Sinhala story Blog

මාර්තු 16, 2010

3.18 -අපි මේ එයාර්පෝට් යන්න

Filed under: Uncategorized — sinhalashortstories @ 10:56 පෙ.ව.

ලන්ඩනයේ පැවැත්වෙන සාමය හා නීතිය පිළිබඳ සම්මන්ත්‍රණයක් සඳහා ප්‍රීනි හෝ සමන්ත යන දෙදෙනාගෙන් අයෙකුට යන්න අවස්ථාව ලැබී ඇත.

තමා කළින් කිහිප වතාවක් ලන්ඩනයට ගොස් ඇති නිසා මෙවර ප්‍රීනි යෑම හොඳ යයි සමන්ත කීවේය. තනිවම ප්‍රථම වතාවට රටින් පිටව යන්න පසුබෑව ද ප්‍රීනීට ලන්ඩනයේ වාසය කරනා මිතුරියන් දෙපළ දකින්නට ද ආශාය. හසන්තිත් ශිෂ්‍යත්වය සඳහා කැනඩාව බලා යන අතරේ ලන්ඩන් නැවතී යන හෙයින් තනියම ගමන නොයා ඇය හා යා හැකිය. අනික දැන් හැමෝම රට ගිහින් තමන් පමණක් රටින් එළියට පා තබා නොතිබීම ඇයට මදිකමකි.

සංජීවනී නැවතත් සුපුරුදු හුදකලා ගුහාවට රිංගා ඇතැයි යෙහෙළියෝ සිතති. ඇයට කරදර නොකරන ඔවුන් ඇයගෙන් ඇමතුමක් හෝ ලිපියක් එනතෙක් බලා සිටිති. කලාතුරකින් ලිපියක් එවන ඇය තමාගේ කිසිම තොරතුරක් එහි නොලියා ඔවුන්ගේ විස්තර පමණක් විමසයි. අතීතයේ සිටම එයට පුරුදු යෙහෙළියෝ සංජීවනීගේ දිවියේ වෙනසක් නොදූටූහ. සංජීවනීට ඉඳහිට රුක්ෂානි හා දුරකතනයෙන් කතා කර තොරතුරු විමසා බලයි. ඒ හැර ඇය අන් කිසිවෙක් හා කතාබහක් නැත. ඒ දෙදෙන එකම රටේ වාසය වුවද හමු නොවී දැන් අවුරුද්දක් ළං වන්නටත් ආසන්නය.

රුක්ෂානිගේ රැකියාව ඇයව නිතර වෙනත් රටවලට රැගෙන යයි. කවදත් නව ව්‍යාපෘති වලට අත දමා කාර්යබහුල ලෙසින් දිවි ගෙවන රුක්ෂානි දැන් සහමුලින්ම කිඳාබැස ඉන්නේ රැකියාවේය. දිනක් උදයේ ජර්මනියේ කාලය ගෙවනා ඇය දුම්රියක සවස් වරුව ගමන්කර රැය බෙල්ජියමේ ගත කරයි. ඊ ළඟ දිනය පෝලන්තයට යන ඇය අනතුරුව යුරෝපා මහාද්වීපයෙන් නිකුත් වී උතුරු ඇමෙරිකා මහාද්වීපයට ගොඩ බසී. කොම්පැණියේ මුදලින් ඉහළ පෙළේ හෝටල් වල ලැගුම් ගන්නා ඇය සිය ඇඳුම් පැළඳුම් හෝටලයේ ලොන්ඩරියට බාර දෙන්නීය. හැකි අවස්ථාවල නම් දැරූ ඇඳුම් කඩවලින් ‍වස්ත්‍ර හා සපත්තු මිල දී ගන්නා ඇය පිටරට ගමන් වල දී සාප්පු යන්න වැඩි කාලයක් වැය කළේ නැත. ගෙදරටම ඇවිත් ඇඳුම් සූට්කේස් රැගෙන යන පුද්ගලික බට්ලර් සේවාව ඇය යන රටක හෝටලයේ කාමරයට එය ගෙන ගොස් තබයි. ගමන අවසානයේ එය නැවත නිවසට ගෙනැවිත් දෙයි. ගුවන් තොටුපළේ අනිකුත් අය සූට්කේස් උස්සන් කරන හදිය ඇයට නැත. කිසි දිනෙක ඇයගේ ගමන් මළු අතරමං වී ද නැත. කුඩා කාලයේ දී මෙන්ම ඇයගේ ගුවන්ගමන් ව්‍යාපාරික පංතියේ හෝ පළමු පංතියේය. ඉඳහිට ලැගුම් ගන්නා විශේෂ ශාලාවක දී සුප්‍රසිද්ධ නළු නිළියක් හෝ විදේශීය දේශපාලනඥ චරිතයක් දැකීම දැන් ඇයට අරුමයක් නොවේ. ඔවුන් දිහා හැරී බලන හෝ ඔවුන්ගේ සමරු අත්සන් ඉල්ලන පිරිසට රුක්ෂානි අයත් නොවුණි.

හසන්ති තමාට පිරිනැමුන ශිෂ්‍යත්වය බාරගෙන ප්‍රීනි යන දිනවලම රටෙන් පිටවන්නට සූදානම් වූවාය. රුක්ෂානි කාර්යබහුල බව ඇය කටු ගා එවන කෙටි ලිපි හා නොයෙක් නගරයන් හි සිට එවන පින්තූර තැපැල්පත් වලින් දුටු හසන්ති රුක්ෂානිට තමන් ප්‍රීනි හා එන දිනයන් කලින්ම දන්වා යැව්වාය. හසන්ති වැඩක් කරගන්නට ගෙදරින් පිට ‍ෙනායන හැම මොහොතක්ම ආච්චී හා ගත කළාය. චූටි මැණිකා පොත්පත් රැගෙන රුක්ෂානිගේ මහගෙදරට ගියේ හසන්ති රටගිය පසු දිගටම ආච්චි හා නවතින්නට ආච්චිගේ කැමැත්ත රැගෙනය.

ප්‍රීනි ලන්ඩන් ගමන ගැන සමන්ත හා කතාබහ අතරතුරාවේ හසන්ති ද සිය ආච්චි සමඟ පිටරට ශිෂ්‍යත්වය ගැන අදහස් හුවමාරු කර ගත්තාය. පිටරට යෑම ගැන නිතරම අසන්නට ලැබෙන යුගයක කිසිදා කොහේවත් නොගිය ආච්චිගේ ආශීර්වාදය හසන්තිට ලැබුනේ වන්දනා ගමනක යන සැදැහැවතියකට දෙන අනුමැතියක් ලෙසිනි. පිටරට ගියොත් ජීවිතය සාර්ථක කරගන්නා පිරිසට තම මිණිපිරියත් එකතු වන්නේය යන්න ආච්චිගේ විශ්වාසය වුණි.

වෛද්‍ය විභාගය සමත් වූවන් වෙනුවෙන් පැවැත්වෙන කුසලතා පර්යේෂණය ඉහළින් සමත් වන්නට වෙනදා මෙන්ම විභාග ජය ගන්නා හසන්ති සමත් වූවාය. එහෙත් දුෂ්කර පළාත් සඳහා ඇති පුරප්පාඩු පිණිස නව වෛද්‍ය නිලධාරීන් සැපයීම නිසි සේ නොකරන්නේ යයි රෝහල් ප්‍රධානී වෛද්‍ය නිලධාරීන් නොයෙක් ප්‍රදේශවල වැඩ වර්ජන පටන් ගත්හ. එයින් අමත්‍යාංශයත් රෝහල් ප්‍රධානීන් අතරත් සංවාද දුර දිග ගියේය. විභාග සමත්ව සිටි නව වෛද්‍යවරු පුද්ගලික රෝහල්වල සේවයටත් පිටරටටත් ඇදී යන්නට පටන් ගැණුනි.

“දොස්තරලා නෑ කියල වර්ජන කරන කොට ඉන්න දොස්තරල සොච්චමටත් වැඩ කරන්න බැහැ නැහැ නෙව.”

නිලධාරීන් කියනා අපභ්‍රංසය තේරුම් ගන්නට ආච්චි අවංක උත්සාහයක යෙදෙන්නීය.

“පුරප්පාඩු තියෙන රෝහල් වලට නෙමෙයි අනවශ්‍ය පැතිවලට පත්වීම් දෙනවා කියල ප්‍රශ්නෙ.”

පැහැදිලි කළ නොහැකි දෙයක් පැහැදිලි කළ හැකිද?

“ඒකට ඉතින් ඉන්න අය වැඩ නැවැත්තුවාම ලෙඩ්ඩුන්ට මක්කැයි වෙන්නෙ?”

දුෂ්කර පළාත් සීමාවාසිකය හා වෛද්‍යවරුන්ගේ පුරප්පාඩු පැහැදිලි කර දෙන්නට ගිය හසන්තිට ආච්චිට තරමින් වත් අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුමක් නැත්තේ ඇයි දැයි සිතුණි. පත්වීම් දීම ප්‍රමාදයෙන් තම ශිෂ්‍යත්වය ගැන තීරණයක් ගත්තා යයි ආච්චි දරන මතය වෙනස් කරන්නට හසන්ති උත්සාහ නොගත්තීය.

වයසට යාමත් සමඟ ඉක්මණින් වෙහෙසෙන ශරීරයක් හා සිත් තැවුලින් අඩු මනසක් ආච්චි සතුව ඇත. උදේ පාන්දර අවදි වන ඇය තම කුඩා වත්ත පුරා ඇවිදියි. දහවලට නිදයි. සවස් කාලයේ හංදියට ගොස් කඩහිමියෝ හා කුලීරථ රියැදුරයෝ සමඟ අල්ලාප සල්ලාපයේ යෙදී සිට ඇය කළුවර පහත් වන්නට කළින් නිවසට එන්නීය. අතීතයේ සිට ඇය දන්නා හඳුනන අය කඩ මංඩියේ ඉතිරිව ඇත්තේ අල්පයකි. විසිපස් වසරකට පෙර සිද්ධ වූ ජීවිතයක් බිළිගත් රිය අනතුර දැන් සටහනක් ලෙසින් ඇත්තේ මේ මැහැල්ලියගේ බොඳව යන මතකයේ පමණි.

රටේ බොහෝ දෙනෙක් රට කාසි හොයා මැද පෙරදිග බලා ඇදෙති. දන්නා අය දිවයිනෙන් පිටව යාම නිතර ඇහෙන්නකි. නොදන්නා අය යන එන බව වටපිට ඉදිවන නිවහන් වලින් දකින්න ලැබෙයි. නිවහනකට අයිතිය කීම සිහිනයක් නොව සැබෑ කර ගන්නට හැක්කක් බව ජනතාව දකින්නට පටන් ගෙනය. හසන්තිගේ පිටරට ගමන ගැන ආච්චී සතුටු වූවාය. අ.පො.ස. උසස් පෙළට පාඩම් කරමින් ගෙදර නවතින්නට එන චූටි මැණිකාත් ඉඳ හිට එන බැංකු මහත්තයාත් ඇයගේ තනිකම දුරලීය.

කැනඩාව බලා පිටත් වෙන හසන්ති දින කිහිපයක් ලන්ඩනයේ නැවතී යන්නට ශිෂ්‍යත්වයෙන්ම ලැබුණු සිය ගුවන්ගමන් පත සකස් කර ගෙන තිබුණි. හසන්ති සමඟ එකම ගුවන් යානයේ ලන්ඩන් බලා පිටත් වන්නට ප්‍රීනි ද ලක ලැහැස්ති වූවාය.

“මම ආච්චිව මගේම විදියට බලා ගන්නවා. හසන්ති බේබි ගිහින් මටත් එක්ක ඉගෙන ගෙන එන්නකො.”

“මටත් එක්ක ඉගෙන ගන්න කියන්නෙ. දැන් චූටි මැණිකාත් හෙට අනිද්දා වෛද්‍ය විද්‍යාලෙට යයි.”

“අර දරුවට ගෙනියන්න ගත්තැයි කළු දොදොල් පාර්සලේ.”

ආච්චි රුක්ෂානි වෙනුවෙන් නා නා වර්ගයේ කැවිලි රැසක් ගෙනැවිත්ය. කඩෙන් අරන් ආවා කියල ලොකු මැණිකා දන්නවා නම් හැමෝටම බැනුම් තමා. හැම කෑමක්ම ගෙදර හදන්න දන්නා අය දැන් ඉන්නේ අතලොස්සකි. කොණ්ඩා කැවුම්, කොකිස්, ආස්මී යනාදිය කඩෙන් හැමදාම මිල දී ගත හැකිය. සිංහල අවුරුදු සමයට පමණක් වෙන් වූ කැවිලි පෙවිලි මෙසේ නිතර පෙනෙන්නට තැබීමෙන් එහි අගය අඩු දැයි කිසිවකුත් සොයා නොබලයි. ලොකු මැණිකා රුක්ෂානි එවන ලද ලැයිස්තුවට සරිලන ආහාර පිරි පොට්ටනි කිහිපයක් අමරදාස අත එවා තිබුණි. ඒවායෙහි ඇත්තේ උයන ලද ආහාර නිසා ගුවන් තොටුපළේ දී කිසි හිරිහැරයක් නොවන බවද රුක්ෂානි දන්වා එවන ලදි. ඒ ගැන නම් මතක් වෙන්නෙත් ඒ නීති රීති දන්නෙත් ඉතින් එයාම තමයි.

අමරදාස වාහනයත් රැගෙන ආවේ හසන්තිව ගුවන් තොටුපළ වෙත ගෙන යන්නටය. මහ රාත්‍රියේ යන ගමන නිසාත් දවාලටවත් ඈත නොපෙනෙන තරම් ඇස් දුර්වල හෙයින් ආච්චි ගෙදර රැඳුනාය. හසන්ති ආච්චි ඉදිරියේ දණ ගසා සමුගන්නා කළ චූටි මැණිකා හසන්ති ඉදිරියේ දණ ගසා සමු ගත්තාය. ජීවිතයේ ප්‍රථම වරට තවත් අයෙක් තමා ඉදිරියේ දණ ගැසූ කළ ඇතිවන අමුතු හැඟීම සමඟින් අනාගතය කෙසේ දිග හැරේ දැයි නොදන්නා චකිතයෙන් හසන්තිගේ සිත බරකින් පිරුණි.

ප්‍රීනිගේ උදව්වට ඇයගේ මව ද එදා උදෑසනම ප්‍රීනි හා සමන්ත විසූ නිවහනට පැමිණියාය. අන්තිම තත්පරය තෙක්ම ගෙනියන ඇඳුම් පැළැඳුම් හා ආයිත්තම් තෝරා ගනු නොහැකිව ප්‍රීනි ලත වූවාය.

“කිලෝ 35 පිරෙනවා හරි ඉක්මණින්. සාරි අඳින්නෙ නැති අයට වෙන්නැති ගණන් හදල තියෙන්නෙ.”

“දරුවෝ සතියකට යනකොට ඔය සේරම අරන් යන්න ඕන නැහැ.”

“එකම සාරිය අඳින්න බැහැනෙ හැමදාම.”

ප්‍රීනි නහයෙන් අඬයි. සාරියට ගැලපෙන ජැකට් එක, යට සාය, ඒ පාටෙන්ම යට ඇඳුම්, ඒ ඒ කට්ටලය සඳහා වෙන්වුනු ස්වර්ණාභරණ සහ පාවහන් එකතු වූ කළ සූට්කේස් දෙකේම ඇඟිල්ලක් ඔබන්නවත් ඉඩක් නැත.

“සාරි දෙකකට ගැලපෙන එක හැට්ටයක්, යට සායක් එහෙම ගත්තා නම් හරි.”

“රට නියෝජනය කරද්දී රටේ ගෞරවය රැකෙන විදියට යන්න ඕන.”

මව අතිරේක මහේස්ත්‍රාත්වරියක වුවත් ප්‍රීනි ද දැන් කිසි පැකිළීමකින් තොර නීතීඥවරියකි. ඈ හා තර්කයෙන් දිනනු ලෙහෙසි නැත.

“මේ දවස්වල සීතල නැති නිසා ඔයාට ලේසි. වින්ටර් කෝට් දාගෙන යන්න වුනා නම් වෙනම කන්ටේනර් ලෝඩ් එකක් මෙහෙන් නැවට දාන්න වෙනවා.” මව කියයි.

කුමක් හෝ සොයනු සඳහා ඔවුන්ගේ නිදන කාමරයට ආ සමන්ත ඇඳ මත පිරුණු වස්ත්‍ර කන්දරාව දැක වහාම හැරී පිටව ගියේය.

සතියකට ලන්ඩන් යන ප්‍රීනි ගුවන් තොටුපළ වෙත ඇරලවන්නට සමන්ත හා ප්‍රීනිගේ මවත් පියාත් එකතු වූහ. කොළඹ නගරයේ නමට පමණක් ඇති මාර්ග බාධක ලිහිල් ලෙසින් පාලනය වෙයි. දහවල් කාලයේ මෙන් නොව මැදියම් රැයේ කොළඹ පාරවල්හි රථ ධාවනය ප්‍රීතිජනකය. කැඩුණු වලවල් මඟහැර යා හැකිය. හෝන් එකට පුංචි නිවාඩුවක් ලැබේ. මාර්ග සංධිස්ථාන වල නිවී නිවී පත්තු වෙන රතු ලයිට් පරිස්සමෙන් යන්න කියයි. එහෙත් තමන්ට අයිති වාහන වලට කොයිතරම් වේගයෙන් යා හැකිදැයි සොයා බලන්නට මෙන් පාරේ යන වාහනයත් දෙකත් හැකි හයියෙන් ඉගිළෙති.

කළින්ම පිටත් වූ හසන්ති රැගත් අමරදාස ගුවන් තොටුපළට ළඟා වූයේ ගුවන් යානය නික්ම යන්නට පැය හය හතකට කළියෙනි. අමරදාස මහ රෑ තනියම ආපහු යනවාට හසන්ති අකැමතිය. ගුවන් තොටුපළ කිහිප වතාවක් පිටතින් දැක ඇතත්, හසන්ති එහි ඇතුළට මඟියෙකු ලෙසින් යන්නේ ප්‍රථම වතාවටය. ඇතුළේ ඇති සියල්ල දැක බලා ගන්නට මහත් ආශාවක් ඇති බව ඇය අමරදාස හා කීවාය. ඒ නිසා කළින් ඇරලවීම ගැන අමරදාස කිසි අකැමැත්තක් ප්‍රකාශ නොකළේය. වයසට යාමත් සමඟ ඇස් පෙනීම දුර්වල වූ අමරදාස ශල්‍යකර්මයෙන් අනතුරුව රෑ රථය ධාවනය කරන්නට පසුබට බව හසන්ති දන්නවා වුවත් ඇය එය ඇඟවූයේ නැත. තවත් කෙනෙකුගේ උවමනා එපාකම් ගැන විමසීමෙන් තොරව නිරීක්‍ෂණයෙන් පමණක් සොයා ගන්නට හසන්ති කවදත් සංවේදීතාව දක්වන්නීය.

“සර් කාර් එකට යන්න බැහැ පාර වහල.”

“අපි මේ එයාර්පෝට් යන්න.”

“කටුනායකට පාර තමයි වහල තියෙන්නෙ.”

“හදිසියක්ද?”

“අපේ මැඩම් යනවා. ඒ නිසා.” ඔහු රහසින් කියයි.

ප්‍රීනි සේම ගුවන්මඟීන් යන වාහන දෙක තුනක් සහ මැදපෙරදිග වැඩට යන අයෙක්ව ඇරලන්න ගමකින් ආ ටොයෝටා වෑන් රථයක පිරුණු නෑඳෑයෝ පාර අයිනේ නැවතී සිටිති. මුලින් මුලින් රට යන අය එක් අයෙක්ව ගම්මු ගුවන් තොටුපළට එක්කන් ගියේ ලංගම බස් රථයක් වෙන් කරගෙනය. දැන් පවුලේ උදවිය හා ළඟම නෑදෑයෝ පමණක් යති. තවත් කාලයක් ගිය පසු රට යන්නා තනිවම බස් එකෙන් හෝ ටැක්සියකින් ගොස් ගුවන් යානයට නැඟ පිටරට යනු ඇත.

විශේෂ කාර්ය බලකායේ පොලිස් නිලධාරී බාධක අසලින් හිටගෙන ඒවා මුර කරන හමුදා භටයෝ සමඟ කතා බහේ. වාහන රියැදුරන් සිගරැට්ටු දල්වා ගෙන රටේ නායිකාවගේ ප්‍රමාද වී ගමන් යෑම ගැන කතන්දර කියති.

“ජපන් අගමැති ආවම උඩ තට්ටුවෙ ඉඳල පහළට බහින්න ගත්ත කියන්නෙ පැය දෙකක්.”

“ඇමෙරිකන් විදේශ ලේකම් ආපු සැරේ හෝටලයේ කෑම රත් කර කර තියාගෙන ඉන්න වුනාළු පැය හතරක්. සුද්දො සේරම බඩ ගින්නෙ.”

“ඇමෙරිකන්කාරයෝ බඩ ගින්නෙ හිටියට පව් නෑ. අපේ කාණ්ඩෙ ගැනයි මට දුක.”

“ඔහොම කරන්නෙ ආරක්‍ෂාවට බං. දැන් එක සැරයක් නූලෙන් බේරිලානෙ මැඩම් ඉන්නෙ ඔය. ඇහැකුත් නැතිවුනානෙ.”

අන්තිම උගුරත් උරා බී ඒ සිගරැට් කොටයෙන්ම අළුත් එකක් දල්වා ගන්නා පුද්ගලයෙක් කියයි. ඉල්ලන අනිකාට නොමිලේ සිගරැට්ටුවක් දීම සිගරැට් බොන අය අතර දිවුරුම් නොදුන්, අත්සන් නොකරන ලද ලෝක සම්මුතියකි. එකකට වඩා ඉල්ලීම නොමනාය. එහෙත් කෙනෙක් ඉල්ලා සිටින කළ පෙට්ටියේ ඇත්නම් සිගරැට්ටුවක් ලබා නොදෙන්නේ එහෙමත් කුණු ලෝභයෙකි. සිගරැට් කොතරම් ගණන් ගියත් ඒ පුරුද්ද නැවතී නැත. හැමෝම මෙය නොසිතාම ඉටු කරන්නේ එයින් ශරීරයට සිද්ධ වන හානිය බෙදා හදා ගන්නට ද?

“සූට්කේස් බර වැඩියි කියලා පටන් ගත්ත. ඒත් හොඳ වෙලාවට ප්ලේන් එක පරක්කු වෙනවා ඉක්මණින් මඟීන් එවන්න කියල කවුද වෝකී ටෝකී එකෙන් ගොරනාඩු කරන්න ගත්තම බෙල්ට් එකට දාන්න කියල බාර ගත්ත. මට පිටිපස්සෙ හිටපු අයගෙ සූට්කේස් බර බැලුවෙත් නැහැ.”

ප්‍රීනි අතින් කටින් බෑග් එල්ල ගෙන හසන්ති අසලට දිවගෙන ආවාය. හසන්ති වාඩිවෙලා සිටියේ ගුවන් යානයට බස් එකෙන් ගෙනියන්න කළින් මඟීන් ගාල් කරන ශාලවේ දොරටුව අසලින්ම වූ ආසනයක. හිමිදිරි පාන්දර වුවද එකිනෙකාට කළින් යන්න උත්සාහ කරමින් බසයට මඟීන් ඇතුල් වෙති. ගමන ප්‍රථම පංතියේ වූවාට ඔවුනට රැඳී ඉන්නට විශේෂ කාමරයක් නැත. බස් රථයට ඔවුන් නැඟ්ගේ ද අනිත් මඟීන් හා තෙරපෙමිනි.

“මට නම් තව ගොඩක් ඉඩ තිබුණ. කැනඩාවට යන අයට ලන්ඩන් යන අයට වඩා බර වැඩියෙන් අරන් යන්න පුළුවන් කියන්නෙ.”

හසන්ති බස් රථයේ සීටි කොණක් අල්ලා ගත්තා ය. ඇයට පළමු පංතියේ ආසනයක් ලැබුනේ ශිෂ්‍යත්වයෙනි. ප්‍රීනි ද ප්‍රථම පංතියේ ම යන්න තීරණය කළේ සමන්ත සම්මන්ත්‍රණ සඳහා පිටරට ගිය ගමන් සඳහා ගුවන්යානා සමාගමෙන් ලැබුණු සහන සහතිකයක් උපයෝගී කර ගෙන ය.

“දන්නවා නම් මට ඔයාට දෙන්න තිබුණ මගේ බඩු ටිකකුත්.”

“එතකොට ආපහු එනකොට අරන් එන්නෙ කොහොමද?”

“අඩු ගානේ රුක්ෂානිටයි සංජීවනීටයි අරන් යන හරිය වත් ඔයාට දාන්න තිබුණ.”

කෙනෙකුට තෑග්ගක් ගේනවා කියන්නෙ තෑග්ග තෝරල සල්ලි ගෙව්වමද? තෑග්ග උස්සන් ගිහින් බාර දෙන එකේ වටිනාකමකුත් තියන්න ඕනා නේද? එම සිතුවිලි හිතට ආවත් ගුවන් පථය මැද නවතා ඇති දැවැන්ත පක්‍ෂි රාජයෙකු ලෙසින් මොනර පිලෙන් රටා ඇඳි ශ්‍රී ලංකා ගුවන් යානය දකිද්දි නම් හසන්තිට හැම දෙයක්ම අමතක වුනා. මේක කොහොමද අහසට නග්ගන්නෙ? බර ටොන් කීයක් වෙයිද? ගුරුත්වාකර්ෂණ බලයට එරෙහිව ඉහළට නග්ගන්න කොච්චර තෙල් පුච්චනවද? විදේශිකයෝ සහ දේශීය ධනවත් අය අසලින් අසුන් ගත් හසන්ති පොල් ගස් පේලි නොපෙනී යන තෙක් ගුවන් යානයේ කවුළුවෙන් පිටත බලා ගෙන ඊ ළඟට රස වින්ඳේ මනුෂ්‍යා ජයගත් අහසින් යා හැකි ගමනේ ආශ්චර්යයි.

සුබ නැකතට, සුබ පැත්ත බලා, දකුණු කකුල පෙරට තබා ගෙදරින් පිටත් වුනත් මාර්ග අවහිරයෙන් මහමඟදී පරක්කු වීම ගමනට අසුබ වේ දැයි ප්‍රීනි කල්පනා කළාය. ගුවන් යානය මහ පොළවේ ගුරුත්වාකර්ශණයට එරෙහි වෙමින් ඉහළට යද්දී කන් පිරෙන බැවින් කෙළ ගිල ගිල මඳක් සලිත වූ සිතකින් ඇය අසුනෙහි වූ ඇන්ද තදින් අල්ලා ගත්තාය. හිතෙන් ඉතිපිසෝ ගාථාව මතුරන්න පටන් ගත් ප්‍රීනි, අහසින් යන අයෙකුට පමණක් පේන අඳුර මකාගෙන පිබිදෙන නගරයක අතරින් පතර පත්තු වෙන විදුලි ආලෝක තිත් දිහා නොබල ඇස් තද කරල පියා ගත්තාය.

Advertisements

ප්‍රතිචාර 2 »

  1. yaantham Athi…..ayeth aawaa…

    ප්‍රතිචාර විසින් සුදම් — මාර්තු 16, 2010 @ 2:11 ප.ව.

  2. සුබ ගමන්… 🙂

    ප්‍රතිචාර විසින් indik — මාර්තු 16, 2010 @ 9:53 ප.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: