ඉඟිය නොදැක්කා සේ කීවාය.

හවස හතරට පටන් ගන්නා වීදි කඩපෙළ අඩු මිලට බඩු ගන්නට කදිම තැනකි. පිරිමින්ගේ බඩු රාශියක් විකුණන නිසා ඊට පිරිමින්ගේ වීදිය කියාද නම වැටී ඇත. බඩු ගැනීම කෙසේ වෙතත් හවස හයෙන් පසු අවදිවන කඩමණ්ඩිය දහවල් කාලයේ ඇති රස්නයෙන් තොර එහෙත් ජනාකීර්ණ නිසාත් විදුලි එළියෙන් දිදුලන නිසාත් බියක් නැතිව ගැ‍වසෙන්නට හැකි රාත්‍රී සංචාරකයන්ගේ තිප්පොළකි.

“මට එන්න වෙන්නෑ රෑට. අද චීන කට්ටියට කෝස්වේ බේ යන්න ඕනා කියනවා ඇහුණ.”

රුක්ෂානි කීවේ මඳ නිහැඬියාවකට අනතුරුව. ඇය තමා ඉදිරියේ වූ රවුම් බට ලී පෙට්ටියේ අවසන් ඩම්ප්ලින්ග් කෑල්ල විනාකිරේ ඔබා කට තුලට දමා ගත්තේ චීන කෑම කන ලී කූරු දෙකෙනි.

“කොච්චර මාඕව ඔළුව මුදුනින් තියලා කතා කරත් අන්තිමට එයාලත් ඇවිත් යන්න හදන්නෙ ධනවාදී අය කන බොන නටන තැන් හොයාගෙනම තමා. ජීවිතයේ රස මෙහෙම විඳින්න කියලා තීරණය කරන්න නොගිහින් රස විඳින තැන්වලින් මුදල් හොයා ගන්න මාර්ග දැන්වත් පෙනිච්ච එක ලොකු දෙයක්.”

ඉස්සෝ පිරි කුඩා ඩිම් සම් පාර්සලය දැවටූ විනිවිද පෙනෙනා ආවරණය අනුභව කළ හැකිය. එය රුක්ෂානි අසල වූ විනාකිරි මිශ්‍රණයේම ඔබා ආනන්ද අතුරුපාන තම මුවට එක් කළේ ද චොප්ස්ටික්ස් ආධාරයෙනි.

“ඩැඩීයි මායි ගියා වික්ටෝරියා වරායේ හෙලිකොප්ටර් රයිඩ් එකක්.”

ජීවිතය රස විඳින්න මනාව දන්නා රුක්ෂානිගේ මව කියයි.

“ඔන්න චීන්නු ටික එක්කන් යන්න. ස්ප්ලෙන්ඩිඩ් ටුවර්ස් කරන්නෙ. ග්‍රෑන්ඩ් ඩෑම් එකේ ලොබී එකේ හවස තේ එක්කම. මිනිත්තු පහක් වික්ටෝරියා වරාය බලල පෙනින්සියුලා හෝටලයේ වහලට හෙලිකොප්ටර් එක බස්සනවා.”

ඩිම් සම් අනුභවය වඩාත් රස තේ කෝප්පයක් සමඟිනි. රුක්ෂානිගේ පියා උණු තේ කෝප්පයෙන් උගුරක් බීවේය.

“තේ වලට සැන්විච්, කේක් එක්ක චොකලට් ගාපු ස්ට්‍රෝබෙරි එහෙමත් තියනවා.”

ඔහු අනුගමනය කරමින් රුක්ෂානිගේ මව ද උණු තේ කෝප්පයෙන් උගුරක් බී කියන්නීය.

“ෆින්ගර් ෆුඩ් කියන්නෙ ආයි වැරදිලා එහෙම නෙමේ. ඇඟිල්ලකට වඩා ලොකු නැහැ එකක්වත්.”

චීන ලී කෝටු වලින් තම්බන ලද ඌරුමස් ඩම්ප්ලින්ග් කෑල්ලක් උස්සන රුක්ෂානිගේ පියා පවසයි. එය නම් ඇඟිල්ලකට වඩා ලොකුයි.

“මම හිතාගෙන හිටියෙ ඩක් ලින්ග් රයිඩ් එක්ක යන්න.”

රස්නය ඇති දහවල් කාලයේ පවා උණු තේ බීම හුරුවක් කරගත් රුක්ෂානිත් කෝප්පය අතට ගත්තේ ‍නිවෙන්න කළින් තේ බීලා ඉවර කරන්නයි.

“අන්න මගේ දුව,” රුක්ෂානිගෙ පියා පවසන්නේ ආඩම්බරයෙනි.

“මොකක්ද ඒ?”

තේ ‍පෝච්චියෙන් රුක්ෂානිගේ කෝප්පයටත් සිය සැමියාගේ තේ කෝප්පයටත් තේ පුරවන මව අසයි.

“ඔතෙන්ටික් චයිනීස් ජන්ක්,” රුක්ෂානිගේ පියා කොක් හඬලා හිනා වූයේය. එසේ සිනාවෙමින් ඔහු මේසයට දබරැඟිල්ලෙනුත් මැදඟිල්ලෙනුත් තට්ටු කිරීමට අමතක නොකරයි. එය ද චීන චාරිත්‍රයකි. තේ වත් කරන්නාට වදනින් ස්තූති කළ නොහැකි කතාබහේ සිටිනා කළ ස්තූති කරන්නේ මේසයට ‍එසේ තට්ටු කරමිනි.

“ඇන්ටික්ස් කඩයක් ද?”

රුක්ෂානිගේ මව අසයි. ඉන් තවත් ප්‍රමෝදයට පත් වූ රුක්ෂානිගේ පියාගේ සිනහව තවත් වැඩි විය.

“අම්මි, ඒක රුවල් නැවක්. අවුරුදු විසිපහක් විතර පරණ. චීන වෙළෙන්ඳෝ අවුරුදු සිය ගණනක් ප්‍රවාහන කටයුතු වල යෙදිලා තියෙන්නෙ ඒ වගෙ රුවල් නැව්වල. චීන අය හරි කැමති මොකද ඒක එයාලගෙ සම්ප්‍රදායික නැවක් නිසා.”

චීනයේ තේ කෝප්පය පානයෙන් පසු හිස්ව තැබීම චාරිත්‍රයට පටහැනිය. පිරුණු තේ කෝප්පය මේසයේ තිබිය දී යෑම චාරිත්‍රයට අනුකූලය. රුක්ෂානිගේ මව තේ කෝප්ප දෙකම නැවත පිරවූයේ දෙදෙනාම තේ බී අවසන් බව දැනගෙන.

“මේ කෙල්ල මට හරි ආඩම්බරයක්. හෙලිකොප්ටර් රයිඩ් එක හොංකොං ඩොලර් දාහකට වැඩි. ඩක් ලින්ග් රයිඩ් එකට හොංකොං ඩොලර් පනහයි යන්නෙ.”

රුක්ෂානිගේ පියා කෝට් සාක්කුවකින් ගත් ලේන්සුවකින් සිනහව වැඩිකමට දෙනෙතේ එකතු වූ සතුටු කඳුළු පිස දැමුවේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: