Sinhala story Blog

මාර්තු 19, 2010

3.21 -මෙම දෙරණේ නම් මල වී වැටිලා නැත ඒ හිරු මල

Filed under: Uncategorized — sinhalashortstories @ 7:17 පෙ.ව.

සතියක් නිවාඩු දමා සඳුදා ආපහු රැකියාවට ගිය රුක්ෂානි ඇතුල් වුනේ ලන්ඩන්හි සිය කාර්යාලයට නොවෙයි. කැනඩාව බලා ගිය හසන්ති මෙන්, ලංකාව බලා ගිය ප්‍රීනි මෙන්, ඇයත් නැඟුන ගුවන්යානාවකට. මහ රාත්‍රියක ඇය ඉන් බැස්සෙ දහවල් කාලයේ මෙන් එළිය බැබළෙන කැලිෆෝර්යාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ ගුවන් තොටුපළට. සතියක් පුරා කෙළි දෙළෙන් දිවා රාත්‍රිය ගෙවා දැම්ම එකේ මහන්සිය දැනෙන්නෙ දැන්. ලන්ඩනයේ වෙලාව ඊ ළඟ දවසෙ උදෑසන.

සිලිකෝන් මිටියාවතේ ඇති පරිගණක ආයතන දවසින් දවස නව යමක් හෝ පරණ දැයක් නව මුහුණුවරකින් ලොවට පිරිනමන්න යුහුසුළු වෙති. කිසිවක් නොමැති කාන්තාරයක් සිය වාසයට ගත් මෙහි ජනතාව සිය නගරය සැලසුම් කර ඇත්තේ ද ක්‍රමානුකූලව. සැන්ඩ් හිල් පාරේ ඉන්නා පරිගණක ලෝකයේ බිලියනපතිවරයෝ පරණ ව්‍යාපාර සුන්නත් දූලි කරන නව අදහස් වලට ආයෝජන කරන්න කෙනෙක් යම් නව අදහසක් ගෙනෙන තුරු කෙළ හළති. දැලි පිහිය නොදුටු නාඹර වයසේ තාරුණ්‍යයෙන් පිබිදෙන කොළු ගැටව් මෙම මිටියාවතෙහි ඇති සම්පතයි. ගම් රටවල් හැර දමා, විශ්ව විද්‍යාල වලින් උපාධි පවා හැර දමා එන ඔව්හු ලෝකය වෙනස් කරන නව සොයා ගැනීම්වල යෙදෙන්නහ.

රුක්ෂානි රැස්වීම් ශාලාවට ඇතුල් වී වටපිට බැලුවා. කුරුලෑ පිරි මුහුණින් යුතු තරුණ ගැටයෙක් කෘතිම කන්දක් නඟින්න උත්සාහයක. ශාලාවෙහි කෙළවරක පිහිටා ඇති මෙම කන්දේ අත් පා තබන්න විවිධ හැඩයන් ගත් ගැටි ඇත. සමාන නොවූ දුරකින් පිහිටන පාට පාට ඒ ගැටි, කන්ද තරණයට උදව් කර ගැනීමට පුළුවන. වැටෙන්න අවදානමක් ඇත්තෙන් කෘතිම කන්ද නඟින්නා මුහුණ නොවැසෙන හෙල්මට් එකක් පැළැඳගෙන. එමෙන්ම වහළ මුදුනේ පටන් පොළවේ ගෑවෙන තෙක් කඳු නැඟීමට ආධාර කර ගන්නා ලණු තැනින් තැන එල්ලෙයි. වැටෙන්න ගියොත් එයින් ලණුවක් උපයෝගී කර ගෙන නිරුපද්‍රැතිව බිමට බහින්නට මේ කඳු නඟින උත්සාහයේ යෙදෙන්නාට හැකිය. තරුණයාගේ හැඩරුව සියුමැලිය. සිහින් අත් ඇති ඔහුට නිතර කඳු නඟින්නකුට ඇති ඉලිප්පුනු බාහු යුගලයක් නැත. එහෙත් කෙසේ හෝ වෑයමෙන් ඔහු මුදුනටම නැඟ ගත්තේය. ඔහු එහි වූ නලාවක් පිඹ ඒ බව හැමටම දැන්වූයේය. ශාලාවේ තැන තැන උන් අය හා එක්ව කන්ද ළඟ එක් රොක්ව සිටි අයවළුන් ප්‍රීතියෙන් අත්පුඩි ගැසූහ.

“කොම්පියුටර තාක්ෂණ යුගය ඉවරයි. දැන් මොන යුගය ද කියලා දන්නවා ද?”

තරුණයෝ හිස් සොලවා තමන් එය නොදන්නා බවට ඉඟි කරති. ඔවුන් සෙල් ෆෝන් අතේ ඇතිව උපන් පරපුරයි.

“දැන් තියෙන්නෙ බයෝටෙක්නොලොජි යුගය. දැන් කොම්පියුටර් වේගවත් කරලා ඇති. ඒවායින් වැඩ ගන්න විවිධ ආකාරයේ දේවල් හදන්න ඕන.”

තරුණ කැල ඔළු වනමින් එකඟ වෙති.

“මිස් තව ෂැම්පේන් ට්‍රේ එකක් ගෙනත් දෙන්න.”

“සොරි?”

“අපිට තව ෂැම්පේන් අවශ්‍යයයි. ඔබ ඉංග්‍රීසි කතා කරනවාද?”

රුක්ෂානිගේ වික්ශිප්ත බව දැක සුද්දා ඇසීය. ඔහු සමඟ රැස්ව සිටියවුන් යාන්තම් දැලි රැවුලක් උඩු තොලේ මෝදුවෙන ඉලන්දාරියෙක් කියන්නට පටන් ගත් යමකට සීරුවෙන් සවන් දෙති. ඉලන්දාරියා ඉතා සංකීර්ණ යමක් සරලව කියා පහදන්නට උත්සාහයක් දරන්නේය. මෙතෙක් ලොව නොතිබුණු යමක් නිෂ්පාදනයෙන් පසු ඒ ගැන පැහැදිලි කරන්නේ කෙසේද? රුක්ෂානි හමුවන්නට ආවේ ඒ කතා කරන ඉලන්දාරියාව.

“ෂැම්පේන්. ෂුවර්…මම ගේන්නම්.”

වටපිට බලද්දී වෙනත් පැත්තක ඇතුලත කාමරයකින් එන එළියක් ඇයගේ දසුනට හසුවිණ. ඇතුලට යද්දී තරුණියන් කිහිප දෙනෙකු පෙළ ගසන ලද බන්දේසිවල තබා ඇති උඩ යටිකුරු කරන ලද නළා හැඩයෙන් යුතු වීදුරු වලට රත්තරන් පැහැති ෂැම්පේන් සීරුවෙන් වත් කරති. කුඩා බුබුළු නංවන වීදුරු රැගත් බන්දේසියක් අතට ගත් රුක්ෂානි, ඔවුන්ගේ කාර්යයට සම්පූර්ණයෙන්ම අවධානය යොමු කරන තරුණියන් හා වදනක්වත් හුවමාරු කර නොගෙනම එතැනින් පිට වූවාය.

“බොහොම ස්තූතියි.”

සුද්දා ෂැම්පේන් බන්දේසියම රුක්ෂානිගේ අතින් ගත්තේය. රුක්ෂානි ඉන් එක් වීදුරුවක් සියතට ගත්තාය. සුද්දාගේ ඇස් බැමි ප්‍රශ්නාර්ථයෙන් ඉහළ ගියේය.

“මම රුක්ෂානි අතුරුපාන. ෆැන්ටෑස්ටික් ගේම්ස්, ලන්ඩන්.”

සුද්දාගේ මුහුණ ලැජ්ජාවෙන් පිරුණි. සුදු මුහුණත් කන් දෙකත් රතු පාටෙන් පිරෙන්නට ගියේ එක මොහොතකි. ඔහුගේ වයස විසි දෙකකට වඩා යයි කිව නොහැකිය.

“මට සමාවෙන්න.”

ඔහු කියයි.

“ප්‍රශ්නයක් නෑ.”

ඇය කියයි.

බන්දේසිය අත් දෙකෙන්ම අල්ලා ගෙන ඔහු නොසෙල්වී සිටියි.

සිනහ මුහුණකින් ඇය තම ෂැම්පේන් වීදුරුව තොල ගාන්නීය.

“බුබුළු නිවෙන්න කළින් ඕක බෙදන්න,” යැයි පවසා ඉලන්දාරියා කියන්නට සවන් දෙනු පිණිස රුක්ෂානි රවුමට එක් වූවාය. කතා බහේ කියැවෙන කිසිවක් නොතේරෙන හෙයින් ඇය වටපිටාවට අවධානය යොමු කළාය. තමාට ෂැම්පේන් ගේන්න යයි කියූ කාරණය පැහැදිලි වූයේ එවිටය. තැනින් තැන ඒවා බෙදන තරුණියන් කිහිප දෙනා හැරුනු කළ මේ හමුවට සහභාගී වන සියල්ලෝම පිරිමි පක්‍ෂයට අයත් වූහ. මේ මට්ටමෙන් පරිගණක ශිල්ප ශාස්ත්‍රයන් ප්‍රගුණ කළ ගැහැණු නැද්ද? කාන්තාවන්ට වඩා පුරුෂයන් ගණිතයට හා විද්‍යාවට දක්‍ෂ යයි කියන කතාවේ ඇත්තක් ඇත්ද?

පරිගණකය තවමත් ලොව එක පැත්තක නවක දෙයකි. එහෙත් එහි පැතිර යාම දැනටමත් ලෝකය වෙනස් කරන්නට පටන් ගෙන. එයින් ඵල නොගන්නා ක්‍ෂේත්‍රයක් නැත. ලෝකයේ ඒ වෙනසේ මූලාරම්භය පටන් ගත් තරුණ කැල කෙතරම් බාල වයස්කාරයෝ දැයි වටහා ගන්නට මෙවන් තැනකට පා තැබිය යුතුමයි.

වයසෙන් මුහුකුරා නොගියද ඔවුන්ගේ දැනුම පරිනතය. අපූර්ව නිර්මාණයන් බිහි කරන ඔවුන්ගේ භාෂාවද සිලිකෝන් මිටියාවතට ආවේනික වහරකින් යුතුය. නව නිර්මාණයන් හා එක්වන නව වචන ඔව්හු ලොවට පිළිගන්වති.

කෘතිම කන්ද තරණය කළ තවත් කොල්ලෙක් සඳහා අත්පොලසන් නාදයක් පැතිරුණි. රවුම් ගැසී කතා බහේ යෙදෙන සෑම අයෙක්ම කතා බහ නවතා ඒ අත්පොලසන් දී කරන දිරි ගැන්වීමට එක් වෙති. රුක්ෂානිට දෙපැත්තෙන් සිට ගත් තරුණයන් දෙදෙනා එකම අච්චුවකින් කපන ලද සේය. පරිගණක ලෝකයේ ජනාදරයට ලක්වූ ස්ටීව් ජොබ්ස් මෙන් මොවුන් දෙදෙනාද ඇඳ සිටින්නේ කළු කමිස හා කළු ඩෙනිම් කලිසම්ය. ටයි පටි හෝ වූල් කෝට් පැළැඳ නැති ඔවුන් රුක්ෂානිගේ ආයතනය අයිති ඉංග්‍රීසි රදළයන්ට වඩා හාත්පසින්ම වෙනස්. එමෙන්ම මෙහි ඉන්නා අවුරුදු විස්සක් වත් නොපිරුණු මෙම තරුණ කැල තමන්ගේ ස්ව උත්සාහයෙන් හා මොළයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනින් ඉපැයූ අයයි.

“කැවනාහ් ඊයේ බිලියනය පහුකළා.”

රවුමෙහි උන් අයෙක් රුක්ෂානි මුලින්ම දුටු කුරුලෑ පිරි මුහුණින් යුත් තරුණ ගැටයා පෙන්වා කියයි. රවුම තුළින් කෙටි අත් පොළසන් නාදයක් ඔහුට පිරිනැමේ.

“මොනවද එයා බිලියනයකට විකුණුවේ?”

රුක්ෂානි තමා අසල උන් එක් කොපියකින් ඇසීය.

“එක අදහසක්. එයාට ඒවගේ අදහස් පහක පේටන්ට් තියෙනවා. ඊයේ පෙරේද ඉදිරිපත් කරපු අලුත්ම අදහස ගත්තම කොටස් වෙළඳපොලේ අලෙවියේ එකතුව ඇමෙරිකන් ඩොලර් බිලියනයයි.”

උත්තර දෙන්නේ අනිත් කොපියයි.

හමුව තුළ ඉන්නා බොහෝ දෙනාගේ ප්‍රියතම පාට කළු බව පැහැදිලියි. කාල වර්ණය මෙතරම් පැහැති ගණනකින් යුතු යයි රුක්ෂානි දැන සිටියේ නැත.

“ඔයා ෆැන්ටෑස්ටික් ගේම්ස් වලින් කියනවා ඇහුන. මාව හමුවෙන්න මෙහෙට ආවට බොහොම ස්තූතියි. ලොකු පොකුණෙන් අනිත් පැත්තට යන්න ඉඩක් ලැබෙන්නෙ නැහැ ළඟකදි.”

ඔහු කියන්නේ ඇමෙරිකාවත් බ්‍රිතාන්‍යයත් අතර මැදින් ඇති අත්ලාන්තික් සාගරය ලෙස හැඳින්වෙන හෝ ගාන පොකුණ ගැන.

“අපිටයි ඔයාගේ සොයාගැනීම අවශ්‍යයය. ඒ නිසා අපි එන්න ඕනෑනේ ඔයා ළඟට.”

එසේ කියමින් රුක්ෂානි ඔහු සමඟ රවුමෙන් ඉවතට ගියාය.

“විස්තර සේරම පියවරෙන් පියවරට පැහැදිලි කරන්න අවශ්‍ය නෑ. මොකද මට ඒ හරිය තේරුම් ගන්න බැරි නිසා. මගේ අදහස මම කියන්නම්. ඒකට ඔයාගෙන් අපට අවශ්‍ය හරිය කරගන්න පුළුවන්ද දැන ගන්නයි මට ඕන.”

රුක්ෂානි කෙළින්ම මාතෘකාවට බැස්සාය.

“අහන්න ඕන දෙයක්.”

ඔහු සාවධානව ඇහුම්කන් දෙන්නේය.

“මේක කරන්න පුළුවන් නම් වියදම් හා ගාස්තු ගැන කතා කරමු. අපේ බජට් එකට සීමා දාලා නැහැ.”

“ගිය අවුරුද්දේ මුලදි මම ගෑස් දාන්න සල්ලි නැති නිසා ස්ටැන්ෆර්ඩ් යුනිවසිටියෙදි කබල් වාහනේ විකුණල පයින් පාගන බයිසිකලයක් ගත්ත. අද අම්මටයි තාත්තටයි දෙන්නටම අලුත්ම අලුත් වාහන දෙකක් අරන් දීල තියෙන්නෙ. මම තාම හැකි හැම තැනකම යන්නෙ බයිසිකලෙන්. මම බිලියනය පැන්නෙ මාස දෙකකට කළින්. දැන් සල්ලි වලින් වැඩක් නැහැ. හැබැයි තව අදහස් කීපයක් මගේ මොළයේ තියෙනවා. ඒවා එළියට දාන්නයි මට ඕන.”

ඔහු සිය ඔළුවට ඇඟිල්ලකින් තට්ටු කරමින් කියයි. ඔහුව මහමඟ දී දකිනා ඕනෑම කෙනෙකු දැලි රැවුල යාන්තමෙන් එන මුහුණකින් යුත් කොළු පැටියෙකු යයි සලකනවා මිසෙක බිලියනපතිවරයෙකු සේ දකින්නේ නැත. ඔහු වෙතින් පිරිමි තවරණ විලවුන් සුවඳක් යාන්තමෙන් ගලා ආවේය.

සුනිල් එදිරිසිංහයන්ගේ ගීතයක තනු රුක්ෂානිගේ මොළයේ තැන්පත්වී තිබුණ කොහේ හෝ තැනකින් මතකයට නැඟුණි. “මිනිසා සුවඳයි මල සේ. නුවණින් එළියයි හිරු සේ….” තමා අවුත් ඉන්නා මෙම දෙරණේ නම් ඒ හිරු මල මලවී වැටිලා නැතැයි කියා ඇයට සිතිණ.

පිටරටක දී තවත් රටක ගුවන් විදුලියට සවන් දීමට ඇති හැකියාව පරිගණකයේ තවත් අරුමයකි. ලංකාවේ දුර බැහැර පළාත්වලට කොළඹ එෆ්. එම්. නාලිකා බොහොමයක විකාශනය අහගන්නට වරම් නැත. එහෙත් කිලෝමීටර් දහස් ගණනකට ඈතින් ඇති පරිගණකය අසලින් ඉන්නා අයෙකුට ලාංකික ගුවන් විදුලි නාලිකා රැසක් ඉතා පැහැදිලිව අසනු හැකිය. රුක්ෂානි වැනි ලංකාවේ සිටියදී සිංහල ගීත නොඇසූ පිටරට වසනා ලාංකික අයට අද එය දවසේ අංගයක් වී ඇත.

ලංකාවේ ජනතාව මහ රෑ නිදි යහන්වල ගොරවද්දී මාධ්‍යකරුවන්ගේ ඇඟිලි තුඩු වලින් වැදෙන පරිගණක යතුරු දිවයිනේ ප්‍රධාන පුවත්පත් සියල්ලකම ප්‍රධාන පුවත් අන්තර්ජාලයට ඇතුල් කරයි. නිරතුරුවම ඒවා කියවන්නට ද පිටරට ඉන්නා ලාංකිකයාට හැකියාව ඇත. මේ සියල්ලේම ප්‍රගතිය ගැන උනන්දුවෙන් ඉන්නා රුක්ෂානිගේ වෑයම ලෝකය පුරා නොනැවතී කෙරෙන පරිගණක ක්‍රීඩාවක් නිපැදවීමයි. දැනටමත් එහි මහත් කාර්ය භාරයක් නිමයි. වෙළඳපලට ඉදිරිපත් කරන්නටත් ප්‍රථම එයට ප්‍රසිද්ධියක් සහ වාසිදායක ප්‍රතිචාරයක් ද ලැබෙමින් පවතී.

“ඔයා ඉන්දියාවෙන්ද?”

“නෑ. මම ලංකාවෙන්.”

“මට ලංකාවෙ කෙනෙක් මුණ ගැහිලා නෑ මීට කළින්. ඉන්දියන් අය නම් ගොඩක් දන්නවා. ඒත් කොල්ලෝ තමා.”

“ලංකාවට යන්න දවසක. මුහුදු වෙරළ හරි ලස්සනයි.”

“ඔයා හෙට මොනව ද කරන්නෙ?” ඔහු අසයි.

“මම ලොස් ඇන්ජලීස් ගිහින් රොඩියෝ ඩ්‍රයිව් පැත්තෙ චැනල්, ආර්මානි, ජෝර්ජියෝ කඩ දෙක තුනකට ගොඩවෙන්න හිතාගන ඉන්නෙ,” ඇය කියයි.

“මං හෙට වෙනිස් බීච් යන්න ඉන්නෙ. එන්න මාත් එක්ක මෙහෙ තියන ලස්සන මුහුදු වෙරළක් පෙන්නන්න. බීච් වොලිබෝල් තරඟයක් ගහනවා මගේ යාළුවෝ.”

“මටත් බයිසිකලයක් හොයා ගන්න පුළුවන් ද?” රුක්ෂානි ඇහැව්වෙ විහිළුවට. සැන් ෆ්‍රැන්සිස්කෝ ඉඳලා ලොස් ඇන්ජලීස් බයිසිකලෙන් යන්න නම් ලාන්ස් ආම්ස්ට්‍රොන්ග් එක්ක කැලිෆෝනියා පාපැදි සවාරියට එකතු වෙන්න වෙනවා. දුර ගමනක්.

“හයිවේ එකේ බයිසිකල් පදින්න බෑනේ. මම ලිමෝ එකක් හයර් කරනවා දුර ගමන් යන්න. එවන්නම් වාහනේ ඔයාගෙ හොටෙල් එකට? උදේ අටට?”

ප්‍රතික්ෂේප කරන්නට ඉඩක් නොතබා ඔහු කියයි. රාත්‍රියේ ආපසු ලන්ඩන් බලා යන ගුවන්යානයක පැය දහයක් පමණ හිරවී ඉන්නට සිදුවන නිසා හෙට උදෑසන මුහුදු වෙරළට යන්න රුක්ෂානි එකඟ වූවාය. සල්ලි වැඩක් නෑ කිව්වට ලිමෝ එකකින් එච්චර දුර ගමනක් යන්න සල්ලි ඕනානෙ. ඒත් රුක්ෂානි ඒක පෙන්වලා දෙන්න නොගියාය. බොහෝ බිලියනපතිවරුනට සාමාන්‍ය ලෝකයේ වියදම් ගැන දැනුමක් නැත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: