Sinhala story Blog

මාර්තු 25, 2010

3.22 -ඔයා විතරයි ප්ලෙන් එකේ කෑම ගැන හොඳක් කියන්නෙ

Filed under: Uncategorized — sinhalashortstories @ 10:28 පෙ.ව.

හසන්ති නෝවා ස්කෝෂියාවේ හැලිෆැක්ස් ගුවන්තොටුපලේ ආගමන ගේට්ටුවෙන් එළියට එද්දි රමේෂ් ඇවිත් බලාගෙන ඉන්නවා අතේ ලොකු මල් පොකුරකුත් එක්ක. පාට පාට බාබන්ඩේසියා අල්ලකින් වහන්න බැරි තරම් යෝධයි එක මලක්.

රමේෂ් මල්පොකුර දික් කලාම ඒක අතට ගත්ත හසන්ති. රමේෂ් අල්ල එකතු කරල ආයුබෝවන් කියන්නවත්, අතට අත දෙන්නවත්, වැළඳ ගන්නවත්, කම්මුල් ළඟින් වායුව චුම්භනය කරන්නවත් ගියේ නැහැ. ගුවන්යානයෙන් පිටවෙන කාණ්ඩයත් එක්කම දෙන්න ගමන් කළේ බෑග් එළියට එන තැනට. හසන්තිගෙ කරේ එල්ල ගත්තු හෑන්ඩ් බෑග් එක වූ අතේම පාස්පෝට් එකයි ගුවන් ටිකට් පත් ලියකියවිලි. අනිත් අතේ මල්පොකුර.

රමේෂ් කළු වෙලා කියල එයාට හිතුන. එත් සූටිකේස් හොයාගන්න ඒවා පටිය දිගේ රවුමේ එනකම් ඉන්නකොට එතැන වූ දැන්වීම් පුවරුවකින් තමන්ගේම ඡායාව දැක්කම එයත් රමේෂ් තරම්ම කළුයි කියා පෙනුන. වටපිට බලද්දි ඉන්න සේරම සුදුහම අය නිසා මෙතෙක් තමන් පැහැපත් පාටින් යුතු වූ යන නිගමනය වෙනස් කරන්න වෙන බව සිතට දැනුන. සුද්දො ඉන්න රටකට ආවම අපි සේරම කළු අය. රමේෂ් ලොකු සූට්කේස් අරන් යන්න යාළුවෙකුගෙ වාහනයකුත් අරන් ආවට හසන්තිගෙ පුංචි සූට්කේස් දෙක දැක්කම පුදුමයි. ලංකාවෙන් එන කෙනෙක් මෙච්චර පුංචි බඩු තොගයක් එක්ක ආපු හැටි රමේෂ් දැක්ක පළමු වතාව මේ.

එළිමහනට එනකොට අව්ව තිබුණට සීතල සුළඟක්. රමේෂ් නම් කොලරයක් තියෙන ටී ෂර්ට් එකක් විතරයි ඇඳන් ඉන්නෙ. හසන්ති රුක්ෂානිගෙන් තෑගි ලැබුණ වැහි කබාය ඇතුලට ඉක්මණින්ම රිංගුව.

“ටික දවසක් ගියාම සීතලට පුරුදු වෙයි.” හිරිගඬු පිපෙන සුළඟින් කිසි ගානක් නැති රමේෂ් කියයි.

“ඔයාට කොච්චර කාලයක් ගියා ද?”

“හොඳ හිමක් එහෙම වැටුණට පස්සෙ. ඊ ළඟට අව්ව පායන දවසක් ආ ගමන් අව්ව ඇඟ‍ට වැටෙන්න කබා සේරම ගලවනවා.”

“හිම දැක්කා හිම පිරිච්ච ග්‍රීන්ලන්තය.”

“අයිස්ලන්තයේ හිම දැක්කෙ නෑ නේද?”

“ඒකනෙ කියන්නෙ. අයිස්ලන්තයෙ හිම නෑ. ග්‍රීන්ලන්ත‍ය කොළ පාට නෑ.”

ලන්ඩනයේ හීත්-රෝ ගුවන්තොටුපල මෙන් නොව හැලිෆැක්ස් ගුවන්තොටුපල බෙහෙවින් නිස්කලංකය. තමා හා ගුවන් යාන‍ාවෙන් ආ අය දැනටමත් පිටත් ව ගොසිනි.

“බඩගිනි ද?”

“නෑ. ප්ලේන් එකේ එපා වෙන්න කෑමයි බීමයි දුන්න.”

“ඔයා විතරයි ප්ලෙන් එකේ කෑම ගැන හොඳක් කියන්නෙ.”

රමේෂ්ගෙ මූණේ හිනාවක් ඇඳුන. සූට්කේස් ඩිකියට දාලා වැහුව රමේෂ් ගියෙත් හසන්ති ගියෙත් වාහනයේ එකම පැත්තට.

“ඩ්‍රයිව් කරන්න ද?”

“අපෝ නැහැ.” හසන්ති ඉක්මණට වාහනය වටෙන් අනිත් පැත්තට ගියා. ලංකාවේ වාහනයේ රියැදුරු සුක්කානම දකුණු පැත්තෙන්. කැනඩාවේ රියැදුරා වාඩිවෙන්නෙ වම් පැත්තෙ. හසන්තිට තවත් කාලයක් යනවා මේක හුරු වෙන්න.

රමේෂ් නිහඬයි. හසන්ති අවට නගරය දිහා හැරි හැරී බැලුව. කිසිවෙක් නැති හතරමං හන්දිවල ද වාහනය නවතා ගෙන රතු ලයිට් වෙනස්වන තෙක් තනියම බලාගෙන ඉන්නට ඔවුනට සිදුවිය.

“අද නිවාඩු දවසක් ද?”

“නැහැ. ඇයි එහෙම ඇහුවෙ?”

“කෝ පාරවල්වල කවුරුත් නැත්තෙ?”

“හැලිෆැක්ස් කියන්නෙ කොළඹ, ලන්ඩන්, ටොරොන්ටෝ තරම් ජනාකීර්ණ නගරයක් නෙමේ. මේක හරි පුංචි නගරයක්. මේ පැත්තෙ වැඩි ජනගහණයක් නැහැ. මටත් මෙහෙ ආපු මුල දවස්වල හරිම පාළුවක් දැනුන. ටික කාලයක් ගියාට පස්සෙ හරි. දැන් නම් ආසයි හෝන් ගහන කෑ කෝ ගැහිල්ල නැති එකට.”

නගරයෙන් වැඩි බෑරක නෙමේ විශ්ව විද්‍යාලය. විශ්ව විද්‍යාලය ඇතුලේම තමයි හසන්තිගෙ නවාතැන. පශ්චාත් උපාධි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වෙන්වූ නවාතැනක පුංචි කාමරයක් හසන්තිට ලැබුණි. එයා කෑම ගත්තෙ විශ්ව විද්‍යාල කැන්ටිමෙන්. කෑම වේලාවට අමතරව කඩචෝරු කන පුරුද්දක් තිබුනෙ නැති නිසා වෙන කැනේඩියානු ශිෂ්‍ය ශිෂ්‍යාවෝ වගේ හසන්ති කඩචෝරු පැකට් ගිහින් කාමරයේ රැස් කර නොගත්තාය.

මුලින් සති දෙක තුනේම රමේෂ් හැමදාම වගේ ඇවිත් හසන්තිව හැම තැනම එක්ක ගෙන ගියේය. දෙපාර්තමේන්තුවේ හැමෝවම වගේ රමේෂ් දැනටමත් දැන හඳුනන නිසා හසන්තිවත් හැමෝටම අඳුන්නලා දුන්නෙ රමේෂ්. ඒ “මේ මගේ රටෙන්ම ආපු” එහෙම නැත්තනම් “මේ මගේ මෙඩිකල් කොලෙජ් එකෙන්ම ආපු” අයෙක් හැටියට. වෙන කිසිම හිතවත්කමක් ගැන රමේෂ් කතාබහ නොකළ නිසා හසන්තිත් ඒ ගැන අහන්න නොගියාය.

රමේෂ් වාසය කරන්නේ ඔහුගේ දෙමාපියෝ සමඟ නිවහනකය. ඉඳහිට රමේෂ්ගේ අම්මා පිළියෙල කරන ලද තෝසේ කිහිපයක් සාම්බල් සමඟ ද, මසාල වඩේ කිහිපයක් හෝ කට දවන මුරුක්කු ටිකක් රමේෂ් රැගෙන එයි. දෙදෙන එකට කැන්ටිමේ වාඩි වී උණු තේ කෝප්පයක් සමඟ ඒවායේ රස විඳින්නේ තම දෙපාර්තමේන්තුවේ අය ගැන කතාබහෙනි. නැතහොත් රමේෂ් හසන්තිට උපාධිය සාර්ථක කර ගැනීම සඳහා ඇති මාර්ග පිළිවෙත පැහැදිලි කරයි. සැමටම පොදු වූ උපාධිය සඳහා අනුගමනය කළ යුතු මාර්ගය සේම තැනින් තැන තමන්ට තෝරාගත හැකි පංති හා විශේෂ ධාරා ගැන කළින්ම දැනුවත් කරන්නට රමේෂ් වැන්නෙක් සිටීම හසන්තිට මහත් වාසියකි.

සති අන්තයේ දෙදෙනා නගරයේ තැන් තැන්වල ඇවිදින්නට ගියහ. යාර්මත් නැව් තොටුපළ අසල ඇති කුඩා ළමුන්ගේ ක්‍රීඩාංගණය ඔවුන් වාඩි වී මුහුද නරඹන්නට වඩාත්ම කැමති ස්ථානය බවට පත්විය. කැනඩාවේත් ඇමෙරිකාවේත් ප්‍රධාන නගරයන් වෙතින් අහසට නඟිනා අහස් යානා අහස මුදුනේ දකිත හැකිය. සුදු පාටින් දුම් ධාරාවක් දිගේ සොයා ගෙන යන කළ ඇඟිල්ලේ නියපොත්තෙන් වැසිය හැකි තරමට පෙනෙන අහස්යානා වළාකුල් නැති දවස්වල හැම තැනම.

සංචාරක සුඛෝපභෝගී යෝධ නැවක් මුලින්ම දුටු දවසේ එය ගොඩබිමේ වූ ගොඩනැඟිල්ලක් යයි හසන්ති සිතුවාය. නැව ළඟටම ගොස් දකින තුරු එවැනි දැවැන්ත නැවක් මුහුදේ පාවෙන්නේ කෙසේදැයි ඇයට පිළිගත නොහැකි විය. සුඛෝපභෝගී නැවක් වරායට ළඟා වූ කළ එයින් ගොඩ බැසි සංචාරකයෝ නගරය අරක් ගත්හ. එවැනි දවසක ඔවුන් වැඩි කාලයක් ගත කළේ නැවෙන් නඟිනා බහිනා ධනවත් සංචාරකයෝ හැසිරෙනා ආකාරය නරඹමිනි.

වරක් බස් රථයක නැඟී ඔවුන් දෙදෙනා නගරයෙන් ඈතට ගමන් කළහ. වරාය මැදින් ඉක්මණින් යා හැකි තැනකට ඔවුන් දිගු කාලයක් ගෙන ගමන් කළේ ගොඩබිමෙනි. තමන් පටන් ගත් තැන දිහා අනිත් ඉවුරේ සිට බලනා කළ දෙදෙනාටම සතුටක් දැනුණි. ලොකු කුඩා නැව් හා බෝට්ටු වලින් පිරි වරාය නිතරම නගරයට වඩා ගමනාගමනය වැඩි ස්ථානයක් සේ දෙදෙනටම පෙනුණි. මුහුදු යන ජනතාවක් නිසා පටන් ගැනුනු මෙවැනි නගරයක කිසි දිනෙක මුහුදු නොගිය දෙදෙනෙකුට ඉන්නේ තමන් පමණක් වෙන්නැති යයි දෙදෙනාම දෙදෙනාට කියා ගත්හ.

“ඔයාගෙ අප්පයි අම්මයි නැවක ගිහින් නැද්ද?”

“ඒ දෙන්නා ගියා වතාවක් ඇමෙරිකාවට. මෙතනින් “බ්ලූ නෝස්” නැව යනවා බැංගර් වරායට. එහෙ තිබුන වෛද්‍ය හමුවකට අප්පා ගිය වෙලාවෙ අම්මත් ගියා.”

එසේ කියූ රමේෂ් ඈත මුහුද දිහා බලාගෙන සමාධියකට වැද නිහඬ බව රැක්කේය. අහන්නට වැදගත් යමක් නැති විට මුනිවත රකින හුරුව ඇති හසන්ති ද රමේෂ් අනුගමනය ක‍ළාය. ලංකාවේ දී රමේෂ්ව වැඩි කලක් ආශ්‍රය කර නොමැති හසන්ති මේ නිහඬ බව ඔහුගේ සාමාන්‍ය හුරුව දැයි නොදත්තාය. එහෙත් දෙදෙනා ගත කළේ කියන්නට යමක් සොයන නිහඬතාවයක් නොව යමක් කියන්නට අවශ්‍ය නොමැති සුහද නිහඬතාවයකි.

දෙදෙනම සති අන්තයන්හි නගරය පුරා සිරි නරඹා අනතුරුව හැලිෆැක්ස් වලින් එපිටත වූ ගම්මාන බලන්නට ද ගියහ. උතුරු පෙදෙස් වලට ඉක්මණින්ම සීත කාලය ළඟා වෙයි. වටපිටෙන් සීත සුළං ක්‍රමයෙන් වැඩි වෙයි. එසේම ජනතාව අඳින කබායන්හි ඝනකම ද කෙමෙන් වැඩි වෙයි. අහස ද ඉක්මණින් අඳුරු වී දවසේ පංති අවසන් වෙන්නටත් පෙරම රාත්‍රිය උදාවෙයි.

සති මාස ගණන් වලට හැරෙද්දී හසන්ති හා නිතර කාලය ගත කිරීම සෙමෙන් සෙමෙන් රමේෂ් අතින් අඩු වන්නට පටන් ගැනිණ. සංචාරකයන් වෙනුවෙන් විවෘත වී තිබි ස්ථාන සංචාරක සමයේ නිමාවත් සමඟ වසා දැමුණි. එහෙන් මෙහෙන් දවසක හිම වැටෙන සීත පරිසරයේ වෙනදා මෙන් සති අන්ත ගමන් කළ නොහැකිය. විද්‍යාගාරයේ මහ රෑ ගොස් පර්යේෂණ කටයුතු සොයා බලන්නට වීම නිසා හසන්ති නවාතැනින් පිට ගියේ දේශන වලටත්, පුස්තකාලයටත් හා දෙපාර්තමේන්තුවත් අතර පමණි.

ඉඳහිට දවසක ගෙදර ඉයූ කෑමක් බෙදා ගන්නට රමේෂ් ඇය සොයා ආවේය. ඇය හා කතාබහෙන් කා බී අවසන් වූ පසු ඔහු තම විද්‍යාගාරයටත් ඇය ඇයගේ විද්‍යාගාරයට හෝ නවාතැනටත් පිට වී ගියහ. විශ්ව විද්‍යාලයට යාබදව ඇති රෝහල ඔවුන් සිය සීමාවාසිකය පටන් ගන්නා ස්ථානයයි. රමේෂ් තම අප්පා අනුගමනය කරමින් නාරි හා ප්‍රසව විශේෂඥයකු වීමට තෝරාගෙන ඇත. සීමාවාසිකය පටන් ගත් සැනින් ඔහුට දවසේ පැය විසිහතර වැඩ කටයුතු සඳහා මදි වෙයි. තනිවම සැමදාම කටයුතු කර ගන්නට හුරුව තිබූ නිසා තමන්ගේ කිසි වැඩකට, අත් උදව් පිණිස ඔහුගේ කාලය ඉල්ලා නොසිටින්නට හසන්ති පුරුදු වූවාය.

මාස්පතා ආච්චිට ලිපි ලිවීමත්, තම ශිෂ්‍යත්වයේ මුදලක් වෙන්කර එය ආච්චිගේ වියදම් පිණිස චූටි මැණිකා බාරයේ යවන්නටත් හසන්ති අමතක නොකළාය. චූටි මැණිකාට වැදගත් වන ජීවවිද්‍යා පොත් පාවිච්චි කර බැහැරලන අයගෙන් අඩුවට මිල දී ගන්නා හසන්ති ඒ ඇතුලට තමන්ගේ කැනේඩියානු බැංකු ගිනුමෙන් චෙක්පතක් ලියා ඇතුල් කර යවයි. ඒ රුක්ෂානි දුන් උපදෙස් අනුවය. මුදල් නෝට්ටු යැවීම වඩා ලේසිය. වඩා ලාබදායකය. කැනඩාවට ලංකාවෙන් එන අයට හොරකඩයේ විකිණීම සඳහා කැනේඩියානු මුදල් නෝට්ටු වලට ඉන් බැංකුවෙන් ලැබෙනවාට වඩා මුදලක් ලබාගත හැකිය. ඒත් නිතර යන එන බැංකු නිලධාරියා චූටි මැණිකාට පැහැදිලි කර දී ඇත්තේ හොර කඩයේ භාවිතා වන මුදල් නෝට්ටු වලින් ලාබ වැඩියෙන් ලබන්නේ නීති විරෝධී පිරිස් බවයි. ඊට හවුල්වීම හසන්තිගේ කැමැත්ත නොවුණි. කැනඩාවේ බැංකුවෙනුත් ලංකාවේ බැංකුවෙනුත් දෙපැත්තෙන්ම මුදලින් ප්‍රතිශතයක් අඩු වී ගිය ද ආච්චිට සැලකිය යුතු මුදලක් යැවීමට හැකිවීම හසන්තිගේ සිතට ඇති එකම සැනසිල්ලය.

ලංකාවෙන් ආච්චි කියන දේ චූටි මැණිකා අතින් ලියැ වී හසන්තිට ලැබේ. චූටි මැණිකා ආච්චි නොකියන හරියත් වෙනම ලිපියක ලියා එවයි. නිතර එහි යන එන බැංකු නිලධාරියා පොඩි මැණිකා ගැන වගතුග විමසන බව කියූ චූටි මැණිකා ඒ ගැන මොකද කරන්නේ කියා රුක්ෂානිගෙන් විමසා යැවූ බව ලියුවාය. ළඟදීම මඟුලක් ගැන කියන්න වෙයි කියා ඇය ලියා එව්වාය. ආච්චි හන්දියට ගොස් බස් රියක් වේගයෙන් යද්දී අහකට පනින්නට ගොස් වළලුකරය ඇම්මැට්ටි කරගෙන හන්දියේ ත්‍රීවීලරයකින් කෙනෙක් ආච්චිව ගෙදර ගෙනැත් ඇරල වූ බව ලියූ චූටි මැණිකා සති පහක් හයක් යනතුරු ආච්චිගේ වළලුකරයට බෙහෙත් තෙල් ගා පිරිමැදීම තමා කරන බව කියා එවීය. ඒ ගැන සිත් කරදර කර නොගන්නා ලෙසත් ලියූ චූටි මැණිකා වෛද්‍යවරියක් සේ තෙල් බෙහෙත් වලින්ම සිය වෘත්තිය අරඹා ඇති බව ලිපියට එක් කළේ හසන්තිගේ මුවට සිනාවක් එක් කරමිනි.

Advertisements

එක් ප්‍රතිචාරයක් »

  1. long stroy

    ප්‍රතිචාර විසින් බිඟුවා...! — මාර්තු 25, 2010 @ 11:57 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: