Sinhala story Blog

මාර්තු 15, 2010

3.17 -ෆැන්ටෑස්ටික්!

Filed under: Uncategorized — sinhalashortstories @ 8:14 පෙ.ව.

“රුක්ෂානි අපිට ට්‍රයල් එකක් දාන්න දකුණු කොරියාවේ යන්න ඕනා.”

“ඇයි දකුණු කොරියාව?”

“එහෙ තමයි කොම්පියුටර් සෙල්ලම් වලට වඩාත්ම කැමති අය ඉන්නෙ?”

“අපිට එහෙ කවුරු හරි කට්ටියක් ඉන්නවද?”

“නැහැ. ඔයා ගිහින් හොයාගෙන එන්න. ලබන සතියෙ ගේමින් සම්මන්ත්‍රණයක් තියෙනවා. සහභාගීවෙන්න ඔයාට ටිකට් ගත්ත. ගිහින් තත්වය කොහොම ද බලල, ‍අපිට ට්‍රයල් එකකට සුදුසු අය ටීම් එකක් හොයාගන්න.”

“කවද්ද සම්මන්ත්‍රණය?”

“ලබන සතියෙ.”

රුක්ෂානිට හිටි ගමන් රට රටවල යන එක පුරුදුයි. බ්‍රිතාන්‍ය පුරවැසිකම තියෙන නිසා වීසා ප්‍රශ්නයක් නැහැ. රටවල් ගණනාවක් අවසර දෙනවා පය ගැහුවාට පස්සෙ දවස් 30 ක් විතර ඉන්න වීසා කිසිම කරදරයක් නොකර. කැලැන්ඩරේ බලල ලබන සතිය‍ට තිබුන හමුවීම් වෙන දිනවලට දා ගන්නත්, ගුවන් ගමන් ටිකට් වෙන්කර ගන්නත් ඇයගේ දවසෙ ඉතිරි කාලය ගෙවුන. කරන්න හදන ව්‍යාපෘතියේ වාර්තාව එයාගෙ මේසයට ආවේ ගෙදර යන්න ලැහැස්ති වෙනකොට. ගෙදර දී ඒක කියවන්න බ්‍රීෆ්කේස් එකට දාගෙන කාමරයේ ලයිට් නිවල එළියට එනකොට වැඩ කරන අය සේරම වගේ ගෙවල්වලට ගිහින්.

ටියුබ් එකෙන් ගෙදර යන ගමන් රුක්ෂානි කල්පනා කළේ සෝල් යන ගමනේ දී ලංකාවටත් ගොඩවෙලා යනවද කියල. සීතල කාලෙට රස්නෙ රටවල් සොයා යන්න හැමෝම ආසයි. ටික දවසක් හරි අව්ව හමට වැටෙන කොට සනීපයි. ඒත් මේ දවස්වල හසන්ති කැනඩාවේ ශිෂ්‍යත්වය බාරගෙන එහෙ යන්න ලැහැස්තිය. වැඩ ගොඩක් ඇති. වාහනයක් නැතුව බස් වලින් ගිහින් කරගන්න කොට දවසකට එක වැඩක් විතරයි කර ගන්න පුළුවන්. ලංකාවට ගියොත් එයාගෙ වැඩ පාඩුවෙයි. හෙට අනිද්දා යනකොට මේ පැත්තෙන් බැහැලා යන නිසා ආවම මුණ ගැහෙන එක වඩා හොඳයි. ප්‍රීනි නම් දැන් වෘත්තීමය නම හදාගන්න පිට පිටම නඩුවලට පෙනී සිටිනවා. හසන්තිත් එක්ක ලන්ඩන් සම්මන්ත්‍රණයක් පිට දාලා යෙහෙළියෝ එක්වන්න එන්න හදන නිසා එයාටත් හෙණට වැඩ ඇති. මේ ගමන සෝල් ගිහින් කෙළින්ම ආපහු ලන්ඩන් එනවා යයි රුක්ෂාණි තීරණය කළාය.

“හලෝ මම ඔයාව අඳුනනවා ද?”

ලා නිල් පැහැති ටයි පටියක්, සුදු කමිසයක් හා ටයි පටියේ පාටින්ම සූට් එකක් ඇඳගත් සුදු තරුණයෙක් උමං දුම්රියේ සිටගෙන ඉන්නා රුක්ෂානි අසලට කිට්ටු වී ඇය වෙත නැඹුරු වෙමින් අසයි.

“ඔයානෙ අහන්නෙ? ඔයානෙ දැනගන්න ඕන,” ඇය කිව්වෙ සුපුරුදු සිනහාවෙන්.

“නෑ. නෑ. මේක ඔයත් එක්ක කතා කරන්න උත්සාහයක් නෙමේ,” එහෙම කියද්දි ඔහුටත් හිනා ගියා. කතා කරන්න උත්සාහයක් නෙමෙයි නම් ඇයි කතා කරන්නෙ.

“මට ඔයාගෙ මූණ හොඳට දැකලා පුරුදුයි. ඒත් කොහෙදීද කියලා මතක නෑ,” ඔහු කිව්වෙ අවංකවම.

“ඔක්ස්ෆර්ඩ්?” රුක්ෂානි කිව්වෙ මතකයට උදව් කරන්න.

“නෑ. මං ඊටන් ගියෙ, ශිෂ්‍යත්වයකින්.”

ඒ කියන්නෙ මිනිහා දක්ෂ ශිෂ්‍යයෙක්. නමුත් ප්‍රභූ පංතියෙ නෙමේ.

“මම වැඩ කරන්නෙ ෆැන්ටෑස්ටික් ගේම්ස්වල,” රුක්ෂානි කිව්වෙ සමහර විට එතැනට ආපු අයෙක් වෙන්නැති කියල හිතලා.

“ෆැන්ටෑස්ටික්!” ඔහු හිනාවුනා.

“කොම්පියුටර් ගේම්ස් හදන කොම්පැණියක්.”

“ඔයා ප්‍රෝග්‍රෑමර් කෙනෙක් ද?”

“මට එච්චර හැකියාවක් නෑ. මම බිස්නස් අංශයෙ. අපි වැඩියෙන් කරන්නෙ අනිත් අය හදන ඒවා මාකට් කරන එක.”

“නෑ… මම එතැනට ගිහින් නැහැ. මම පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීවරයෙකුට වැඩ කරන්නෙ.”

“කවුද නම? කියන්න බැරි නම් කමක් නැහැ.”

“සර් සිරිල් වල්පෝල්”

“සිංහල අයටත් තියන ඉංග්‍රීසි නම්.”

“සිංහලීස්?”

“ශ්‍රී ලංකා. ඉස්සර සිලෝන්. වල්පොල කියලා උච්චාරණය කරන වාසගම ලංකාවෙත් තියනවා. වල්පෝල් වලින් ආවද නම් දන්නෙ නැහැ.”

“දැන් මං දන්නවා ඔයාගෙ මූණ දැක්කෙ කොහෙදී ද කියලා,” සුද්දාගේ මතකය අවදි වෙලා.

“ලංකාවෙ එම්බසියෙ සාදයක දීද?” රුක්ෂානි විමසයි.

“නෑ. නෑ. සර් සිරිල් හිටිය ට්‍රේඩ් කොමිටියක ඔයාගෙ වැඩීත් හිටියා. මිස්ට ආනන්ද. වාසගම මට මතක නෑ. හරි ස්මාට් ඔයාගේ ඩැඩී. අපි නොදන්න දේවල් ගොඩක් අපිට පෙන්නලා දුන්න. සතියක් මීටින් තිබුන. ඒ දවස්වල මම සේරම ඉවරවෙනකම් ඉඳලා ගෙදර යන්න එළියට එනකොට ඔයා ඇවිත් ඩැඩී ‍එක්ක පාර්ක් එකේ ඇවිදගෙන යන හැටි දකිනව. නොවැරදීම හැමදාම මුළු සතියේම ඔයයි මිස්ටර් ආනන්දයි ඇවිදන්න යනවා.”

“ඩැඩී ලන්ඩන් ඉන්නෙ ටික දවසයි. දැන් වැඩිපුර ඉන්නෙ ඇමෙරිකාවෙ. ඉතින් මෙහෙ එන දවස්වල ඒ වෙලාව තමයි අපිට තනියම කතා කරන්න ලැබෙන්නෙ. මං වැඩ ඇරිලා ටියුබ් එක අරන් ඩැඩී ඉන්න තැනට යනවා. එතනින් ගෙදර යනකම් අපි ඇති වෙන්න කතා කරනවා.”

ඔහු කලිසම් සාක්කුවට අත දමා කාඩ් එකක් එළියට ගත්තේය.

“මාත් ආසයි ඔයත් එක්ක තව කතා කරන්න ලැබෙනවා නම්. මාව නම් ඔයාගෙ තාත්තාට මතක නැතිවෙන්න පුළුවන්. මං ඉතින් එම්පීගේ එක අත් උදව්කාරයෙක් විතරයි. ඉඩක් ලැබුනොත් මට කතා කරන්න.”

ඔහු දීපු කාඩ් පත අරගත්තට රුක්ෂානි එහි තිබූ නම කියවන්න ගියේ නැහැ.

“මම ලබන සතියෙ සවුත් කොරියා යනවා.”

“කොච්චර කාලයකට ද?”

සිනහවක් මුව රඳවා ගත්තට රුක්ෂානි උත්තරයක් දුන්නෙ නැහැ. ටියුබ් කෝච්චියෙ හම්බ වෙන අය, සම්මන්ත්‍රණවල දී හමුවෙන අය හෝ කාර්යාලීය කටයුතුවල දී හමුවෙන අය හා සමීප ඇසුරක් ඇතිකර ගන්නට ඇය අකැමතියි. ඩ්‍රින්ක්ස් පාටි හා ඩාන්ස් පාටි නොයන ඇයට තම ව‍යසේ කෙනෙක් හමු විය හැක්කේ වෙන කොතැනක දී ද?

තරුණයාට අතවනා කෝච්චියෙන් බැස්ස රුක්ෂානි ඉක්මන් ගමණින් ස්ටේෂන් එකෙන් එළියට ආවේ ඔහුත් එතැනින්ම බැස්සාද නැද්ද යන්න නොදන්නා නිසා.

කිසිවකුගේ පාලනයක් නැති තනිකඩ ජීවිතයට තමා වඩාත් හුරු වෙනවා දැයි ඇයට සිතුණි. රැකියාවට සම්බන්ධව හමුවන අනිත් තරුණියෝ නිතරම හොයන්නෙ සිකුරාදාට ලැබෙන සති අන්ත නිවාඩුව ගත කරන්නට සගයෙකි. දුර දිග නොයන සති අන්තයකට පමණක් සීමා වූ සබඳතා ඇයට රිසි නැත. ඉඳහිට වයින් වීදුරුවක් පානය කළද බීමතින් එදා දවසේම දැන හැඳිනගත් අයෙකු හා රාත්‍රිය ගෙවා උදෑසන පසුතැවිලි වෙන තරුණ කාන්තා රැළට එක් වෙන්නට ඇයගේ කිසිම මනාපයක් නැත.

අධ්‍යාපනයට, දේපළ අයිතියට, රැකියාවන්ට අයිතිවාසිකම් ඉල්ලා සටන් වැදුනු කාන්තාවෝ දැන් අන්තිමට ඒ සියල්ලත් අත්පත් කරගෙන නැවත වැටී ඉන්නේ පිරිමියාගේ ප්‍රේම සැලකිල්ලක් යොමු කර ගන්නට දරනා උත්සාහයක වීම දෛවයේ සරදමක්ද?

රුක්ෂානිගේ ඩැඩී සහ මමී ඇය කැමති අයෙකු හා විවාහයට කැමැත්ත පළකර ඇත. ලන්ඩනයේ සිටිනා විට ඔවුන් යන එන සාද වලට රුක්ෂානිව ද නිතර එකතු කර ගනිති. විවාහ යෝජනා වලට ඔවුන් අකැමතිය. තමන් ජීවිත සහකරුවා සොයාගත යුතු බව වැඩිමහල් දෙදෙනාගේම මතයයි. කොයි රටෙන් ද, කොයි ජාතියෙන් ද හෝ කොයි ආගමෙන් ද කියා නොව යහපත් චරිතයක් ඇති, මොළේ ඇති අයෙක් හා එක්වන්න යයි ආනන්ද අතුරුපාන සිය එකම දියණියට දී ඇති අවවාදයයි. එහෙත් මොළේ පාවිච්චි කරන්න දන්න, තමනට කැමති අයෙක් සොයා ගන්නේ කෙසේද?

“ලොකු මැණිකා මේ රුක්ෂානි.”

“බේබි අද කතා කරයි කියල හිතුනා මට. කාක්කෙක් වහල උඩ කෑ ගෑවා උදේ වරුවෙම.”

“කොහේ හරි පූසෙක්ව හරි බල්ලෙක්ව හරි රෑ වාහනයක් යටකර ගෙන යන්නැති.”

“එහෙම කියන්න එපා. ඕවයෙ ඇත්ත නැත්ත අපි නොදන්නවාට.”

“පොඩි මැණිකාගෙ මංගල දැන්වීමට උත්තර කොහොමද?”

“ඇවිත් තියෙනවා උත්තර තුන්සිය පනහකටත් වඩා.”

“ලංකාවේ බැඳපු නැති පිරිමි එච්චර ඉන්නවා ද?”

“ඒකනෙ බේබි. අමරදාස අයියා කියන්නෙ බැඳපු අයත් ඕවාට ලියනවා කියල.”

“මොකද කරන්නෙ?”

“බේබි මං ඔය පත්තරේ ඒවට නම් කැමති නැහැ. දන්න කියන කෙනෙක් හොයා ගන්නවා මිසක. මෙයාට කලබලේ තිබුණට ඔහොම ගිහින් අමාරුවෙ වැටුනොත්? අපි කියල කොහොම හොයලා බලන්නද?”

“මෙහෙ තියනවා ඒජන්සි මිනිස්සු ගැන හොයල බලන. මං අහලා බලන්නම් එහෙම ඒවා ලංකාවෙ තියනව ද කියල. ඔය ආපු උත්තර වලින් හොඳම දහයක් විතර තෝර ගන්න, අපි හොයලා බලමු.”

“අනේ මන්දා බේබි කියනවා නම්.”

“නැත්නම් අපි කොහොම ද පොඩි මැණිකට කෙනෙක් හොයා ගන්නෙ?”

“මං දන්නෑ බේබි. දෑවැද්දට ලොකු මහත්තය දෙන ගාණ බැංකුවට දාලා මෙහෙම හිටු කියලා තමයි මං නම් කීවේ. ඒත් ඒකීට නම් බඳින්න ආසයිලු. දරුවෙක් හදන්න ඕනායි කියන්නෙ.”

“පෝයට පංසල් වත් එක්කන් යන්න‍ වෙයි. කාව හරි අඳුර ගන්න. ගේ අස්සට වෙලා හිටියම මිනිස්සු දකින්න බැහැනෙ.”

රුක්ෂානිගෙන් අදහසක්. මැණිකෙලා ඉස්සර ඇය කුඩා කල ඇය හා පන්සල් ගියහ. රුක්ෂානි පන්සල් යෑම නතර කිරීමත් සමඟ ඔවුන් ද යන්නට අවශ්‍යයයි කියා පෙරැත්තයක් නොකළ හෙයින් ඔවුන්ගේ පන්සල් යෑම ද නැවතිණ.

“මං වත්තටත් පණිවිඩයක් යැව්වා. කොහෙද දැන් අපි දන්න කියන අය රට ගිහින්. අලුත් අයව අපි දන්නෑ.”

“මටත් ඒකනෙ වෙලා තියෙන්නෙ ලොකු මැණිකා. දන්න සේරම දැන් බැඳලා.”

“අපේ බේබිට හොඳ වාසනාවන්ත මහත්තයෙක් හම්බ වෙයි.”

“ඔය උත්තර කියවන කොට මටත් හොඳට ගැලපෙන එකක් තිබුනොත් අයින් කරල තියන්නකො.”

රුක්ෂානි එහෙම කිව්වම ලොකු මැණිකා හිනා වෙනවා ඇහුන.

ප්‍රතිචාර 2 »

  1. 3.17 කියන්නෙ මොකක්ද? ටිකක් අමුතු විදියට ලියල තියනව..දිගටම ලියන්න..ජය..

    ප්‍රතිචාර විසින් ධනංජය — මාර්තු 15, 2010 @ 12:25 ප.ව.

    • අළුතින් කියවන්න ආපු ඔබට ආයුබෝවන්! 3.17 පරිච්ඡේදයේ අංකයයි. මේක නවකතාවක් නිසා දිගයි. වම් අත පැත්තෙ “පටුන” ඇරලා මුල ඉඳන් කියවන්න කැමති නම්.

      ප්‍රතිචාර විසින් sinhalashortstories — මාර්තු 15, 2010 @ 5:11 ප.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: